7. අත්ථකරණ සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - ඊ කාම මූලක වූ; කාමනිදානං කාම හේතුවෙන්; කාමාධිකරණං කාමය කරුණු කොට ගෙන, මේ සියල්ල අන්‍යොන්‍ය සමානාර්ථ වාචී ම ය. භද්‍රමුඛො සොඳුරු මුව ඇත්තෙක්; එක් දිනක් රජතුමා නඬු විසඳීමෙහි හුන්නේ ය (යෙදී සිටියේ ය). එහිදී මුලින් ම අල්ලස් ගෙන සිටි අමාත්‍යවරු අස්වාමික වූවන් (අයිතිකරුවන් නො වූ අය) පවා අයිතිකරුවන් කළහ. රජතුමා එය දැන, පෘථිවීශ්වර වූ මා ඉදිරිපිට දී පවා මොවුහු මෙසේ කරති, නැති තැන කුමක් නම් නො කරත් ද? දැන් පැහැදිලි වන්නේ ය. භවත් සේනාපතිය, සිය (ඔබගේ) බලය යොදා (මෙය) ශුද්ධ කරව. මේ ආකාරයේ අල්ලස් ගන්නා මුසාවාදීන් සමග එක් ව හිඳීමෙන් මට කිම? යි සිතී ය. එහෙයින් මෙසේ කී ය. ඛිපංව ඔඩ්ඩිතං දමන ලද (අටවන ලද) කෙමනට මෙන්; මත්ස්‍යයෝ යම් සේ අටවන ලද කෙමනට පිවිසෙන්නෝ (ඒ බැව්) නො දනිත් ද එසේ ම සත්ත්වයෝ ක්ලේශකාමයෙන් වස්තුකාමය ඉක්ම වන්නෝ (ඒ බැව්) නො දනිත් යනු අරුත යි.
සත් වැනි සූත්‍රය යි.
8. මල්ලිකා සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - අත්‍ථි නු ඛො තෙ මල්ලිකෙ කුමක් නිසා විමසයි ද? මේ මල්ලිකා දුප්පත් මල්කරුවකුගේ දියණියකි. එක් දවසක් වෙළඳ සැලෙන් කැවුමක් ගෙන මාලා සාදන තැනට ම ගොස් කන්නෙමැයි යන්නී අතර මග භික්ෂු සංඝයා පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂාවෙහි යෙදෙමින් පිවිසෙනු දැක ප්‍රසන්න සිත් ඇත්තී භාග්‍යවතුන් වහන්සේට පිරිනැමුවා ය. බුදුහු හිඳිනාකාරය දැක්වූහ. ආනන්ද තෙරණුවෝ සිවුරක් පණවා දුන්හ. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ හිඳ ඒ කැවුම වළඳා මුව සෝදා සිනා පහළ කළ සේක. තෙරුන් වහන්සේ ස්වාමීනි, මැයට කුමන විපාකයක් වන්නේ දැයි විමසූහ. ආනන්ද අද මැය තථාගතයන් වහන්සේ වහන්සේට ප්‍රථම භෝජනය දුන්නා ය. අද ම කොසෙල් රජුගේ අග මෙහෙසිය වන්නී ය. එදින ම රජතුමා කාසි ග්‍රාමයෙහි බෑණනුවන් හා කරන ලද යුද්ධයෙන් පරාජිත වී පළා ගොස් නුවරට එන්නේ මල් මාලා සාදන තැනට ඇතුළු වී හමුදාවේ පැමිණීම බලාපොරොත්තු විය. ඈ ඔහුට වතාවත් කළා ය. ඔහු ඇගේ වතාවතින් පැහැදී ඇය අන්තඃ පුරයට ගෙන්වාගෙන අග මෙහෙසි තනතුරේ පිහිටුවී ය.
ඉක්බිති එක් දිනක් මෙසේ සිතී ය. “මා විසින් මේ දුප්පත් කුලයක දියණියට මහත් ඉසුරු දෙන ලදි. කවරෙක් ඔබට ප්‍රිය වේ ද යි මැයගෙන් මම විමසන්නෙම් නම් මැනවි. ඇය “මහරජ ඔබ මට ප්‍රියයි” කියා යළි මා විමසයි. එවිට මම “මට ද ඔබ ම ප්‍රියයි” යි ඇයට කියමි’යි. මෙසේ ඔවුහු එකිනෙකාට විශ්වාස ඇති කර ගනු පිණිස සම්මෝදනීය කථා පවත්වමින් විමසති. ඒ දේවිය පණ්ඩිත ය, බුදුන්ගේ උපස්ථායිකා ය, ධර්ම උපස්ථායිකා ය, සංඝ උපස්ථායිකා ය, මහා ප්‍රාඥ ය. එහෙයින් මෙසේ සිතුවා ය. “මේ ප්‍රශ්නය රජුගේ මුහුණ දෙස බලා නො විමසිය යුතු ය. එය ඈ රසයෙන් යුතු ව ම කියා රජුගෙන් විමසුවා ය. රජතුමා ඈ විසින් රසයෙන් යුක්ත ව කියන ලද බැවින් නැවැත්වීමක් නො ලබන්නේ තමාත් රසයෙන් යුතු ව කියා යහපත් වූ මෙය තථාගතයන් වහන්සේට දන්වන්නෙමි යි ගොස් පැවසී ය.
නෙවජ්ඣගා නො ලබයි. එවං පියො පුථු අත්තා පරෙසං යම් යම් සේ කෙනෙකුට තමා ප්‍රිය ද එසේ ම අන් බොහෝ සත්ත්වයනට ද තමා ප්‍රිය වන්නේ ය යන තේරුම යි.
අට වැනි සූත්‍රය යි.
9. යඤ්ඤ සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - ථූණුපනීතානි ටැඹට (කණුවට) ගෙනෙන ලද්දාහු, ටැඹට ගැට ගසන ලද්දාහු වෙත්; පරිකම්මානි කරොන්ති මෙපමණකින් ඒ භික්ෂූන් විසින් රජුගේ ඇරඹූ යාගය (ගැන) තථාගතයන් වහන්සේට සැළ කරන ලදි. කුමක් නිසා රජතුමා විසින් මේ යාගය අරඹන ලද්දේ ද? නරක සිහිනයක් නැසීම පිණිස ය. එක් දිනක් රජතුමා සර්වාලංකාර ප්‍රතිමණ්ඩිත වූයේ උතුම් ඇතකු පිට නැගුනේ නගරයේ සැරිසරන්නේ කවුළුව ඇර බලන එක් ස්ත්‍රියක දැක ඇය පිළිබඳ සිතක් ඇති වූයේ එතැනින් ම නැවතී අන්තඃපුරයට පිවිස එක් පුරුෂයෙකුට එය පවසා “යව, ඇය සස්වාමික බව හෝ අස්වාමික බව දැන ගනුව” යි යැවී ය. හේ ගොස් ඇසී ය. ඕ තොමෝ “මගේ ඒ සැමියා වෙළෙඳ සැලෙහි සිටින්නේ ය” යි පෙන්වූවා ය. රාජ පුරුෂයා ඒ බැව් රජුට දැන්වී ය: රජතුමා ඔහු කැඳවා “මට උපස්ථාන කරව” යි කී ය. “දේවයිනි, මම උපස්ථාන කිරීමට නො දනිමි” යි කී කල්හි ද “උපස්ථාන කිරීම ගුරුවරයකු ළඟ උගත යුත්තක් නො වේ” යි බලාත්කාරයෙන් ආයුධ පුවරුව ඔහු ලවා අල්ලවා ගෙන උපස්ථායක කරවී ය. උපස්ථාන කොට නිවසට ගිය පමණින් ඔහු යළි කැඳවා “උපස්ථායකයා විසින් රජුගේ වචන (කියන දෑ) කළ යුතු ය. යව, මෙයින් යොදුනක් පමණ වූ තැන අපගේ හිස ධෝවනය කරන පොකුණක් ඇත. එයින් අරුණු වන් මැටි ද රතු උපුල් මල් ද ගෙන එව ඉදින් අද ම නො එන්නෙහි නම් තොපට රාජ දණ්ඩනය (නියම) කරමි” යි කියා යැවී ය. හේ රාජභය නිසා පිටත් ව ගියේ ය.