4. අරුණවතී සූත්ර වර්ණනාව
සිවු වැන්නේ - අභිභුසම්භවං අභිභු හා සම්භව, මෙයින් ‘අභිභු’ තෙරහු සැරියුත් තෙරණුවන් මෙන් ප්රඥාවෙන් අග්රය හ. සම්භව තෙරණුවෝ මහමුගලන් තෙරණුවන් මෙන් සමාධියෙන් අග්රයහ, උජ්ඣායන්ති අවමන් කරත්, ළාමක හැටියට හෝ සිතත්. ‘ඛීයන්ති’ යනු ‘මේ කුමක් ද?’ ‘මේ කුමක් ද?’ යි උනුනුන්ට පවසත්. විපාචෙන්ති විස්තර කරමින් යළි යළිත් කථා කරති. හෙට්ඨිමෙන උපඩ්ඪකායෙන නැබ සිට පහළට ඇති කයින්; පාළියෙහි මෙපමණක් ම එයි. තෙරුන් වහන්සේ ප්රකෘති ස්වභාවය හැර දමා නාග වෙසක් ගෙන දක්වති යි ගුරුළු වෙසක් හෝ ගෙන දක්වති යි ආදි ක්රමයෙන් පැමිණි අනේක ප්රකාර සෘද්ධිවිකුර්වණය (සෘද්ධිබල පෑම) දැක්වූහ. ඉමා ගාථායො අභාසි තෙරණුවෝ (මෙසේ) සිතූහ. “කවර ආකාරයකින් දෙසන ලද ධර්මයක් සියල්ලන්ට ප්රිය වන්නේ ද මනාප වන්නේ ද?” ඒ ගැන සිතන්නාහු, “සියලු ම පාසණ්ඩයෝ ද (මිථ්යා දෘෂ්ටිකයෝ ද) සියලු දෙව් මිනිස්සු ද තම තමන්ගේ ආගමේ වීර්යය වර්ණනා කරති. වීර්යය වර්ණනා නො කරන්නෙක් නම් නැත්තේ ය. වීර්යය අන්තර්ගත කොට දෙසන්නෙමි යි මෙසේ මේ ධර්ම දේශනාව සැමට ප්රිය වන්නේ ය, මනාප වන්නේ ය යි දැන තුන් පිටකයෙහි පරීක්ෂා කොට මේ ගාථා පැවසූහ.
එහි - ආරභථ ආරම්භ වීර්යය කරවු, නික්ඛමථ නෛෂ්ක්රම්ය වීර්යය කරවු. යුඤ්ජථ ප්රයෝග = යෙදීම කරවු, උත්සාහ කරවු, මච්චුනො සෙනං මරුගේ සේනාව යනු කෙළෙස් සේනාව ය, එය ධුනාථ සෙළවවු (නසවු). ජාතිසංසාරං ජාතියත් සංසාරයත්, ජාති (උත්පත්ති) සංඛ්යාත සංසාරය හෝ, දුක්ඛස්සන්තං කරිස්සති සසර දුකෙහි කෙළවර කරන්නේ ය.
තෙරුන් වහන්සේ කුමක් කොට සහස්සී ලෝක ධාතුව දැක්වී ද? ඒ තාක් නීලකසිණයට සම වැද ආලෝකය ඇති සැමතැන්හි අන්ධකාරය පැතිරවී ය. ඕදාත කසිණයට සම වැද අන්ධකාරය ඇති තන්හි ආලෝකය (පැතිරවී ය). එයින් මේ අන්ධකාරය කුමක් දැයි සත්ත්වයන්ට මනසිකාරයක් (සිතුවිල්ලක්) ඇති වූ කල්හි ආලෝකය දැක්වූයේ ය. ආලෝකය ඇති තැන ආලෝක කාර්යයක් නැත. මේ ආලෝකය කුමක්දැයි පරීක්ෂා කරන්නවුන්ට තමා පෙන්වී ය. ඉක්බිති “තෙරණුවනි, තෙරණුවනි” යි පවසන ඔවුනට මේ ගාථා පැවසී ය. ඉදිරිපත් වූ සියලු පිරිස මැද හිඳ ධර්ම දේශනා කරන්නෙකුගේ මෙන් ශබ්දය ඇසූහ. ඔවුන්ට අර්ථය ද ප්රකට විය.
සිවු වැනි සූත්රය යි.
5. පරිනිබ්බාණ සූත්ර වර්ණනාව
පස් වැන්නෙහි - උපවත්තනෙ මල්ලානං සාලවනෙ යම් සේ යම් සේ කොළොම් නදී තෙර සිට රාජ මාතු විහාර දොරටුවෙන් ථූපාරාමයට යා යුතු වේ ද, එසේ ම හිරඤ්ඤවතිකා නම් ගඟේ එහා ඉවුරේ සිට සාල වන උයනට; අනුරාධපුරයට ථූපාරාමය යම් සේ ද එසේම එය (සාලවනය) කුසිනාරාවට වේ; යම් සේ ථූපාරාමයේ සිට දකුණු දොරටුවෙන් නගරට පිවිසෙන මාර්ගය නැගෙනහිර දෙසට ගොස් උතුරු පැත්තෙන් නවතී ද එසේ ම උයනින් සල්ගස් පෙළ නැගෙනහිර දෙසට ගොස් උතුරෙන් නවතී. එහෙයින් එය ‘උපවත්තන’ නම් වේ. මල්ලයන්ගේ උපවත්තන නම් වූ ඒ සල් වනයෙහි; අන්තරෙන යමකසාලානං මුල කඳ අතු කොළ ආදියෙන් උනුනුන් එකට ගෙතී (වැළඳ ගෙන) සිටි සල් ගස් අතර, අප්පමාදෙන සම්පාදෙථ සිහියෙන් නො තොර ව කළ යුතු කටයුතු සම්පාදනය කරවු. මෙසේ භාග්යවතුන් වහන්සේ, යම් සේ මරණ මඤ්චකයෙහි සිටිමින් මහා ධනවත් ගෙහිමියෙක් පුතුනට වත්කම් හෙළි කරන්නේ ද එසේ ම පිරිනිවන් මඤ්චකයෙහි පුතුනට වත්කම් හෙළි කරන්නේ ද එසේ ම පිරිනිවන් මඤ්චකයෙහි සිටිමින් පන්සාළිස් වසක් දෙන ලද අවවාද සියල්ල එක ම අප්රමාද පදයෙහි ම රඳවා වදාළ සේක. අයං තථාගතස්ස පච්ඡිමා වාචා මේ වූ කලී සංගීතිකරුවන්ගේ වචන යි.
මෙතැන් පටන් යම් පිරිනිවන් පිළිවෙතක් කොට භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක් ද එය දක්වනු පිණිස, අථ ඛො භගවා පඨමජ්ඣානං ආදිය පවසන ලදි. එහි දී භාග්යවතුන් වහන්සේ සංඥා වේදයිත නිරෝධයට සමවැදි කල්හි ආශ්වාස ප්රශ්වාසයන්ගේ නො පැවැත්ම දැක බුදුන් වහන්සේ පිරිනිවන් පෑහ යන සංඥාවෙන් දෙව් මිනිස්සු එක පැහැර හඬ නැගූහ. අනඳ තෙරණුවෝ ද, අනුරුද්ධයෙනි, භාග්යවතුන් වහන්සේ පිරිනිවිසේක් දැයි තෙරුන් විචාළහ. තෙරහු: ඇවැත් ආනන්දයෙනි, භාග්යවතුන් වහන්සේ පිරිනිවියේ නැත. එහෙත් සංඥාවේදයිත නිරෝධයට සම වැදුණ සේක යි කීහ.
උන්වහන්සේ කෙසේ දැන ගත් සේක් ද? තෙරුන් වහන්සේ බුදුන් සමග ම ඒ ඒ සමාපත්තියට සමවදිමින් යම් තාක් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයෙන් නැගිටීමක් වේ ද? ඒ තාක් ගොස් දැන් භාග්යවතුන් වහන්සේ නිරෝධයට පැමිණියහ. නිරෝධය තුළ කාලක්රියාවක් නම් නැතැයි දැන ගත්තේ ය.