5. අපරාදිට්ඨි සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - තෙජො ධාතුං සමාපජ්ජිත්‍වා යනු තේජෝ කසිණ පරිකර්මය කොට පාදක ධ්‍යානයෙන් නැගී සිට සිරුරෙන් ගිනි දැල් නිකුත් වේවා යි අධිෂ්ඨාන කළ කල්හි අධිෂ්ඨාන චිත්ත ආනුභාවයෙන් සකල ශරීරයෙන් ගිනි දැල් නික්මෙයි. මෙලෙස තේජෝ ධාතුවට සම වැදුනේ නම් වේ. එසේ සම වැදී. තස්මිං බ්‍රහ්මලොකෙ කුමක් නිසා තෙරුන් වහන්සේ එහි ගියෝ ද? තේජෝ ධාතුවට සම වැදී ඒ බ්‍රහ්මයාටත් ඉහළින් සිටි බුදුන් වහන්සේ දැක මේ පුද්ගලයා අස්ථිවේධියෙකි. මා ද එහි යා යුතු ය යි සිතක් පහළ විය. එහෙයින් ගියෝ ය. සෙසු තෙරවරුන්ගේ ගමන් ගැන ද මේ න්‍යාය ම ය. ඒ බ්‍රහ්මයා තථාගතයන් වහන්සේගේත්, තථාගත ශ්‍රාවකයන්ගේත් ආනුභාවය නො දැක විනයට පැමිණීමට අයෝග්‍ය වූයේ ය; එහෙයින් ඒ සන්නිපාතය විය. එහිදී තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් උද්ගත වූ ගිනි දැල් සකල බ්‍රහ්ම ලෝකය ඉක්මවා අජටාකාශයේ පතිත විය. ඒවා (ගිනි දැල්) ෂඩ්වර්ණ විය. තථාගත ශ්‍රාවකයන්ගේ ප්‍රභාව ප්‍රකෘති වර්ණ ම විය.
පස්සසි වීතිවත්තන්තං මේ බ්‍රහ්ම ලෝකයෙහි අනික් බ්‍රහ්ම ශරීර - බ්‍රහ්මවිමාන - අලංකාර ආදියෙහි ප්‍රභාව (දීප්තිය) ඉක්මවා යන භාග්‍යවත් භාග්‍යවත් බුදුන් වහන්සේගේ ප්‍රභාස්වර වූ දිප්තිය දකිහි දැයි විමසයි. න මෙ මාරිස සා දිට්ඨි මෙහි පැමිණීමට සමන් අන් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු නැතැයි යම් දෘෂ්ටියක් මට පෙර තිබිණ ද? (දැන්) එය මට නැත. කථං වජ්ජං කුමන කරුණකින් පවසම් ද? නිච්චොම්හි සස්සතො මේ බ්‍රහ්මයාට ලබ්ධි දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටිය ය දෘෂ්ටි දෙකකි. ලබ්ධි දෘෂ්ටිය තථාගතයන් වහන්සේත් තථාගත ශ්‍රාවකයනුත් දැක්මෙන් ප්‍රහීණ විය. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහත් ධර්ම දේශනයක් පැවැත් වූ සේක. බ්‍රහ්මයා දේශනාවසානයෙහි දී සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. මෙසේ මේ (ආර්ය) මාර්ගයෙන් ශාස්වත දෘෂ්ටිය ප්‍රහීණ විය. එහෙයින් එසේ කී ය.
බ්‍රහ්මපාරිසජ්ජං බ්‍රහ්ම අතවැසියකු, තෙරුන් වහන්සේලාට බඩු ගෙන යන ඇබිත්තයන් මෙන්, බ්‍රහ්මයනට ද ‘අතවැසි බ්‍රහ්ම’ නම් වූවෝ වෙති. තෙනුපසංකමි කුමක් නිසා තෙරුන්ගේ ම අසළට යැවී ද? ඔහුට එපමණ කථා සල්ලාපයකින් ම තෙරුන් කෙරෙහි විශ්වාසයක් හට ගැනිණි. එහෙයින් උන්වහන්සේ සමීපයට යැවී ය. අඤ්ඤෙපි ඔබ වහන්සේලා සතර දෙන යම් සේ ද, ඒ ආකාරයේ තවත් අය වෙත් ද? නැතහොත් ඔබ වහන්සේලා සතර දෙනා පමණක් මහා සෘද්ධිමත් වූවාහු වෙත් ද? තෙවිජ්ජා පුබ්බෙනිවාස - දිබ්බචක්‍ඛු - ආසවක්‍ඛය සංඛ්‍යාත වූ විද්‍යා තුනෙන් සමන්විත වූ, ඉද්ධිප්පත්තා ඉද්ධිවිධ ඥානයට පැමිණි, චෙතොපරියායකොවිදා අන්‍යයන්ගේ සිත් හැසිරෙන ආකාරය පිළිබඳ වූ දක්ෂ වූ මෙසේ මෙහි අභිඥා පහ ස්වරූපයෙන් ම කියන ලදි. ‘දිබ්බසෝතය’ ඒවා දැක්වීම වශයෙන් ම ආයේ වෙයි. බහු මේ ආකාරයේ අභිඥා සය ලැබූ බුද්ධශ්‍රාවකයෝ බොහෝ ය. ගණන් ප්‍රමාණය ඉක්මවා යන හෙයින් සකල ජම්බුද්වීපය ම කසාවතින් බබළවමින් සැරිසරත්.
පස් වැනි සූත්‍රය යි.
6. පමාද සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - පච්චෙකං ද්වාරං බාහං එක් එක් කෙනෙක් එක් එක් දොර පියනක් ඇසුරු කොට දොරටු පාලයන් මෙන් සිටියහ. ඉද්ධො ධ්‍යාන සුඛයෙන් සමෘද්ධිමත් වූයේ ඵිතො අභිඥාපුෂ්පයෙන් මැනවින් පිපුනේ අනධිවාසෙන්තො නො ඉවසමින්, එතදවොච නිර්මාණය කරන ලද (මවන ලද) ඒ බ්‍රහ්මයන් මැද සිටිමින් පස්සසි මෙ ආදි වචන පැවසී ය.
තයො සුපණ්ණා යන ගාථාවේ පඤ්චසතා රූප රූප වශයෙන් හෝ පන්ති (පේළි) වහයෙන් සියක් පා ඇත්තවුන් යෙදිය යුතු ය. රූප වශයෙන් තයො සුපණ්ණා ගුරුළු රූප තුන් සියයකි. චතුරො ච හංසා හංස රූප හාර සියයක්, ව්‍යග්ඝිනියා පඤ්චසතා ව්‍යාඝ්‍රයන් හා සමාන ඇතැම් මෘගයෝ ‘ව්‍යග්ඝනියා’ නමි. ඒ ‘ව්‍යග්ඝිනියා’ රූප පන්සියයක් පන්ති වශයෙන් තයො සුපණ්ණා ගුරුළු පන්ති තුන්සියයක්, චතුරො ච හංසා හංස පන්ති හාර සියයක් ව්‍යග්ඝිනියා පඤ්චසතා ව්‍යග්ඝිනියා පන්ති පන්සියයක් ඣායිනො ධ්‍යාන වඩන මගේ විමානයෙහි මේ විභූතිය ද දක්වයි. ඔහාසයං ආලෝක කරමින් උත්තරස්සං දිසායං ඒ කනක විමානය (රන් විමන) ඒ මහා බ්‍රහ්මයන් සිටි තැන සිට උතුරු දිසාවෙහි වේ. එහෙයින් මෙසේ කී ය. එහි අදහස මෙය යි. මෙ බඳු රන් විමනක වසන මම අන් කවරකුගේ උපස්ථානයට යන්නෙම් ද? රූපෙ රණං දිස්වා රූපයෙහි ජාති ජරා භංග සංඛ්‍යාත වූ දෝෂය දැක සදාපවෙධිතං ශීත ආදියෙන් නිතර වේවලන චලනය වන - ගැටෙන රූපය දැක තස්මා න රූපෙ රමති සුමෙධො යම් සෙයකින් රූපයෙහි දෝෂය දකියි ද සෑම දා සෙළවෙන (කම්පිත වන) රූපය දකී ද එහෙයින් ‘සුමෙධො’ සුන්දර වූ ප්‍රඥාවක් ඇති ඒ බුදුන් වහන්සේ රූපයෙහි නො ඇළෙති.
සය වැනි සූත්‍රය යි.