3. බ්රහ්මදේව සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි - එකො සිටීම ආදි ඉරියව්වල හුදෙකලා ව, තනි ව වසන්නා වූ යන අර්ථය යි. වූපකට්ඨො කයෙන් වෙන් ව, නිදහස් ව; අප්පමත්තො සිහියෙන් වෙන් නො වී සිටියේ ආතාපි වීර්යයෙන් යුතු ව තැවීමෙන් සමන්විත වූයේ පහිතත්තො මෙහෙයවූ සිත් ඇත්තේ, කුලපුත්තා ආචාරවත් කුලපුත්රයෝ සම්මදෙව ණය ගැනීමෙන් පීඩිත වූයේ නොව, භයෙන් ඇළලී නොව, ජීවිත ප්රකෘති නො වී යම් යම් ආකාරයට පැවිදි වූයේ වුව ද අනුලෝම ප්රතිපදාව පුරත් ද ඔවුහු මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් නමි. බ්රහ්මචරියපරියොසානං මාර්ග බ්රහ්මචර්යයේ අවසානය වූ ආර්ය ඵලය, දිට්ඨෙව ධම්මෙ මේ ආත්ම භවයේ දී ම සයං අභිඤ්ඤා සච්ඡිකත්වා තමා ම දැන ප්රත්යක්ෂ කොට, උපසම්පජ්ජ ලැබ, සම්පාදනය කොට විහාසි (විසී ය.) මෙසේ වාසය කරන්නේ -පෙ- අබ්භඤ්ඤාසි (දැන ගත්තේ ය). මෙයින් උන්වහන්සේගේ ප්රත්යවේක්ෂණ භූමිය දක්වන ලදි.
ක්ෂීණ වූ ජාතිය කුමක් ද? එය දැන ගත්තේ කෙසේ ද? කියනු ලැබේ. ක්ෂීණ වූ අතීත ජාතියක් නො මැත; පෙරදී ම ක්ෂීණ වූ හෙයිනි. අනාගත (ජාති) ද නැ. එහි උත්සාහයක් නැති හෙයිනි. වර්තමානයෙහි ද නැත. විද්යමාන වන හෙයිනි. (ආර්ය) මාර්ගය භාවිත නො කළ හෙයින්, ඒක - චතුර් - පඤ්ච වෝකාර භවයන්හි ඒක - චතුර් - පඤ්ච - ස්කන්ධ ප්රභේද වූ යම් ජාතියක් වේ ද, ඒ ජාතිය, මාර්ග භාවිත කිරීම හේතුවෙන් නො ඉපදීම් ධර්මතාවට පැමිණීම මගින් ක්ෂීණ විය; හෙතෙම එය මාර්ග වැඩීම මගින් පහවූ කෙළෙසුන් විමසා බලා, කෙළෙසුන් නොමැති වීමේ හේතුවෙන්, විද්යමාන වුව ද කර්මය අනාගතයෙහි අප්රතිසන්ධික වෙතියි දකිමින් දනී.
වුසිතං වාසය කරන ලදි. මැනවින් වාසය කරන ලදි, හැසිරීම් කරන ලදි, නිෂ්ටාවට පත් කරන ලදි යන අර්ථ යි. බ්රහ්මචරියං මාර්ග බ්රහ්මචරියාව කතං කරණීයං සත්ය සතරෙහි මාර්ග සතරින් පරිඤ්ඤා, පහාණ, සච්ඡිකිරියා, භාවනා වශයෙන් සොළොස් වැදෑරුම් වූ කාර්යයෝ අවසන් කරන ලදහ යන අර්ථ යි. නාපරං ඉත්ථත්තාය දැන් යලිත් ‘ඉත්ථංභාවය’ පිණිස මෙ බඳු සොළොස් වැදෑරුම් වූ කාර්යය පිණිස හෝ කෙළෙස් ප්රහීණ කිරීම පිණිස හෝ කරන ලද මාර්ග භාවනා නැත. නැතහොත් ඉත්ථත්තාය, ‘ඉත්ථත්තභාවතො’ මේ ආත්මභාවයෙන් මෙබඳු ආකාර වූ දැනට පවත්නා මේ ස්කන්ධ සන්තානයෙන් වෙනත් ස්කන්ධ සන්තානයක් නැත. මේ පඤ්චස්කන්ධය අවබෝධ කරන ලදුව තිබේ. මුල් සිඳූ ගසක් මෙනි යි. අබ්භඤ්ඤාසි (දත්තේ ය). අඤ්ඤතරො එක් කෙනෙක්; අරහතං රහතුන් වහන්සේලා අතුරින්, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වූ රහතුන් වහන්සේලා අතුරින් (එක තැනැත්තෙක්) අහොසි (විය).
සපදානං පිළිවෙල නො කඩා යාම, පැමිණි ගේ මග නො හැර පිළිවෙලින් යන්නේ, උපසඞ්කමි ළඟට පැමිණෙමින්, උන්වහන්සේගේ මව පුතා දැකලා ම ගෙයින් පිටතට අවුත් පාත්රය ගෙන නිවස ඇතුළට කැඳවා ගෙන ගොස් පනවන ලද අසුනෙහි වඩා හිඳවූවා ය.
ආහුතිං නිච්චං පග්ගණ්හාති නිතිපතා ගිනි දෙවි පිදීම් පිළිගන්වයි. එම දිනයේ ඒ නිවසෙහි භූත බලි කර්මයක් වේ. මුළු නිවස ම පළාවන් පැහැයෙන් ආලේප කොට, විසුරුවන ලද විළඳ ඇති ව, වන මාලාවලින් වට කරන ලදුව, ඔසවන ලද ධජ පතාක ඇති ව, ඒ ඒ තැන පිරුණු කළ තබා, පන්දම් දල්වා, සුවඳ කුඩු මාලා ආදියෙන් අලංකාර කරන ලදුව හාත්පසින් මැනවින් සිත් පිනවන දුම්කබල් ඇත්තේ විය. ඒ බැමිණිය ද උදයෙන් ම නැඟිට සොළොස් සුවඳ පැන් කළ ස්නානය කොට සර්වාලංකාරයෙන් ශරීරය අලංකාර කළා ය. ඕ තොමේ මහා ක්ෂීණාශ්රවයන් වහන්සේ වඩා හිඳුවා කැඳ හැන්දක් (උලක්) පමණකුදු නො දී මහා බ්රහ්මයාට කවන්නෙමි යි රන් පාත්රයක් ගිතෙල් මී සකුරු ආදිය යොදා පායාසය පුරවා, නිවසේ පිටුපස පළාවන් ආලේපයකින් අලංකාර කරන ලද භූත පීඨිකාවක් ඇත, ඒ පාත්රය රැගෙන එතැනට ගොස් කොන් සතරෙහිත් මැදත් එක එක කිරිබත් පිඬක් තබා, එක් පිඬක් අතින් ගෙන, වැළමිට තෙක් ගිතෙල් වැගිරෙමින් දණ මඬල පොළොවෙහි පිහිටුවා පින්වත් මහා බ්රහ්මයාණෙනි, වළඳනු මැනවි, මහා බ්රහ්මයාණනි, රස විඳිනු මැනවි, මහා බ්රහ්මයාණනි සන්තර්පණය වනු මැනවි යි පවසමින් මහාබ්රහ්මයාට වළඳවයි.
එතදහොසි මහා ක්ෂීණාශ්රවයන්ගේ ශීලගන්ධය සදෙව් ලොව පැතිරී බ්රහ්ම ලෝකයට පැමිණියේ එය ආඝ්රාණය කරමින් සිටින්නහුට මෙසේ සිතිණි. සංවෙජෙය්යං උනන්දු කරවන්නෙම්, (සංවේග දනවන්නෙම්) සම්යක් ප්රතිපත්තියෙහි යොදවන්නෙම්; මැය මහා ක්ෂීණාශ්රවයන් මෙ බඳු අග්රදක්ෂිණාවක වඩා හිඳුවා කැඳ හැන්දක් පමණවත් නො දී මහා බ්රහ්මයාට වළඳවමි යි, තරාදිය හැර දමා අතින් කිරන්නියක මෙන්, බෙරය හැර දමා බඩේ බෙර ගසන්නියක මෙන්, ගින්න හැර දමා කදෝපැණියකුට පිඹින්නාක් මෙන් භූතබලා පවත්වමින් ඇවිදියි, යමි, ඇගේ මිථ්යා දර්ශනය බිඳ අපා මගින් ඔසවා අසූ කෙළක් ධනය යම් සේ බුදු සසුනෙහි විසුරුවා ස්වර්ග මාර්ගයට නගියි ද එසේ කරමි” යි කියන ලද්දේ වේ.