10. රජ්ජ සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - අහනං අඝාතයං නො නසමින් නො නසවමින් අජිනං අජාපයං අනුනට ධන හානිය නො කරමින්, නො කරවමින්, අසොචං අසෝචාපයං ශෝක නො කරමින් ශෝක නොකරවමින්; මෙසේ භාග්‍යවතුන් වහන්සේ අධාර්මික රජවරුන්ගේ විජිතයෙහි දඬුවම් කරන්නවුන් විසින් පෙළනු ලබන මිනිසුන් දැක කාරුණික ලෙස මෙසේ සිතූහ. උපසඞ්කමි ශ්‍රමණ ගෞතමයෝ රාජ්‍යය කරවීමට සමත් නොවෙත් දැයි සිතී ය. රාජ්‍යය කරවීමට කැමැති වනු ඇත. රාජ්‍යය යන මෙය ද ප්‍රමාදයට හේතුවකි. රාජ්‍යය කරවන විට ඉඩක් ලැබෙනු ඇත. උත්සාහයක් ඇති කරවන්නෙමි යි සිතා ළඟට පැමිණියේ ය. ඉද්ධිපාදා සමෘද්ධිමත් වන ධ්‍යාන කොටස්, භාවිතා වර්ධනය කරන ලද, බහුලීකතා නැවත නැවත කරන ලද, යානීකතා (භාවිතයට) යොදන ලද යානයක් ලෙස කරන ලද, වත්‍ථුකතා ප්‍රතිෂ්ඨා අර්ථයෙන් - පදනමක් කොට ගත්, අනුට්ඨිතා අත් නො හරින ලද, නිතර පවත්වන, පරිචිතා සතතයෙන් කිරීම මගින් බෙහෙවින් පුරුදු කරන ලද - දුණුවායාගේ නො වරදින විදීම් සහිත වූ අත් මෙන්, සුසමාරද්ධා මැනවින් ආරම්භ කොට පරිපූර්ණ ව භාවනා කරන ලද අධිමුච්චෙය්‍ය සිතන්නේ නම්,
පබ්බතස්ස පර්වතයක් වන්නේ නම්, ද්විත්තාව එක් පර්වතයක් තිබේවා, දෙගුණයක් ම දක්වා මහත් වූ ස්වර්ණ පර්වතයක් (වුව) එක් පුද්ගලයකුට මදි ය. නො සෑහේ යන අරුත යි. ඉති විද්වා සමං චරෙ මෙසේ දනිමින් සම ව හැසිරෙන්නේ ය. යතො නිදානං දුක නම් පඤ්චකාම ගුණ හේතු කොට ගෙන (පහළ) වේ. එය ‘යමක් නිදානය කොට වේ ද’ එසේ යමෙක් දැක්කේ ද? තථං නමෙය්‍ය ඒ සත්ත්වයා දුකට හේතු භූත වූ කාමයන් කෙරෙහි කුමන කරුණකින් නැමෙයි ද? උපධිං විදිත්‍වා කාම ගුණ උපධි (කෙළෙස්) එය “සංග” (ඇල්ම) ය. එය ‘ලග්ගන’ (එල්ලීම-ඇලීම)” යයි මෙසේ දැන, තස්සෙව ජන්තු විනයාය සික්‍ඛෙ ඒ උපධියේ ම දුරලීම පිණිස උගන්නේ ය.
දස වැනි සූත්‍රය යි.
දෙවන වර්ගය යි.
3. මාර වර්ගය
1. සම්බහුල සූත්‍ර වර්ණනාව
තෙවැනි වර්ගයේ පළමු වැන්නේ - ජටණ්ඩුවෙන ජටා දරණුවකින් අජිනක්‍ඛිපනිවත්‍ථො කුර සහිත අඳුන් දිවි සමක් එකක් හැඳ එකක් පෙරවා ගෙන, උදුම්බරදණ්ඩං අල්පේච්ඡ භාවය ප්‍රකාශ කිරීම් වස් මඳක් නැමුණු දිඹුල් දණ්ඩක් ගෙන, එතදවොච ලෝකයෙහි බ්‍රාහ්මණයාගේ වචනය නම් අසත්, බ්‍රාහ්මණයන් අතර ද පැවිද්දාගේ, පැවිද්දන් අතර ද මහල්ලාගේ යි මහලු බ්‍රාහ්මණ පැවිදි වෙසක් ගෙන දැහැන් බිමෙහි කටයුතු කරන ඒ භික්‍ෂූන් වෙත ළං වී අත ඔසවා දහරා භවන්තො (ඔබලා තරුණයහ) යනාදී වචන පැවසී ය. ඔකම්පෙත්‍වා හක්කෙන් උරයට ගසමින්, හිස පහත් කර ජීව්හං නිල්ලාලෙත්‍වා ලප සහිත මහත් දිව (එළියට) ගෙන ඉහළ පහළත් උභය පාර්ශ්වයෙහිමත් ලෙළවා, තිචිසාඛං රැළි තුනක් ඇති නළාටිකං ‘භකුටි’ නළලෙහි නැගුණු රැළි තුන යන අරුත යි. පක්කාමි ඔබලා දන්නවුන්ගේ කීම නො කොට (ක්‍රියාවට නො නංවා) ඔබලා ම තෙලෙහි පැසවවු’යි කියා එක් මගක් ගෙන ගියේ ය.
පළමු වැනි සූත්‍රය යි.
2. සමිද්ධි සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - ලාභා වත මෙ සුලද්ධං වත මෙ මේ ආකාර වූ ශෘස්තෲන් වහන්සේත් ධර්මයත් සබ්‍රහ්මචාරීනුත් ලද බැවින් මට ලාභයකි. මට මැනවින් ලැබුණකි. ඒ ආයුෂ්මත් තෙමේ පසු ව මූලකම්මට්ඨානය සම්මර්ෂණය කොට අරහත් බව (ලබා) ගන්නෙමි යි එතෙක් පාසාදික කමටහන් ගෙන බුද්ධ - ධම්ම - සංඝ ගණය ආවර්ජනය කොට සිතේ ප්‍රසන්නතාව උපදවා සිත සිනහ ගන්වා, සතුට කරවා සිටින්නේ, එවිට එතුමාට මෙසේ සිතිණි. උපසංකමි මේ සමිද්ධි භික්ෂුව පාසාදික කමටහන ගෙන සිටියා සේ ය. යම් තාක් මූලකම්මට්ඨානය ගෙන අරහත් බව නො ලබා ද එතෙක් ඔහුට අනතුරක් කරන්නෙමැ යි පැමිණියේ ය. ගච්ඡ ත්‍වං බුදුන් වහන්සේ සකල ජම්බුද්වීපය අවලෝකනය කරන සේක්, ඒ ස්ථානයේ දී ම එහුට කමටහන සැප ඇත්තක් වන්නේ යයි දුටු සේක. එහෙයින් මෙසේ කී සේක. සතිපඤ්ඤා ච මෙ බුද්ධා මා විසින් - මට - සිහියත් ප්‍රඥාවත් දන්නා ලදි. කරස්සු රූපානි බොහෝ බිය ජනක රූප කරව. නෙව මං ව්‍යාධයිස්සසි මා “වෙධයිස්සසි” නො පෙළව, කම්පා නො කරව”