1. සත්තජටිල සූත්‍ර වර්ණනාව
දෙවන වර්ගයෙහි පළමු වැන්නේ - පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ පූර්වාරාමය යි හැඳන්වෙන විහාරයෙහි - මිගාර මාතුගේ ප්‍රාසාදයෙහි, එහි අනුපූර්ව කථාව මෙසේ ය:
අතීතයෙහි කල්ප ලක්ෂයකට පෙර එක් උපාසිකාවක් පදුමුත්තර බුදුන් වහන්සේට ආරාධනය කොට බුදුන් ප්‍රමුඛ ලක්ෂයක් මහ සඟනට දන් දී ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිඳ අනාගතයෙහි ඔබ වහන්සේ හා සමාන බුදුන් වහන්සේ නමකගේ අග්‍ර උපස්ථායිකාවක වන්නෙමි” යි ප්‍රාර්ථනාවක් කළා ය. ඇය කල්ප ලක්ෂය්ක දෙව් ලොවෙහිත් මිනිස් ලොවෙහිත් සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නුවර මෙණ්ඩකපුත්‍ර ධනඤ්ජය සිටාණන්ගේ ගෘහයෙහි සුමනා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තා ය. උපන් කල්හි ඇයට විසාඛා යන නම තැබූහ. ඇය යම් දිනෙක භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයට වැඩි සේක් ද, එදින පන්සියයක් දැරියන් සමග බුදුන් වහන්සේට පෙර ගමන් කළා ප්‍රථම දර්ශනයෙහි දී ම සෝවාන් බවට පත් වූවා ය. පසු කලෙක සැවැත් නුවර මිගාර සිටු පුත් පුණ්ණවර්ධන කුමාරයාගේ නිවසට ගියා ය. එහි දී මිගාර සිටුවරයා ඇය මව් තනතුරේ තැබුවේ ය. එහෙයින් ඇය ‘මිගාර මාතා’ යි කියනු ලැබේ. ඈ විසින් කරවන ලද ප්‍රාසාදයෙහි.
බහිද්වාරකොට්ඨකෙ ප්‍රාසාද දොර කොටුවට පිටත; (බිහි දොර); විහාර දොරටු කොටුවේ නො වේ. ඒ ප්‍රාසාදය ලෝහ ප්‍රාසාදය මෙන් හාත්පස දොරටු කොටු සතරකින් සමන්විත ප්‍රාකාරයකින් වට කරනු ලැබූවකි. ඒවායින් නැගෙනහිර දොරටු කොටුවෙන් බැහැර ප්‍රාසාද ඡායාවෙහි පෙරදිගට මුහුණ ලා පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ සිටින සේක.
පරූළ්හකච්ඡනඛලොමා පරූළ්හ (වැඩුණු) කච්ඡා (කිහිලි), පරූළ්හ නඛා (නිය) පරූළ්හ ලොමා (රෝම) ඇති, කිහිලි ආදියෙහි දිග රෝම දිග නිය ද ඇති යනු අර්ථ වේ. ඛාරිවිවිධං විවිධඛාරිං - නානාප්‍රකාර වූ පැවිදි පිරිකර බඩු; අවිදූරෙ අතික්කමන්ති නුදුරු මගින් නගරයට ඇතුළු වෙත්, රාජාහං භන්තෙ “ස්වාමීනි, මම (පසේනදී) කොසොල් රජ වෙමි, මාගේ නම ඔබ වහන්සේලා දැන ගනිත්වා”යි. කුමක් නිසා රජතුමා ලෝකයෙහි අග්‍ර පුද්ගලයන් වහන්සේ සමීපයෙහි සිටිමින් මේ ආකාර වූ නග්න වස්තු නිශ්‍රිත වූවනට ඇඳිලි බඳී ද? සංග්‍රහ කරනු පිණිස ය. ඔහුට මෙසේ සිතිණි. ඉදින් මම ඔවුනට මෙ වැන්නක් වත් නො කරන්නෙම් නම්, “අපි අඹු දරුවන් හැර දමා මොවුන් වෙනුවෙන් කටුක අහර ගැනීම් දුක් සහිත නිදා ගැනීම් ආදිය කරමු. මෙතෙමේ අපට ඇඳිලි බැඳීම් පමණ වත් නො කරති” යි තමන් විසින් දක්නා ලද අසන ලද දේ සඟවා ගනිමින් කථා නො කරනු ඇත, මෙසේ කළ විට නො සඟවා කථා කරනු ඇත. එහෙයින් මෙසේ කළේ ය. තවද බුදුන් වහන්සේගේ අදහස දැනගනු රිසි ව ද එසේ කළේ ය.
කාසිකචන්‍දනං සිනිඳු සඳුන්, මාලාගන්‍ධවිලෙපනං වර්ණ ගැන්වීම සඳහා මාලා ද, සුවඳවත් භාවය පිණිස ගන්ධ ද වර්ණ ගන්ධ පිණිස විලේපන ද දරන;
සංවාසෙන එකට විසීමෙන්, සීලං වෙදිතබ්බං මොහු සුසිල්වතෙකු හෝ දුසිල්වතෙකු දැයි එක් ව වාසය කරන්නෙකු විසින් ළඟට පැමිණෙන්නෙකු විසින් දත යුත්තේ ය. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං ඒ ශීලය ද දීර්ඝ කාලයකින් දත යුත්තේ ය, ටික කලකින් නො වේ. දින දෙක තුනකින් සංයත ආකාරය ද සංවරණය කරන ලද ඉන්ද්‍රිය ස්වභාවය ද දක්නට නො හැක්කේ ය. මනසි කරොතා “මොහුගේ ශීලය අල්ලා ගන්නෙමි” යි මෙනෙහි කරන්නෙකුට මනා ලෙස නිරීක්ෂණය කිරීමෙන් ම දැනගැන්මට හැක්කේ ය; සුළුවෙන් නො වේ. පඤ්ඤවතා - එය ද ප්‍රඥාවන්ත පණ්ඩිතයන් විසින් ම ය; බාලය සිත යොදවන්නේ මුත් දැනගැන්මට නො හැක්කේ වෙයි.
සංවොහාරෙන කථනයෙන්;
“යොහි කොචි මනුස්සෙසු වොහාරං උපජීවති
එවං වාසෙට්ඨ ජානාහි වාණිජො සො න බ්‍රාහ්මණො”
(මනුෂ්‍යයන් අතර යම් කිසිවෙක් කථනයෙන් ජීවත් වෙයි ද, වාසෙට්ඨය, මෙසේ දක්නෙහි ය: ඔහු වෙළෙන්දෙකි, බ්‍රාහ්මණයෙක් නො වේ.)
මෙහි ව්‍යවහාරය ‘වොහාරො’ නමි. “චත්තාරො අරියවොහාරො චත්තාරො අනරියවොහාරො” (ආර්ය වෝහාර සතරකි, අනරිය වෝහාර සතරකි) මෙහි චේතනා ය, “සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති වෝහාරො” (සංඛ්‍යා, සමඤ්ඤා, ප්‍රඥප්ති, ව්‍යවහාර) යනු මෙහි ප්‍රඥප්ති ය; “වොහාර මත්තෙන සො වොහරෙය්‍ය” (ව්‍යවහාර මාත්‍රයෙන් හේ ව්‍යවහාර කරයි) මෙහි කථා ව්‍යවහාරය යි. මෙහි ද එය ම අදහස් කෙරේ. ඇතැම් කෙනෙකුගේ ඉදිරිපිට කෙරෙන කථා අනභිමුඛයේ කෙරෙන කථාව හා සම නො වේ. අනභිමුඛ කථාව සම්මුඛ කථාව හා (නො සම ය). මුලින් කරන කථාව පසු ව කෙරෙන කථාව සමග ද, පසු ව කෙරෙන කථාව මුලින් කෙරෙන කථාව සමග ද [නො සම වේ.] කථා කිරීමෙන් ම මේ පුද්ගලයා අපිරිසිදු යයි දැන ගැන්මට හැක්කේ ය. පිරිසිදු සිල් ඇත්තහුගේ පූර්වය පශ්චිමය සමගත් පශ්චිමය පූර්වය සමගත් සම වේ. එසේ සම්මුඛ ව කරන ලද කථාව අසම්මුඛ ව කරන ලද කථාව සමගත් අසම්මුඛ ව කරන ලද කථාව සම්මුඛ ව කරන ලද කථාව සමගත් [සම වේ.] එහෙයින් කථා කිරීමෙන් පිරිසිදු බව දැන ගැනීමට හැකි යයි ප්‍රකාශ කරමින් මෙසේ පැවසූ සේක.
ථාමො ඥාන ශක්තිය, යමෙකුට ඥාන ශක්තිය නැද්ද හේ හටගත් උපද්‍රවවල දී ගත යුතු දේ ග්‍රහණය කිරීම, කළ යුතු කාර්යය නො දන්නේ දොරක් නො මැති ගෙයකට ඇතුළු වූවකු මෙන් හැසිරෙයි. එහෙයින් කී ය. “මහරජ, ආපදාවන්හි දී ශක්තිය දත යුත්තේ ය.
සාකච්ඡාය සාකච්ඡාවෙන්, මෝඩයාගේ කථාව ජලයෙහි පන්දුව මෙන් උඩ පනී. ප්‍රඥාවන්ත කථා කරන්නාගේ ප්‍රතිභානය (අවබෝධය) අනතුරු රහිත වේ. ජලය කැළතීමෙන් ම මත්ස්‍යයා කුඩා ද මහත් දැයි දැනගනු ලැබේ. ඔචරකා පුවත් විමසා බලන්නාහු, සොරු පර්‍වත මුදුනෙන් යද්දී වුව ද විමසා බලමින් ම සිටිත්, ඔචරිත්‍වා ‘අවචරිත්‍වා’ විමසා; ඒ ඒ පුවත් දැන යන අර්ථ යි. රජොජල්ලං රජස් ද දැලි ද, වණ්ණරූපෙන වර්ණ (රූප) සටහනින් ඉත්තර දස්සනෙන සුළු දසුනකින්, වියඤ්ජනෙන පිරිකර බඩුවලින් පතිරූපකො මත්තිකංකුණ්ඩලොව ස්වර්ණප්‍රතිරූපක (රන්වලට සමාන වන ලෙස තැනූ) මැටි කොඬොල් මෙන්, ලොහඩ්ඪමාසො අඩ මස්සක් (කුඩා තඹ කාසියක්).
පළමු වැනි සූත්‍රය යි.