7. පවාරණ සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - තදහු ‘තස්මිං අහු’ ඒ දිනයෙහි යනු අර්ථ යි; එත්ථ (මෙහි) උපවසන්ති (සමීපයෙහි වාසය කරති) යි උපොසථො; ‘උපවසන්ති’ යනු ශීලයෙන් හෝ අනුභව නො කිරීමෙන් හෝ යුක්ත වී වසත් යන්න යි. ඒ උපෝසථ දිනය අටවක අමාවක පසළොස්වක වශයෙන් ත්‍රිවිධ ය. එහෙයින් ඉතිරි දෙක (නො කියා) වැළැක්වීම පිණිස ‘පණ්ණරස’ (පසළොස්වක) යයි කියන ලදි. පවාරණය වස් පවාරණය පිණිස; ‘විසුද්ධි පවාරණා’ යනු ද මීට ම නමකි. නිසින්නො හොති සවස් කාලයෙහි සපැමිණි පිරිසට වේලාවට ගැලපෙන දහමක් දෙසා දිය කොටුවේ අත් පා පිරිසිදු කොට හැඳ පෙරවූ සේක්, සුගත මහාචීවරය ඒකාංශ කොට, මැද කුළුණ ඇසුරු කොට තබන ලද උතුම් බුදු අසුනෙහි පෙර දිගින් නැගි සඳ මඬලේ ශ්‍රියාව (බුද්ධ) ශ්‍රීයෙන් අභිභවනය කරමින් වැඩ සිටි සේක. තුණ්හීභූතං තුණ්හීභුතං යම් යම් දෙසකින් බලන්නේ ද ඒ ඒ දෙස නිහඬතාව ම ය. එහි එක් භික්ෂුවකට හෝ අත්වල සදොස් හැසිරීමක් හෝ පාවල සදොස් හැසිරීමක් නැත. සියලු දෙනා නිහඬ වූවෝ ශාන්ත ඉරියව්වකින් සිටියහ. අනුවිලොකෙත්වා දෘශ්‍යමාන පඤ්ච ප්‍රසාද නේත්‍රවලින් බලා; හන්ද අත්හැරීම් අර්ථයෙහි නිපාතයකි. න ච මෙ කිඤ්චි ගරහථ මෙහි ‘න ච කිඤ්චි’ යනු ප්‍රශ්නාර්ථයෙහි ‘න’ කාරය; කිම මට කුමකට හෝ ගරහන්නහු ද? ඉදින් ගරහන්නහු නම් කියනු මැනවි, ඔබලා පවසනු (දැකීම) කැමැත්තෙමි. කායිකං වාචසිකං වා මෙයින් කාය වචී ද්වාර ම ඉදිරිපත් කරයි. මනෝ ද්වාරය නො වේ. ඇයි? ප්‍රකට නො වන (නො පෙනෙන) හෙයිනි. කාය වචී ද්වාරවල දෝෂ ප්‍රකට වේ. මනෝ ද්වාරයෙහි (එසේ) නැත. එක ඇඳෙහි නිදන්නේ වුව ද කුමක් සිතහිදැයි විමසා චිත්තාචාරය දැන ගනී. මනෝද්වාර අප්‍රකට හෙයින් ඉදිරිප් නො කරයි. අපිරිසිදු බව නිසා නො වේ. භූරිදත්ත ඡද්දන්ත සංඛපාල ධම්මපාල ආදී වූ උන්වහන්සේගේ බෝධිසත්ත්ව කාලයෙහි පවා මනෝ ද්වාරය පිරිසිදු ය. දැන් මෙහි දී කිව යුත්තක් ම නැත.
එතදවොච ධර්මසේනාපති ස්ථානයෙහි සිටි බැවින් භික්ෂූ සංඝයාගේ බර උසුළමින් මෙසේ කීහ. න ඛො මයං භන්තෙ ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ කිසිවකට නො ගරහමු. කායිකං වාචසිකං වා මෙය රැකිය යුතු නැති සතර අරභයා තෙරුන් වහන්සේ පැවසූහ.
භාග්‍යවතුන් වහන්සේගේ ‘අරක්ඛිය’ (රැකිය යුතු නැති) සතරකි. එය මෙසේ යි: “මහණෙනි, තථාගතයන් වහන්සේ පරිශුද්ධ කායසමාචාර ඇති සේක. මාගේ මේ දේ අනෙකෙක් නො දැන ගනීවා යි තථාගතයන් වහන්සේ යමක් රැකිය යුතු ද එවන් කායික දුශ්චරිතයක් තථාගතයන් වහන්සේට නැත. මහණෙනි, තථාගතයන් වහන්සේ පරිශුද්ධ වචීසමාචාර ඇති සේක.... මහණෙනි, මාගේ මෙය අනෙකෙක් නො දැන ගනීවා යි තථාගතයන් වහන්සේ යමක් රැකිය යුතු ද එවන් මනෝ දුශ්චරිතයක් (නැත). මහණෙනි, තථාගතයන් වහන්සේ පරිශුද්ධ ආජීව ඇති සේක. මාගේ මෙය අනෙකෙක් නො දැන ගනීවා යි රැකිය යුතු මිථ්‍යා ආජීවයක් තථාගතයන් වහන්සේට නැත.
දැන් භාග්‍යවතුන් වහන්සේගේ යථා භූත ගුණ පවසන්නේ, භගවා හි භන්තෙ ආදිය පැවසූ සේක. එහි අනුප්පන්නස්ස කස්සප සම්මා සම්බුදුන් වහන්සේගේ පටන් අන් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු විසින් උත්පාදනය නො කළ විරූ; අසඤ්ජාතස්ස මෙය ‘අනුප්පන්න’ යන්නට ම සමාන වචනයකි; අනක්ඛාතස්ස අන්‍යයකු විසින් නො දෙසන ලද; පච්ඡාසමන්නාගතා ප්‍රථමයෙන් ගිය බුදුන් වහන්සේට පසු ව අනුව ගිය, මෙසේ තෙරුන් වහන්සේ යම් හෙයකින් බුදුන් වහන්සේගේ ශීලාදී ගුණ අරහත් මාර්ගය ම හේතු කොට ගෙන පැමිණියේ ද එහෙයින් අර්හත් මාර්ගය ම පදනම් කොට ගෙන ගුණය පැවසූහ. එයින් සියලු ම ගුණයෝ ප්‍රකාශ කරන ලද්දාහු වෙත්. අහඤ්ච ඛො භන්තෙ මෙය තෙරුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගල වූ තමන් වහන්සේගේත් සංඝයා වහන්සේගේත් කායික වාචසිකය ගැන ඉදිරිපත් කරමින් පැවසූහ.
පිතරා පවත්තිතං සක්විති රජු මළ කල්හි හෝ පැවිදි වූ කල්හි සත් දිනක් ඇවෑමෙන් චක්‍රය අතුරුදහන් වෙයි. ඉන් පසු දශවිධ හෝ දොළොස් විධ වූ චක්කවත්ති ව්‍රතය පුරා සිටි පුත්‍රයාට අනෙකක් (චක්‍රයක්) පහළ වෙයි. ඔහු එය පවත්වයි. රුවන්මුවා වන හෙයින් සමාන වන අර්ථයෙන් එය ම ව්‍රතය කොට පියා විසින් අණසක පවත්වන ලදැයි කියන ලදි. යම් හෙයකින් ඔහු අල්පෝත්සුක වී නම් “දේවයිනි, ඔබ සිටිනු මැනවි, මම අනුශාසනා කරන්නෙමි’යි කීය. එහෙයින් පියා විසින් පවත්වන ලද ආඥාචක්‍රය අනුව පවත්වති යි නමි. සම්මදෙව අනුප්පවත්තෙසි නිවැරදි න්‍යායයෙන් - හේතුවෙන් - කාරණයෙන් ම අනුව පවත්වන්නෙහි; භාග්‍යවතුන් වහන්සේ සත්යධර්ම සතර වදාරති. තෙරුන් වහන්සේ එය ම අනුව කථා කරති; එහෙයින් මෙසේ කී සේක. උභතොභාගවිමුත්තො උභතොභාගයෙන් මිදුණාහු - අරූපාවචර සමාපත්තියෙන්, රූපකායයෙන් මිදුනාහු; අග්රමාර්ගයෙන් නාම කායයෙන් (මිදුනාහු) යි; පඤ්ඤාවිමුත්තා ප්‍රඥාවෙන් මිදුනාහු; ත්‍රිවිද්‍යා ආදි තත්ත්වයට නො පැමිණ රහත් වූ.