4. බකබ්‍රහ්ම සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - පාපකං දිට්ඨගතං පහත් වූ ශාස්වත දෘෂ්ටිය, ඉදං නිච්චං කය සමග අනිත්‍ය බ්‍රහ්ම තත්ත්වය අනිත්‍ය (වුව ද) නිත්‍ය ය යි කියයි. ‘ධුවා’ ආදිය ඊට සමාන වචන යි. එහි ධුවං ස්ථිර, සස්සතං සදාකල්හි විද්‍යමාන වන කෙවලං නො කැඩුණු සියල්ල අචවනධම්මං චුත නො වන ස්වභාවය ඉදං හි න ජායති ආදියෙහි මෙ තැන්හි හට ගන්වන්නෙකු හෝ දිරවන්නෙකු හෝ මරවන්නෙකු හෝ චුත කරවන්නෙකු හෝ උපදවන්නෙකු හෝ නැතැයි යන්න අරභයා පවසයි. ඉතො ච පනඤ්ඤං මේ බ්‍රහ්ම ස්ථාන අවස්ථාවට ඉහලින් අන් නිස්සරණයක් නම් නැතැයි මෙසේ ඔහුට බලවත් ශාස්වත දෘෂ්ටියක් උපන්නේ වේ. එබඳු වාදයක් දරන ඔහු ඉහළ ධ්‍යාන භූමි තුන, සතර මග, සතර ඵල, නිර්වාණය යන සියල්ල වළක්වයි. මේ දෘෂ්ටිය උපන්නේ කවදා ද? ප්‍රථම ධ්‍යාන භූමිය ඉපදවූ කල්හි ය, ද්විතීය ධ්‍යාන භූමියෙහි ය සමහරු (කියති) එහි අනුපූර්ව කථාව මෙසේ ය:
පහළ භූමියක උපන්නෙකි මේ බ්‍රහ්මයා. බුදුන් වහන්සේ නො උපන් කල්හි පැවිදි බවට පත් ව කසිණ පරිකර්මය කොට සමාපත්තිය උපදවා නො පිරිහුණු ධ්‍යානයෙන් කාලක්‍රියා කොට චතුර්ථ ධ්‍යාන භූමියෙහි - වෙහප්ඵල බ්‍රහ්ම ලෝකයෙහි කල්ප පන්සියයක් ආයු ගෙන උපන්නේ ය. එහි යම් තාක් ආයු වී ද ඒ තාක් සිට, පහළ (තලයක) උපත ලබා ප්‍රණීත වූ තෘතීය ධ්‍යානය වඩා සුභකිණ්හ බ්‍රහ්ම ලෝකයෙහි හැට හතර කපක් ආයු ගෙන උපන්නේ ය. එහි දුතිය ධ්‍යානය වඩා ආභස්සරයෙහි අට කපක් ආයු ගෙන උපන්නේ ය. එහි ප්‍රථම ධ්‍යානය වඩා ප්‍රථම ධ්‍යාන භූමියෙහි කල්පයක් ආයු ඇති ව උපන්නේ ය. හේ ප්‍රථම කාලයෙහි තමා විසින් කරන ලද කර්මය ද උපන් තැන් ද දන්නේ ය. කාලය ගතවත් ගතවත් ම දෙකෙහි ම මුළා වී ශාස්වත දෘෂ්ටිය ඉපද වී ය.
අවිජ්ජාගතො ‘අවිජ්ජාය ගතො’ අවිද්‍යාවෙන් සමන්විත වූයේ, අඥාන වූයේ අන්ධ වූයේ යත්‍ර හි නාම යො නාම, යමෙක් නම් වක්‍ඛති කියයි ද, යත්‍ර යන නිපාත යෝගයෙන් අනාගත වචනය යෙදිණි.
මෙසේ කී කල්හි ඒ බ්‍රහ්මයා, යම් සේ මාර්ගයෙහි සොරෙක් පහර දෙක තුනක් ඉවසා (සිය) සගයන් ගැන නො කියා සිටියි ද, තවදුරටත් පහර දෙනු ලබන්නේ අසුවලා ද අසුවලා ද මට සහාය වන්නේ යි පවසයි ද එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් තර්ජනය කරනු ලබන්නේ සිහිය ලැබ. භාග්‍යවතුන් වහන්සේ මගේ පියවරින් පියවර ආ පිළිවෙල අපේක්ෂා කරමින් මා පෙළන්නට කැමැත්තේ යයි භීතියට පත් වයේ තම සහායකයන් අනාවරණය කරන්නේ ද්වාසත්තති ආදිය පැවසී ය. එහි අර්ථය: භවත් ගෞතමයනි, අපි හැත්තෑ දෙදෙනෙක් පින් කම් කළ අය (වම්හ), ඒ පින්කමෙන් මෙහි උපන්නෙමු, වසවර්තී වූයෙම් තමන් අනුන්ගේ වසඟයට පත් නො වී අනුන් තමන්ගේ වසඟයට පත් කරවමු; ජාතිය ද, ජරාව ද ඉක්මවූවාහු (වෙමු). මෙය අප වේදයෙන් ගත් බැවින් ‘වෙදගු’ යි සැළකීමට පත් වූවාහු, භාග්‍යවතුන් වහන්ස, (මෙය) අවසාන බ්‍රහ්ම උත්පත්තිය යි. අස්මාභිජප්පන්ති ජනා අනෙකා නොයෙක් මිනිස්සු අප ප්‍රාර්ථනා කරත්. මේ භවත් බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, අභිභූ, අනභිභූතො, අඤ්ඤදත්‍ථු දසො, වසවත්තී, ඉස්සරො (ඊශ්වර) කත්තා (කර්තා), නිම්මාතා (නිර්මාතෘ), සෙට්ඨො (ශ්‍රේෂ්ඨයා), සඤ්ජිතා (උපදවන්නා), වසී (අනුන්) වසඟයට ගන්නා), භූත භව්‍යානං පිතා (උපන් හා ඉපදීමට සිටින්නන්ගේ පියා) යි මෙසේ ප්‍රාර්ථනා කරති. කැමති වෙති.
එවිට බුදුන් වහන්සේ අප්පඤ්හි එතං ආදිය කී සේක. එහි එතං මෙහි ඔබගේ යම් ආයුෂයක් දිග යයි ඔබ සිතයි ද එය අල්ප ය, සීමිත ය. සතං සහස්සානං නිරබ්බුදානං නිරබ්බුද ගණනින් නිරබ්බුද ලක්ෂයකි. ආයුං පජානාමි දැන් ඔබගේ ඉතිරි වුණු ආයුෂය මෙපමණකැයි මම දනිමි, අනන්තදස්සී භගවාහමස්මි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “මම අනන්තදස්සී වෙමි, ජාති දක්වා ඉක්මවා සිටියෙම් වෙමි’යි කියන සේක. කිං මෙ පුරාණං ඉදින් ඔබ අනන්තදස්සී නම්, එවන් කල මෙය මට කියනු මැනවි: මගේ අතීතය, ව්‍රතය හා ශීලය කුමක් ද? සීලවත්තං ශීලය ම කියනු ලැබේ. යමහං විජඤ්ඤා ඔබ විසින් පවසන ලද යමක් මම දන්නෙම් නම් එය මට කියනු මැනවි යි කියයි.
දැන් ඔහුට පවසමින් භාග්‍යවතුන් වහන්සේ යං ත්‍වං අපායෙසී ආදිය පැවසූ සේක. එහි අදහස මෙය යි:
පෙර මෙතෙමේ කුල නිවසක ඉපදී කාමයන්හි ආදීනව දැක ජාති ජරාමරණයන් කෙළවර කරන්නෙමැයි නික්ම ගොස් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව සමාපත්ති උපදවා අභිඥා පාදක ධ්‍යාන ලාභියකු වී ගංගා තෙර පන්සලක් කරවා ධ්‍යාන රතියෙන් කල් ගෙවී ය. එකල්හි කලින් කලට ගැල් වෙළෙන්දෝ පන්සියයක් ගැලින් මරුකතරට පිවිසෙත් මරු කතරෙහි දහවල් යාමට නො හැක; රාත්‍රියට ගමන් වේ. ඉක්බිති මුල් කරත්තයෙහි මුල් වියගසෙහි බඳිනා ලද ගොන්නු යන්නාහු යන්නාහු නැවත පැමිණි මඟට ම මුහුණ ලා සිටියහ. සියලු කරත්ත එසේ ම නවත්වා අරුණ නැඟුණු විට නැවතුණු බැව් දත්හ. ඔවුන්ට එකල්හි කාන්තාරය ඉක්ම යන (අවසන්) දවස ද විය. සියලු දර දිය අවසන් විය. දැන් අපට ජීවිතයක් නැතැයි සිතා ගොනුන් කරත්ත රෝදවල බැඳ මිනිස්සු රිය සෙවනැල්ලට පිවිස හිඳ ගත්හ.
තාපසතුමා ද උදෑසනින් ම පන්සලෙන් නික්ම පන්සල් දොරටුවේ සිටිමින් ගංගාව දෙස බලන්නේ මහත් ජල කඳකින් පිරෙමින් පෙරළෙන මැණික් කඳක් මෙන් එන ගඟ දුටුවේ ය. දැක මේ ලෝකයෙහි මේ ආකාරයේ මිහිරි ජලය නො ලැබීමෙන් පෙළෙන සත්ත්වයෝ සිටිත් දැයි සිතී ය. එතුමා එසේ ආවර්ජනය කරන්නේ මරුකතර ඒ ගැල් සමූහය දැක, මේ ගැල්කරුවෝ නො නැසෙත්වායි ඒ මේ ඈතින් මහා ජලකඳ බෙදී මරුකතරෙහි ගැල් සමූහය දෙසට යේවා යි අභිඥා චිත්තයෙන් අධිෂ්ඨාන කළේ ය. ඒ සිතුවිල්ල පහළ වීමත් සමග ඇළකින් දිය ගෙන යන්නාක් මෙන් ජලය එහි ගියේ ය. මනුෂ්‍යයෝ ජලහඬින් නැගිට ජලය දැක තුටුපහටු ව නා බී ගොනුන්ට ද පොවා යහතින් පැතූ තැනට ගියහ.
බුදුන් වහන්සේ බ්‍රහ්මයාගේ ඒ පූර්ව කර්මය දක්වන සේක් පළමු ගාථාව පැවසූහ. එහි අපායෙසි පෙවූයෙහි; ‘අ’ කාරය නිපාත මාත්‍රයකි. ඝම්මනි ග්‍රීෂ්මයෙහි, සම්පරෙතෙ ග්‍රීෂ්ම හිරු රැස්වලින් ස්පර්ශ වුණු කල්හි. අනුගත වූ කල්හි.