2. පඤ්චරාජ සූත්‍ර වර්ණනාව
දෙවැන්නේ - රූප යනු නීල පීත ආදි ප්‍රභේද වූ රූපාරම්මණ ය. කාමානං අග්ගං මෙය කාමයන් අතුරින් උත්තම ය. ශ්‍රේෂ්ඨ ය යි රූප ගරුකයා (රූප ගරු කරන්නා) කී ය. ඉතිරි ඒවා ගැන ද මේ න්‍යාය ම ය. යතො යම් දවසක. මනාපපරියන්තං මනාපය ඵලයක් වූ, මනාප කෙළවර කොට ඇති; මනාප දෙකකි: පුද්ගල මනාපය සම්මුති මනාපය (යනුවෙනි). පුද්ගල මනාපය නම් යමක් එක් පුද්ගලයෙකුට ඉෂ්ට වේ ද, කාන්ත වේ ද, එය අන්‍යයෙකුට අනිෂ්ට අකාන්ත වේ. ප්‍රත්‍යන්ත වාසීනට ගැඩවිලා පවා ඉෂ්ට (ප්‍රිය) ය, කාන්ත ය, මනාප ය; මධ්‍යම දේශවාසීන්ට අතිශයින් පිළිකුල් ය. ඔවුනට ද මොනර මස් ආදිය ඉෂ්ට (ප්‍රිය) වේ. අන්‍යයනට ඒවා අතිශයින් පිළිකුල් ය. මෙය පුද්ගල මනාපය යි. අනික සම්මුති මනාපය යි.
ඉෂ්ට අනිෂ්ට ආරම්මණය නම් ලොවෙහි කොටස් කර ඇත්තේ නො වේ. බෙදා වෙන් කොට දැක්විය යුතු ය. එසේ කොටස් කරන්නා විසින් ද අති ඓශ්චර්යවූවන් - මහාසම්මත මහාසුදස්සන ධර්මාශෝක ආදීන් - වශයෙන් නො බෙදා දැක්විය යුතු ය. ඔවුන්ට දෙවියන්ට හා සමාන වූ හෝ අමනාප ආරම්මණයන් හට ගනී. ආහාර පාන දුර්ලභ වූ බෙහෙවින් ම දුප්පත් වූවන්ගේ (මනාප) වශයෙන් ද නො බෙදිය යුතු ය. ඔවුන්ගේ (මනාපය අනුව) නිවුඩු හාලේ බත්තුළු පවා කුණු රස වුව ද අතිමධුර, අමෘතය හා සමාන වේ. මධ්‍යම තත්ත්වයේ වූවන්ගේ - ගණන් තබන්නන්, මහාමාත්‍යයන්, සිටු පවුලට අයත් වූවන් හා වෙළෙන්දන් ආදීන්ගේ - සමහර කාලවල හොඳටත් සමහර කාලවල නරකටත් (මනාපය) ලබන්නන් හැටියට වර්ග කළ යුතු ය. ඒ ආරම්මණය ජවන වශයෙන් වෙන් කිරීමට නො හැක්කේ ය. ජවන ඉෂ්ටයෙහිත් ඇලෙයි, අනිෂ්ටයෙහිත් (ඇලෙයි) ඉෂ්ටයෙහිත් දූෂ්‍ය වෙයි, අනිෂ්ටයෙහිත් (දූෂ්‍ය වෙයි). ඒකාන්ත වශයෙන් විපාක සිත ඉටු අනිටු බව පිරිසිඳයි. මිථ්‍යා දෘෂ්ටිකයෝ බුදුන් වහන්සේ හෝ සංඝයා හෝ මහාචේතිය ආදී ප්‍රණීත ආරම්මණයන් හෝ දැක ඇස් වසා ගනිති. දොම්නසට පත් වෙති, ධර්ම ශබ්ද අසා කන් වසා ගනිති. එතෙකුදු වුවත් ඔවුන්ගේ චක්‍ඛු විඤ්ඤාණ - සෝත විඤ්ඤාණ කුසලවිපාක සහිත වූයේ ම වේ. අසුචි අනුභව කරන ඌරෝ අසුචි ගඳ ආඝ්‍රාණය කොට “කෑමට (යමක්) ලබන්නෙමු” යි සොම්නස් වූවෝ වෙත්. එතෙකුදු වුවත් අසුචි දර්ශනයෙහි දී ඔවුන්ගේ චක්‍ඛු විඤ්ඤාණයත්, ගඳ ආඝ්‍රාණය කිරීමේ දී ඝාණ විඤ්ඤාණයත්, රස විඳීමේ දී ජිව්හා විඤ්ඤාණයත් අකුසල විපාක ම වේ. භාග්‍යවතුන් වහන්සේ පුද්ගල මනාපතාව අදහස් කොට තෙ’ව මහාරාජ රූපා ආදිය පැවසූ සේක.
චන්‍දනඞ්ගුලිකො මෙය ඒ උවසුවාගේ නම ය. පටිභාති මං භගවා භාග්‍යවතුන් වහන්ස, මට එක කාරණයක් මතු වේ; වැටහේ. රජවරුන් පැළඳි මිණි කොඬොලින් සජ්ජිත ව සුරා පාන භූමියෙහි සිටීමේ හේතුවෙන් ම මහත් වූ රාජානුභාවයෙන් - ශ්‍රේෂ්ඨ ම ඓශ්චර්ය විභවයෙන් යුතු ව පැමිණියේ වුව ද බුදුන් වහන්සේ සමීපයෙහි සිටි වේලාවේ පටන්, දහවල් කාලයෙහි වූ පහන් මෙන්, දියෙන් පෙඟවූ අඟුරු මෙන්, සූර්යයා නැගෙන විට කදෝපැණියන් මෙන් නැසුනා වූ ප්‍රභාව නැසුණා වූ ශෝභාව ඇති කල්හි ඒ තථාගතයන් වහන්සේ සිය ගුණයෙන් දහස් ගුණයෙන් බබළමින් සිටිනු දැක “භවත්නි, බුදුන් වහන්සේලා නම් ශ්‍රේෂ්ඨ ය” යන අදහසක් ඔහුට ඇති විය. එහෙයින් මෙසේ කී ය.
කොකනදං මෙය පද්මයට (පියුමට) සමානාර්ථ වචනයකි. පාතො අළුයම ම සියා වන්නේ ද? අවීතගන්ධං ‘අවිගතගන්ධ’ (පහ නො වූ සුවඳ) අඞ්ගීරසං සම්මා සම්බුදුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් රශ්මි පිට වේ. එහෙයින් ‘අංගීරසො’ යි කියනු ලැබේ. “යම් සේ කෝකනද (පද්ම) සංඛ්‍යාත වූ පියුම අළුයම ම පිපුනේ පහ නො වූ සුවඳ ඇ්තතේ වේ ද, එසේ ම අහසෙහි දිළිසෙන සූර්යයා මෙන් විරාජමාන වන අංගීරස වූ භාග්‍යවතුන් වහන්සේ බලනු” යන මෙය එහි සංක්ෂේප අර්ථය යි.
භගවන්තං අච්ඡාදෙසි භාග්‍යවතුන් වහන්සේට දුන්නේ ය යන අරුත යි’ ලෝක ව්‍යවහාරයෙන් මෙහි මෙබඳු වචනයක් වේ. ඒ උපාසක තෙමේ “මොවුහු තථාගතයන් වහන්සේගේ ගුණ පිළිබඳ ව පැහැදී මට උතුරු සළු පහක් දෙති. මම ද ඒවා භාග්‍යවතුන් වහන්සේට ම දෙමි’යි සිතා දුන්නේ ය.
දෙවැනි සූත්‍රය යි.
3. දෝණපාක සූත්‍ර වර්ණනාව
තුන් වැන්නේ - දොණපාකසුදං (ද්‍රෝණයක් (තිඹක්) පිසූ බත ව්‍යඤ්ජන), හාල් තිඹක පිසූ බත හා තදුපිය (එපමණ) සූපව්‍යඤ්ජන ද බුදියි යන අරුත ය. භුත්තාවී මුලින් බත් මත නැති කොට මොහොතක් විවේක ගෙන බුදුන් වහන්සේට උවටැන් කිරීමට යයි. ඒ දිනයේ ආහාර ගනිමින් ම බුදුන් වහන්සේ සිහි කොට අත් සෝදා ම ගියේ ය. මහස්සාසි (එසේ) යන ඔුහට බලවත් ආහාර පීඩාවක් ඇති විය. එහෙයිාන් ඉතා තදින් ආශ්වාස කිරීම් කරයි. (තදින් හුස්ම ගනී.) ඔහුගේ සිරුරෙන් ඩාබිඳ ද මුදයි. (වැගිරේ.) ඔහු දෙපස සිට තල් වැටි දෙකකින් පවන් සලති. බුදුන් වහන්සේ කෙරෙහි වූ ගෞරවයෙන් හොවීමට උත්සාහ නො කරයි. මේ අරභයා “මහස්සාසී” යි කියන ලදි.
ඉමං ගාථං අභාසි “රජතුමා අහර ගැනීමෙහි පමණ දැනීම නැති හෙයින් වෙහෙස විඳියි. දැන් ඔහුට සුව පහසුව සලසන්නෙමි” යි සිතා (මෙසේ) පැවසූ සේක. මනුජස්ස සත්ත්වයාගේ.
කහාපණසතං උදය කෑමෙහි දී පනහක් ද, හවස කෑමෙහි දී පනහක් දැයි මෙසේ කහවණු සියයක් පරියාපුණිත්‍වා රජු සමග මඳක් ගොස් “මහරජ, මේ මංගල කඩුව කවුරුන් හට දෙම් ද” “අසුවලාට දෙව” හේ ඒ කඩුව අනිකෙකුට දී බුදුන් වහන්සේ සමීපයට පැමිණ වැඳ සිට ගෙන ම “භවත් ගෞතමයනි, ගාථාව වදාරනු මැනවි” යි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ගාථාව ඉගෙන ගෙන යන අරුත යි.
භත්තාභිහාරෙ සුදං භාසති (බත් වළඳන කල්හි කියයි) කෙසේ කියයි ද? භාග්‍යවතුන් වහන්සේ උගැන්වූ ආකාරයට ම; භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ උපදෙස් දුන්නේ ය. “මානවකය, මේ ගාථාව නැට්ටුවෙකු මෙන් ගිය ගිය තැන නො කියව. රජතුමා අහර ගන්නා තැන සිට පළමු පිඬුවල දී නො කියා අවසන් පිඬුව ගන්නා කල්හි ම කියනු මැනවි. රජතුමා එය අසා ම බත් පිඬ ඉවත දමන්නේ ය. ඉක්බිති රජතුමා අත් සේදූ කල පාත්‍රය ඉවත් කර බත් තුළු ගණන් කර එපමණ ව්‍යංජන දැන පසු දිනයේ එපමණ සහල් ඉවත් කළ යුතු ය, උදය වේලෙහි කියා සවස් වේලෙහි කියන්නෙහි ය” යි. හේ මැනවි යි පිළිවදන් දී ඒ දිනයේ රජතුමා පාතරාසය (උදේ වේල) අනුභව කොට ම සිටි බැවින් හවස් වේලෙහි දී භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දුන් පරිදි ගාථාව කී ය. රජතුමා බුදුන්ගේ වචනය සිහි කර බත් පිඬ භාජනයෙහි ම හෙළී ය. රජතුමා විසින් අත් සේදූ කල්හි භාජනය ඉවත් කොට බත් තුළු ගණන් කොට එපමණ ව්‍යඤ්ජන දැන ඊළඟ දිනයේ එපමණ බත් ඉවත් කළහ.