5. පරිනිබ්බාණ සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - උපවත්තනෙ මල්ලානං සාලවනෙ යම් සේ යම් සේ කොළොම් නදී තෙර සිට රාජ මාතු විහාර දොරටුවෙන් ථූපාරාමයට යා යුතු වේ ද, එසේ ම හිරඤ්ඤවතිකා නම් ගඟේ එහා ඉවුරේ සිට සාල වන උයනට; අනුරාධපුරයට ථූපාරාමය යම් සේ ද එසේම එය (සාලවනය) කුසිනාරාවට වේ; යම් සේ ථූපාරාමයේ සිට දකුණු දොරටුවෙන් නගරට පිවිසෙන මාර්ගය නැගෙනහිර දෙසට ගොස් උතුරු පැත්තෙන් නවතී ද එසේ ම උයනින් සල්ගස් පෙළ නැගෙනහිර දෙසට ගොස් උතුරෙන් නවතී. එහෙයින් එය ‘උපවත්තන’ නම් වේ. මල්ලයන්ගේ උපවත්තන නම් වූ ඒ සල් වනයෙහි; අන්තරෙන යමකසාලානං මුල කඳ අතු කොළ ආදියෙන් උනුනුන් එකට ගෙතී (වැළඳ ගෙන) සිටි සල් ගස් අතර, අප්පමාදෙන සම්පාදෙථ සිහියෙන් නො තොර ව කළ යුතු කටයුතු සම්පාදනය කරවු. මෙසේ භාග්‍යවතුන් වහන්සේ, යම් සේ මරණ මඤ්චකයෙහි සිටිමින් මහා ධනවත් ගෙහිමියෙක් පුතුනට වත්කම් හෙළි කරන්නේ ද එසේ ම පිරිනිවන් මඤ්චකයෙහි පුතුනට වත්කම් හෙළි කරන්නේ ද එසේ ම පිරිනිවන් මඤ්චකයෙහි සිටිමින් පන්සාළිස් වසක් දෙන ලද අවවාද සියල්ල එක ම අප්‍රමාද පදයෙහි ම රඳවා වදාළ සේක. අයං තථාගතස්ස පච්ඡිමා වාචා මේ වූ කලී සංගීතිකරුවන්ගේ වචන යි.
මෙතැන් පටන් යම් පිරිනිවන් පිළිවෙතක් කොට භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක් ද එය දක්වනු පිණිස, අථ ඛො භගවා පඨමජ්ඣානං ආදිය පවසන ලදි. එහි දී භාග්‍යවතුන් වහන්සේ සංඥා වේදයිත නිරෝධයට සමවැදි කල්හි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නො පැවැත්ම දැක බුදුන් වහන්සේ පිරිනිවන් පෑහ යන සංඥාවෙන් දෙව් මිනිස්සු එක පැහැර හඬ නැගූහ. අනඳ තෙරණුවෝ ද, අනුරුද්ධයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවිසේක් දැයි තෙරුන් විචාළහ. තෙරහු: ඇවැත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවියේ නැත. එහෙත් සංඥාවේදයිත නිරෝධයට සම වැදුණ සේක යි කීහ.
උන්වහන්සේ කෙසේ දැන ගත් සේක් ද? තෙරුන් වහන්සේ බුදුන් සමග ම ඒ ඒ සමාපත්තියට සමවදිමින් යම් තාක් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයෙන් නැගිටීමක් වේ ද? ඒ තාක් ගොස් දැන් භාග්‍යවතුන් වහන්සේ නිරෝධයට පැමිණියහ. නිරෝධය තුළ කාලක්‍රියාවක් නම් නැතැයි දැන ගත්තේ ය.
“අථ ඛො භගවා සඤ්ඤාවෙදයිතනිරෝධ සමාපත්තිතො වුට්ඨහිත්‍වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි -පෙ- තතියජ්ඣානා වුට්ඨහිත්‍වා චතුත්‍ථජ්ඣානං සමාපජ්ජි” මෙහි දී භාග්‍යවතුන් වහන්සේ සූවිසි තන්හි ප්‍රථම ධ්‍යානයට සම වැදුණු සේක. තුදුස් තන්හි ද්විතීයධ්‍යානයට ද, එසේ ම තෘතීය ධ්‍යානයට ද, පසළොස් තන්හි චතුර්ථ ධ්‍යානයට ද සම වැදුණු සේක. කෙසේ ද? අශුභ දහයෙහි - දෙතිස් ආකාරයෙහි - කසිණ අටෙහි - මෙත්තා, කරුණා, මුදිතාහි - ආනාපානයෙහි - පරිච්ඡෙදාකාස යන මේවාහි ස්ථාන විසි හතරෙහි ප්‍රථම ධ්‍යානයට සම වැදිණි. ද්වත්තිංසාකාරයත් දශ අශුභයත් හැර ඉතිරි තුදුස්සෙහි ද්විතීය ධ්‍යානයට ද, එහි ම තෘතීය ධ්‍යානයට ද සම වැදුණු සේක. කසිණ අටෙහි, උපේක්‍ෂා බ්‍රහ්මවිහාරයෙහි, ආනාපාන පරිච්ඡෙදාකාශයෙහි අරූප සතරෙහි යන මේ පසළොස් තන්හි චතුර්ථධ්‍යානයට සම වැදුණු සේක. මේ සංක්‍ෂේප විස්තරය ම ය. නිවන් පුරයට පිවිසෙන්නේ ධර්මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ සියලු සූවිසි කෙළ ලක්ෂයක් සමාපත්තියට පිවිස, විදේශයට යන්නෙකු ඤාති ජනයා වැළඳ ගන්නාක් මෙන් සර්ව සමාපත්තිසුඛය අනුභව කොට ම ප්‍රවිෂ්ට විය.
චතුත්‍ථජ්ඣානා වුට්ඨහිත්‍වා සමනන්තරා භගවා පරිනිබ්බායී මෙහි ‘ඣානසමනන්තර’, ‘පච්චවෙක්‍ඛසමනන්තර’ යනුවෙන් සමනන්තර දෙකකි. චතුර්ථධ්‍යානයෙන් නැගිට භවඞ්ගයට අවතීර්ණ වූවහුට එහි ම පිරිනිවීම ධ්‍යාන සමනන්තර නමි. චතුර්ථධ්‍යානයෙන් නැගී සිට යළි ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කොට භවාඞ්ගයට අවතීර්ණ වූවහුට එහි ම පිරිනිවීම පච්චවෙක්‍ඛණ සමනන්තර නමි. මේ දෙක ම සමනන්තර ම ය.
භාග්‍යවතුන් වහන්සේ ධ්‍යානයට සම වැද ධ්‍යානයෙන් නැගිට ධ්‍යානාඞ්ග ප්‍රත්‍යවේක්ෂා කොට අව්‍යාකෘත භවඞ්ගචිත්තයෙන් දුක්ඛ සත්‍යයෙන් පිරිනිවන් පෑ සේක. බුදුන් වහන්සේලා හෝ පසේ බුදුවරු හෝ ආර්ය ශ්‍රාවකයෝ හෝ අන්තිම වශයෙන් කුන්ථකිපිල්ලකයකු (එනම් කුහුඹු විශේෂය) ගෙන අව්‍යාකෘත භවඞ්ග චිත්තයෙන් ම දුක්‍ඛ සත්‍යයෙන් කාලක්‍රියා කරති.
භූතා සත්ත්වයෝ අප්පටිපුග්ගලො සමාන පුද්ගලයන් නොමැති බලප්පත්තො දශවිධ ඥාන බලයට පැමිණි. උප්පාදවයධම්මිනො උත්පාද ව්‍යය ස්වභාව කොට ඇති තෙසං වුපසමො ඒ සංස්කාරයන්ගේ සංසිඳීම, සුඛො අසංස්කෘත වූ නිර්වාණය ම සුවයකි යන අරුත යි.
තදාසි “සහ පරිනිබ්බාණා මහා භුමිචාලො අහොසි” (පිරිනිවුමත් සමග මහා භූමිචලනයක් විය) යි මෙසේ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි කියන ලද භූමිචලනය අරභයා කී ය. එය ලොමු දැහැ ගන්වන හා භීෂණ වූ එකක් විය. සබ්බාකාර වරූපෙතෙහි සියලු උතුම් කරුණුවලින් සමන්විත වූ.
නාහු අස්සාසපස්සාසො ආශ්වාස ප්‍රශ්වාසයක් නො හට ගත්තේ ය. අනෙජො තෘෂ්ණා සංඛ්‍යාත වූ ‘ඒජා’ නොමැති බැවින් ‘අනේජ’ වූ, සන්තිමාරබ්භ අනුපාදිසේස නිවන ආරබ්භ = පටිච්ච = සන්‍ධාය = අරභයා, චක්‍ඛුමා ඇස් පහකින් යුතු හෙයින් ‘චක්‍ඛුමා’ (ඇස් ඇත්තේ) පරිනිබ්බුතො ස්කන්‍ධපරිනිර්වාණයෙන් පිරිනිවි සේක.
අසල්ලීනෙන = ‘අනල්ලීනෙන’ - නො සැඟවුණු, නො හැකිලුණු මැනවින් විකසිත වුණු සිතින්, වෙදනං අජ්ඣවාසයී වේදනාව ඉවසූ සේක. වේදනාව අනුව යමින් ඒ මේ අතට නො පෙරළුණු සේක. විමොක්‍ඛො කිසියම් ධර්මයකින් අනාවරණ වූ විමෝක්ෂය සියලු ආකාරයෙන් අප්‍රඥප්තිභාවයට පත් පහනක නිවීම සමාන යයි දත යුතු ය.
පස් වැනි සූත්‍රය යි.