2. පුරිස සූත්ර වර්ණනාව
දෙවැන්නේ - අභිවාදෙත්වා මුලින් ඇති සූත්රයෙහි පරිදි සරණ ගිය බැවින් මෙහි වඳියි. අජ්ඣත්තං නියක (තම) අධ්යාත්මය, තම සන්තානයෙහි උපදිත් යනු අරුත යි. ලෝභ ආදියෙහි ලෝභ කිරීම ලක්ෂණ කොට ඇත්තේ ලොභො; දූෂ්ය කිරීම ලක්ෂණ කොට ඇත්තේ දොසො; මුළා කරන ලක්ෂණ ඇත්තේ මොහො; හිංසන්ති හිරිහැර කරති, විනාශ කරති. අත්තසම්භූතා සිතෙහි හටගත් තචසාරංව සම්ඵලං යම්සේ තචසාර - උණ බට - තමන්ගේ ඵලය යම්සේ නසන්නේ ද, එසේ හිංසා කරයි, විනාශ කරයි.
දෙවැනි සූත්රය යි.
3. රාජ සූත්ර වර්ණනාව
තෙවැන්නේ - අඤ්ඤත්ර ජරාමරණා ජරා මරණයෙන් මිදුනෙක් නම් නැතැයි කියනු ලැබේ. ඛත්තියමහාසාළා ‘ඛත්තිය මහාසාළ’ නම් මහාසාර බවට පත් වූ ක්ෂත්රියයෝ ය. යම් ක්ෂත්රිය කෙනෙකුගේ අව ම වශයෙන් කෝටි සියයක් නිදන් ගත ව තිබේ ද, කහවනු කළ තුනක් පාවිච්චිය සඳහා ගේ මැද රැස් කොට තබා තිබේ ද, ඔවුහු “ක්ෂත්රිය” මහාසාළ නමි. යම් බ්රාහ්මණ කෙනෙකුගේ අසූකෙළක් ධනය නිදන් කොට තිබේ ද, කහවණු කළ දෙක හමාරක් ප්රයෝජනය සඳහා ගෙහි මැද රැස් කොට තබා තිබේ ද, ඔවුහු බ්රාහ්මණ මහාසාළ නම් වේ. යම් ගෘහපති කෙනෙකුගේ සතළිස් කෙළක් ධනය නිදන් කොට තිබේ ද, කහවණු කළයක් ප්රයෝජනය පිණිස ගෙහි මැද රැස් කොට තබා තිබේ ද, ඔවුහු ගෘහපති මහාසාළ නමි.
අඩ්ඪා ඉසුරුමත් වූවෝ; නිදන්ගත ධනය මහත් බැවින් මහද්ධනා; රන් රිදී භාජන ආදී උපභෝග භාණ්ඩවල මහත් බැවින් මහාභෝගා, නිදන් ගත නො වූ රන් රිදීවල අධික බැවින් පහූතවිත්තූකරණා; ගව ධන ආදියෙන් සප්තවිධ ධාන්යයන්ගෙන් මහත් බැවින් පහූත ධනධඤ්ඤා; තෙසම්පි ජාතානං නත්ථි අඤ්ඤත්ර ජරාමරණා එසේ ඉසුරුමත් බවින් යුතු ව උපන්නවුන් පවා ජරාමරණයෙන් නො තොර ය; හටගත් බව නිසා ම ජරා මරණයෙන් මිදීමක් නම් නැත. අන්තය ජරා මරණයෙහි ම වේ.
‘අරහන්තො’ ආදියෙහි කෙළෙස්වලින් දුරු වූහ යි = අරහන්තො; ඔවුන්ගේ ආසව සතර ක්ෂීණ ය යි = ඛීණාසවා; බ්රහ්මචරිය වාසය වසන ලද්දේ ය, අවසන් කරන ලද (බ්රහ්මචර්ය) වාස ඇතැයි = වුසිතවන්තො; මාර්ග සතරින් ඔවුන් කළ යුතු දේ කරන ලදැයි = කතකරණීයා; ස්කන්ධභාර, ක්ලේශ භාර, අභිසංස්කාර භාර, කාම ගුණ භාර යන මේවා ඔවුන් බහා තැබූ බර බැවින් = ඔහිතභාරා මොවුන් අරහත්ව සංඛ්යාත වූ ස්වකීය අර්ථයට පැමිණ ඇතැයි = අනුප්පත්තසදත්ථා; සහමුලින් ම ක්ෂය කළ දශවිධ වූ ම භවසංයෝජන ඔවුනට ඇතැයි = පරික්ඛීණභවසංයොජනා; සම්යක් කාරණාවලින් දැන විමුක්ත වූවෝ යි = සම්මදඤ්ඤාවිමුත්තො, මාර්ග ප්රඥාවෙන් සතර සත්යය දැන ඵල විමුක්තියෙන් විමුක්ත වූවෝ ය යන අර්ථය යි. භෙදනධම්මො බිඳෙන ස්වභාවය; නික්ඛෙපන ධම්මො බැහැර වීමේ ස්වභාවය, බැහැර ලිය යුතු ස්වභාවය ක්ෂීණාශ්රවයා හට නො දිරන ස්වභාවයක් ද ඇත. ආරම්මණයෙන් ප්රතිවේධ කළ නිර්වාණය, එය නො දිරයි. මෙහි වනාහි දිරන ස්වභාවය දක්වමින් මෙසේ කී ය. මේ සූත්රයෙහි සාරාංශය හේතුවක් ඇති ව උපන් එකකි. රන්සිවිගේ ශාලාවෙහි හිඳ වදාරන ලදැයි කියති. එහි භාග්යවතුන් වහන්සේ විසිතුරු රථ යාන ආදිය දැක, දුටු දේ ම උපමා කොට “ජීරන්ති වෙ රාජරථා සුචිත්තා” යන ගාථාව වදාළ සේක.
එහි ජීරන්ති ජරාවට පමුණුවත්, රාජරථා රජුගේ රථ, සුචිත්තා රන්රිදී ආදියෙන් මැනවින් චිත්ර කළ (විසිතුරු කළ); අථො සරීරම්පි ජරං උපෙති මේ ආකාරයේ අනුපාදින්න වූ අරටු සහිත දැවවිලින් තැනූ රථ දිරන කල්හි මේ ආධ්යාත්මික වූ, උපාදින්න වූ මස් ලේ ආදියෙන් සැදුණු ශරීරය ගැන කුමක් කිව යුතු ද? ශරීරය ද ජරාවට පැමිණේම ය යන අරුත යි. සන්තො හවෙ සබ්භි පවෙදයන්ති සත් පුරුෂයෝ සත්පුරුෂයන් සමඟ සත්පුරුෂයන්ගේ ධර්මය ජරාවට (දිරීමට) නො පැමිණෙතියි මෙසේ ප්රකාශ කරත්; සත්පුරුෂයන්ගේ ධර්මය නම් නිර්වාණය යි. එය නො දිරයි. අජර ය, අමර ය යි මෙසේ කියති යනු අර්ථ යි. යම් හෙයකින් නිර්වාණයට පැමිණ පෙළන ස්වභාව ඇති කෙළෙස් බිඳෙත් ද එබැවින් එය ‘සබ්භි’ යි කියනු ලැබේ. මෙසේ මුල් පදයේ කාරණය පෙන්වන සේක් “සන්තො හවෙ සබ්භි පවෙදයන්ති” යි කී සේක. කියන ලද්දේ මෙයයි: උතුමන්ගේ ධර්මය ජරාවට නො පැමිණේ. එහෙයින් සත්පුරුෂයෝ උතුම් ධර්මය යි ප්රකාශ කරත් ම ය. අජර වූ නිර්වාණය සත්පුරුෂයන්ගේ ධර්මය යි ප්රකාශ කරති යනු අර්ථය යි. ‘සබ්භි’ යනු සුන්දර යන්නට සමාන වචනයක් හෝ වේ. සත්පුරුෂයෝ ධර්ම භූත වූ යම් සුන්දර නිර්වාණයක් ප්රකාශ කරත් ද, කියත් ද, සත්පුරුෂයන්ගේ ඒ ධර්මය ජරාවට නො පැමිණේ යනු ද අර්ථ වේ.
තුන් වැනි සූත්රය යි.