2. ගාරව සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - උදපාදි මේ විතර්කය පස් වැනි සතියෙහි දී ඇති විය. අගාරවො අනිකෙකුට ගෞරව රහිත ව, කිසිවකු ගුරු ස්ථානයෙහි නො තබා යන අර්ථයි යි. අප්පතිස්සො - ගෙය රහිත, කිසිවකු - ජ්යෙෂ්ඨ ස්ථානයෙහි නො තබා යන අර්ථය යි.
සදෙවකෙ යනාදියෙහි දෙවියන් සහිත ‘සදෙවක’ දෙවියන් ගැනීමෙන් මාරබ්රහ්මයෝ ද ගන්නා ලදහ. ‘මාර’ නම් වසවර්තී - සියල්ලන් මත අණසක පවත්වයි. බ්රහ්මා නම් මහාප්රභාව සම්පන්න ය. එක් ඇඟිල්ලකින් සක්වළ එක් දහසක ආලෝකය පතුරුවයි. දෙකකින් (සක්වල) දෙදහසක..... ඇඟිලි දහයකින් සක්වළ දසදහසක ආලෝකය පතුරුවයි. හේ මෙයින් වඩාත් ශීලසම්පන්න යයි කීමට නො ලබත්වායි සමාරකෙ සබ්රහ්මකෙ යි වෙන් වෙන් ව කියන ලදි. එසේ ම ශ්රමණයෝ නම් ඒක නිකාය ආදි වශයෙන් බහුශ්රැත වූවෝ පණ්ඩිත වූවෝ ය. බ්රාහ්මණයෝ ද වාස්තු විද්යා ආදියෙන් බහුශ්රැතයෝ ය; පණ්ඩිතයෝ ය. ඔවුහු මෙයින් වඩාත් ශීලසම්පන්න යයි කීමට නො ලබත්වා යි (පත් නො වෙත්වා යි) සස්සමණබ්රාහ්මණියා පජාය යි කියන ලදි. සදෙවමනුස්සාය මෙය වෙන් වශයෙන් දැක්වීම පිණිස ගන්නා ලද්දේ ම යි ගෙන කියන ලදි. තව ද මෙහි මුල් පද තුන ‘ලෝක’ වශයෙන් කියන ලදි. අවසන් (පද) දෙක ප්රජා වශයෙනි. සීලසම්පන්නතරං ශීලයෙන් සම්පන්නතර, අධිකතර යන අරුත යි. අනෙක් ඒවා ගැන ද මේ න්යාය ම ය. මෙහි ද “ශීල” ආදි ලෞකික ලෝකෝත්තර ධර්ම සතර පවසන ලදි. විමුක්ති ඤාණදස්සනය ලෞකික ම ය. එය ප්රත්යවේක්ෂණ ඥානය යි.
පාතුරහොසි මේ ශාස්තෲන් වහන්සේ අවීචියේ පටන් භවාග්රය දක්වා ශීලාදියෙන් තමාට අධිකතර බවක් නො දක්නාහු මා විසින් ප්රතිවේධ කරන ලද නව ලෝකෝත්තර ධර්මය ම ගරු කොට එය නිශ්රය කොට හැසිරෙන්නෙමැයි සිතන සේක. භාග්යවතුන් වහන්සේ කාරණය සිතන සේක. අර්ථ වෘද්ධි විශේෂය සිතන සේක. යමි, උන් වහන්සේට උත්සාහය ඇති කරවන්නෙමි යි සිතා ඉදිරියේ පහළ විය, අභිමුවෙහි සිටියේ ය යන අරුත යි.
විහංසු විහරන්ති ච (විසූ සේක, වසන සේක.) මෙහි යමෙක් “විහරන්ති” (වසත්) යන වචනයෙන් වර්තමානයෙහි ද බොහෝ බුදුවරු (සිටිති) යි පවසයි. භගවාපි භන්තෙ එතරහි අරහං සම්මා සම්බුද්ධො (ස්වාමීනි, භාග්යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ) දැන් මේ වචනයෙන් වැළැක්විය යුත්තේ ය. (ප්රතික්ෂේප කළ යුත්තේ ය.)
“න මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති
සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො”
සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො”
(මා හට ආචාර්යවරයකු නැත. මා හා සමාන වූවකු නොමැත්තේ ය. සදේවක ලෝකයෙහි මට ප්රතිපුද්ගලයකු (සමානයකු) නොමැත.”)
ආදි සූත්ර මගින් තවත් බුදුවරුන් නො මැති බව දැක්විය යුතු ය. තස්මා යම් හෙයකින් සියලු බුදුවරුන් සද්ධර්මය ගුරු කොට ඇත්තාහු ද එහෙයිනි; මහත්තමභිකංඛතා මහත් බව ප්රාර්ථනය කරන්නහු විසින්; සරං බුද්ධානං සාසනං බුදුවරුන්ගේ ශාසනය (උවදෙස) සිහි කරන්නා විසින්.
දෙවැනි සූත්රය යි.
3. බ්රහ්මදේව සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි - එකො සිටීම ආදි ඉරියව්වල හුදෙකලා ව, තනි ව වසන්නා වූ යන අර්ථය යි. වූපකට්ඨො කයෙන් වෙන් ව, නිදහස් ව; අප්පමත්තො සිහියෙන් වෙන් නො වී සිටියේ ආතාපි වීර්යයෙන් යුතු ව තැවීමෙන් සමන්විත වූයේ පහිතත්තො මෙහෙයවූ සිත් ඇත්තේ, කුලපුත්තා ආචාරවත් කුලපුත්රයෝ සම්මදෙව ණය ගැනීමෙන් පීඩිත වූයේ නොව, භයෙන් ඇළලී නොව, ජීවිත ප්රකෘති නො වී යම් යම් ආකාරයට පැවිදි වූයේ වුව ද අනුලෝම ප්රතිපදාව පුරත් ද ඔවුහු මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් නමි. බ්රහ්මචරියපරියොසානං මාර්ග බ්රහ්මචර්යයේ අවසානය වූ ආර්ය ඵලය, දිට්ඨෙව ධම්මෙ මේ ආත්ම භවයේ දී ම සයං අභිඤ්ඤා සච්ඡිකත්වා තමා ම දැන ප්රත්යක්ෂ කොට, උපසම්පජ්ජ ලැබ, සම්පාදනය කොට විහාසි (විසී ය.) මෙසේ වාසය කරන්නේ -පෙ- අබ්භඤ්ඤාසි (දැන ගත්තේ ය). මෙයින් උන්වහන්සේගේ ප්රත්යවේක්ෂණ භූමිය දක්වන ලදි.
ක්ෂීණ වූ ජාතිය කුමක් ද? එය දැන ගත්තේ කෙසේ ද? කියනු ලැබේ. ක්ෂීණ වූ අතීත ජාතියක් නො මැත; පෙරදී ම ක්ෂීණ වූ හෙයිනි. අනාගත (ජාති) ද නැ. එහි උත්සාහයක් නැති හෙයිනි. වර්තමානයෙහි ද නැත. විද්යමාන වන හෙයිනි. (ආර්ය) මාර්ගය භාවිත නො කළ හෙයින්, ඒක - චතුර් - පඤ්ච වෝකාර භවයන්හි ඒක - චතුර් - පඤ්ච - ස්කන්ධ ප්රභේද වූ යම් ජාතියක් වේ ද, ඒ ජාතිය, මාර්ග භාවිත කිරීම හේතුවෙන් නො ඉපදීම් ධර්මතාවට පැමිණීම මගින් ක්ෂීණ විය; හෙතෙම එය මාර්ග වැඩීම මගින් පහවූ කෙළෙසුන් විමසා බලා, කෙළෙසුන් නොමැති වීමේ හේතුවෙන්, විද්යමාන වුව ද කර්මය අනාගතයෙහි අප්රතිසන්ධික වෙතියි දකිමින් දනී.