2. අක්කොසක සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - අක්කොසකභාරද්වාජො ඔහු භාරද්වාජ ම ය. පන් සියයක් පමණ ගාථාවලින් තථාගතයන් වහන්සේට ආක්‍රෝශ කරමින් පැමිණියේ යි “අක්කෝසක භාරද්වාජ” යි ඔහුට සංගීති කාරකයන් විසින් නමක් තබන ලදි. කුපිතො අනත්තමනො ශ්‍රමණ ගෞතමයන් විසින් මාගේ වැඩිමහල් සොහොයුරා පැවිදි කරවීමෙන් හානියක් කරන ලදි. පාර්ශ්වයක් බිඳණි යි ක්‍රෝධයෙන් කුපිත වූයේ දොම්නසින් සිත අසතුටු කර ගෙන යන අරුත යි. අක්කොසති හොරෙක්, බාලයෙක්, මුළා වූවෙක්, ඔටුවෙක්, ගොනෙක්, බූරුවෙක් වෙහි යි දශ ආක්‍රෝශ වස්තුවලින් ආක්‍රෝශ කරයි. පරිභාසති මුඩු මහණ, ශ්‍රමණකය, මම අදණ්ඩ (දඬුවම් නො ලබන) කෙනෙක්මි යි ක්‍රියා කරහි. දැන් රජ පවුලට ගොස් දඬුවම් පමුණුවන්නෙමි’ ආදිය කියමින් ‘පරිභාසති’ (පරිභව කරයි) නමි.
සම්භුඤ්ජති එක් ව අනුභව කරයි. වීතිහරති කරන ලද්දට ප්‍රතික්‍රියා (එකට එක) කරයි. භවන්තං ගොතමං කුමක් නිසා එසේ කීයේ ද? තවෙවෙතං බ්‍රාහ්මණ, තවෙවෙතං බ්‍රාහ්මණ එය අසා, කෘශවත්ස්‍ය ආදි සෘෂිවරු නම් කෝප වූවාහු ශාප කරති යි අසා ඇති ලෙසට ශ්‍රමණ ගෞතමයෝ මට ශාප කරති යි මහ බියක් හට ගැනිණි. එහෙයින් එසේ කී ය.
දන්තස්ස ඉන්‍ද්‍රිය දමනය කළහුගේ තාදිනො තාදි ලක්‍ෂණයට පත් වූවහුගේ, තස්සෙව තෙන පාපියො ඒ පුද්ගලයාට ම ඒ ක්‍රෝධයෙන් පාපය වේ. සතො උපසම්මති සිහියෙන් යුක්ත වී ඉවසයි. උභින්නං තිකිච්ඡන්තං ‘උභින්නං තිකිච්ඡන්තානං’ (දෙදෙනා ම පිළියම් කරන්නවුන්ට); මෙය ම පාඨය හෝ වේ යම් පුද්ගලයෙක් ශාන්ත වූයේ ශමනය වෙයි ද දෙදෙනාගේ ම දියුණුවෙහි හැසිරෙයි. සුව කරයි. වැඩ සාදයි. ඒ පුද්ගලයා ජනා මඤ්ඤන්ති බාලො (බාල යයි ජනයෝ හඟිත්) කුමන අයුරේ මිනිස්සු ද? යෙ ධම්මස්ස අකොවිදා. ධම්මස්ස පඤ්චස්කන්ධ ධර්මයෙහි හෝ සතර සත්‍යයෙහි හෝ අකොවිදා ඒ දහම් හි අදක්ෂ වූ අන්ධ බාල පෘථග්ජනයා.
දෙවැනි සූත්‍රය යි.
3. අසුරින්දක සූත්‍ර වර්ණනාව
තෙ වැන්නෙහි - අසුන්‍දරික භාරද්වාජො අක්කෝසක භාරද්වාජගේ කනිෂ්ඨයා (බාලයා) කුපිතො - ඒ කාරණයෙන් ම කුපිත වූයේ. ජයං චෙවස්ස තං හොති ‘අස්සෙව තං ජයං හොති,’ යම් ජයක් වේ ද යන අර්ථ යි. කවුරුන් හට ද? යා තිතික්‍ඛා විජානතො ඉවසීමෙහි ගුණය දන්නහුට, යම් ඉවසීමක් (තිකික්‍ඛා = අධිවාසනා) වේ ද, ඒ දන්නහුට ම ජය වේ. බාලය පරුෂ වචන කථා කරමින් ජය මට ය යි හුදෙක් ජයක් ගැන සිතයි.
තුන් වැනි සූත්‍රය යි.
4. බිලඞ්ගික සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - බිලංගිකභාරද්වාජො ඔහු භාරද්වාජ ම ය. නානා ප්‍රකාර ලෙස-තනිකර (කිසිවක් මිශ්‍ර නො කළ) හා මිශ්‍රණ සහිත කාඩි හොදි (කැඳ) සාදා අලෙවි කරවමින් බොහෝ ධනයක් රැස් කළේ ය යි “බිලංගික භාරද්වාං” (කාඩි හොදි භාරද්වාජ) යි ඔහුට සංගීති කාරක තෙරුන් විසින් නම් තබන ලදි. තුණ්හීභුතො මොහු විසින් මාගේ වැඩිමහල් සහෝදරයන් තිදෙනකු මහණ කරන ලදැයි බොහෝ සෙයින් කුපිත වූයේ කිසිවක් පැවසීමට නො හැකි වූයේ නිහඬ ව සිටියේ ය. ගාථාව දේවතා සංයුක්තයෙහි කියන ලද්දේ ම ය.
සිවු වැනි සූත්‍රය යි.
5. අහිංසක සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - අහිංසකභාරද්වාජො ඔහු භාරද්වාජ ය. අහිංසක ප්‍රශ්නයක් ඇසී ය. එහෙයින් ඔහුට මේ නම සංගීතිකාරක හිමිවරුන් විසින් දෙන ලදි. නමෙන් හෝ ඔහු අහිංසක ය. ගෝත්‍රයන් භාරද්වාජ ය. අහිංසක්‍වාහං ‘අහිංසකො අහං’ (මම ‘අහිංසක’ ය). මෙසේ භවත් ගෞතමයන් වහන්සේ දැන ගන්නා සේක්වා යි කීයේ ය. තථා චස්ස ‘තථා චෙ අස්ස’ (ඉදින් එසේ වන්නෙහි නම්) (අස්ස) ‘භවෙය්‍යාසි’ වන්නෙහි නම් යන අරුත යි. න හිංසති නො වෙහෙසවයි. දුකට පත් නො කරවයි.
පස් වැනි සූත්‍රය යි.
6. ජටා සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - ජටා භාරද්වාජො ඔහු භාරද්වාජ ම ය. ජටා ප්‍රශ්නය විමසන ලද හෙයින් සංගීතිකාරක හිමියන් විසින් මෙසේ කියන ලද්දේ ය. සෙස්ස දේවතා සංයුක්තයෙහි කියන ලද්දේ ම ය.
හය වැනි සූත්‍රය යි.
7. සුද්ධික සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - සුද්ධිකභාරද්වාජො මොහු ද භාරද්වාජයෙකි. සුද්ධික ප්‍රශ්නය අසන ලද හෙයින් සංගීතිකාරයන් වහන්සේලා විසින් මෙසේ කියන ලදි. සීලවාපි තපොකරං ශීල සම්පන්න වුව ද තපස් කර්ම කරන්නේ. විජ්ජාචරණසම්පන්නො මෙහි ‘විජ්ජා’ වේද තුන, ‘චරණං’ ගෝත්‍රචරණය යි. සො සුජ්ඣති න අඤ්ඤා ඉතරා පජා ඒ තෙවිජ්ජ (ත්‍රි වේදය ඇති) බ්‍රාහ්මණයා පිරිසිදු වෙයි. මේ අන්‍ය නාමික වූ ප්‍රජාව පිරිසිදු නො වෙති යි කියයි. බහුම්පි පල්පං ජප්පං බොහෝ ප්‍රලාප කියන බ්‍රාහ්මණයා විශුද්ධියට පත් වේ. මෙසේ වචන දහසක් වුව පවසන්නේ යන අරුත යි. අන්තො කසම්බු ඇතුළත (කසම්බු = කසළ) කෙළෙස් කුණු බව නිසා කුණු වූ සංකිලිට්ඨො කිළිටි වූ කාය කර්ම ආදියෙන් සමන්විත වූ.
සත් වැනි සූත්‍රය යි.