9. සුසීම සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - තුය්හම්පි නො ආනන්ද සාරිපුත්තො රුච්චති බුදුන් වහන්සේ තෙරුන් ගුණ වර්ණනා කරනු කැමති වන සේක්, මේ ප්රශංසාව සම නො වන පුද්ගලයකු සමීපයෙහි පැවසීමට නො වටී. ඔහු සමීපයෙහි පවසන ලද්දේ හිසට නො එයි. ඔහු අසුවල් නම් වූ භික්ෂුව “සිල්වත්” යයි කියන ලද්දේ, “ඔහුගේ ශීලය කිම? ගොනෙකුගේ ස්වභාවය ඇති සිල්වතෙකි. කිම ඔබ විසින් වෙනත් සිල්වතෙක් නො දුටු විරූ ද? නැතහොත් ‘ප්රඥාවන්තයෙක්’ යි කියන ලද්දේ ‘ඒ කුමන ප්රඥාවක් ද? කිම ප්රඥාවන්තයෙක් මීට පෙර නො දුටු විරූ ද?” ආදිය කියා වර්ණකථාවට (ප්රශංසාවට) අනතුරක් කරයි. ආනන්ද තෙරුන් වහන්සේ වූ කලී සැරියුත් තෙරණුවන් හා ගැලපේ. ප්රණීත දන් ලැබ තෙරුනට දෙයි. තමන්ගේ උපස්ථායක තරුණයන් පැවිදි කරවා තෙරුන් සමීපයෙහි උපාධ්යායන් වහන්සේ හැටියට ගන්වයි; උපසපන් කරවයි. සැරියුත් තෙරණුවෝ ද අනඳ තෙරුනට එසේ කරති. කුමක් නිසා ද? අන්යෝන්යයන්ගේ ගුණ පිළිබඳ ව පැහැදී ම ඇළුම් කරති. අනඳ තෙරණුවෝ ද, අපගේ වැඩිමහල් සහෝදරයා එක් අසංඛෙය්ය ලක්ෂයක් කප්හි පාරමී පුරා සොළොස් ආකාර ප්රඥාව ප්රතිවේධ කොට ධර්ම සේනාපති ස්ථානයෙහි සිටි සේකැයි තෙරුන්ගේ ගුණයෙහි පැහැදී ම තෙරුනට ඇළුම් කරති. සැරියුත් තෙරණුවෝ ද සම්මා සම්බුදුන් වහන්සේට මා විසින් කළ යුතු මුව සේදීම සඳහා දිය සැපයීම ආදී කටයුතු සියල්ල අනඳ හිමි කරයි, ආනන්දයන් නිසා මම කැමති කැමති සමාපත්තියට සම වැදීම ලබා ගනිමි යි ඒ ආයුෂ්මතුන්ගේ ගුණයෙහි පැහැදී ම උන්වහන්සේට ඇළුම් කරති. එහෙයින් භාග්යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ ගුණ වර්ණනා කරනු කැමති වන සේක් අනඳ හිමියන් සමීපයෙහි පැවසීම ඇරඹූහ.
එහි තුය්හංපි හි ‘පි’ සම්පිණ්ඩන අර්ථයෙහි ය. කියන ලද්දේ මෙය යි: සැරියුත් හිමියන්ගේ ආචාර ගෝචර, විහාර, අභික්කම, පටික්කම ආලෝකිත, විලෝකිත, සම්මිඤ්ජිත, පසාරිත ක්රියා සියල්ල මට රුචිකර ය. අසූ මහා තෙරුනට රුචිකර ය. දෙවියන් සහිත ලෝකයාට රුචිකර ය. ඔබටත් රුචිකර ය.
ඉන් පසු තෙරුන් වහන්සේ, තිරය අතරින් ඉඩ ලද ශක්තිමත් මල්ලවයකු මෙන් සතුටු සිත් ඇත්තාහු බුදුන් වහන්සේ මට ප්රියසහායයාගේ ගුණ වර්ණනාව දක්වනු කැමති වන සේක. වළා අතරින් චන්ද්රයා ගෙන පෙන්වන්නාක් මෙන් සැරියුත් තෙරණුවන්ගේ ගුණ කථනය කරවීමට ලැබෙතැයි සිතා පළමු කොට ම සිවු පදයකින් පුද්ගල වරුණ ගෙන හැර පාන්නේ කස්ස හි නාම භන්තෙ අබාලස්ස ආදිය පැවසූ සේක. බාලයෙක් බාල බව නිසා, දුෂ්ට වූවෙක් ද්වේෂය නිසා, මුළා වූවෙක් මෝහය නිසා, විපරියාස වුණු සිතැත්තෙක් - උන්මත්තකයෙක් - චිත්ත විපර්යාසය නිසා වර්ණය (යහපත් ගුණ, ප්රශංසාව) වර්ණය යි හෝ අවර්ණය අවර්ණය යි හෝ මේ බුදුන් වහන්සේ ය, මේ ශ්රාවකයා යි හෝ නො දනියි. බාල ආදී වූ නො වූ අය දනිති. එහෙයින් අබාලස්ස ආදිය පැවසූ සේක. න රුච්චෙය්ය බාලයන් ආදීනට ම උන්වහන්සේ නො රුස්නේ ය. අනිකුත් කිසිවෙකුට නො රුස්නේ නො වේ.
මෙසේ පුද්ගල ප්රලාපය ගෙන හැර දක්වා දැන් සොළොස් පදයකින් ඇත්ත ඇති සැටියෙන් ගුණ වර්ණනා කරන සේක්, පණ්ඩිතො භන්තෙ යනාදිය පැවසූහ. එහි පණ්ඩිතො පාණ්ඩිත්යයෙන් සමන්නාගත වූ, කුසලතා (දක්ෂතා) සතරෙහි සිටියහුට මේ නමි. (එය) කියන ලදි. “යතො ඛො ආනන්ද භික්ඛු ධාතුකුසලො ච හොති, ආයතනකුසලො ච, පටිච්චසමුප්පාදකුසලො ච ඨානාඨානකුසලො ච එත්තාවතා ඛො ආනන්ද භික්ඛූති අලං වචනායාති” (ආනන්දයෙනි, යම් හෙයකින් භික්ෂුව ධාතු කුශල වෙයි ද, ආයතන කුශල වෙයි ද, පටිච්චසමුප්පාද කුශල වෙයි ද, ඨානාඨාන කුශල වෙයි ද, එපමණෙකින් ආනන්ද, පණ්ඩිතයෙකි යි කීමට සුදුසු වේ.) මහපඤ්ඤො ආදියෙහි, මහාපඤ්ඤ ආදියෙන් සමන්විත වූයේ යන අර්ථ යි. එහි මහාප්රඥා ආදීන්ගේ නානාත්වය මෙය යි; “මහාප්රාඥ” යනු කුමක් ද? මහත් වූ ශීලස්කන්ධයෙහි බැදෙති යි “මහාප්රාඥ” ය. මහත් වූ සමාධිස්කන්ධයෙහි - පඤ්ඤස්කන්ධයෙහි - විමුත්ති ස්කන්ධයෙහි - විමුක්ති ඤාණදස්සනස්කන්ධයෙහි ග්රහණය කෙරෙති යි මහාප්රාඥ: මහත් වූ ඨානාඨානයෙහි - මහා විහාර සම්පත්තියෙහි - මහා ආර්යසත්යයෙහි - මහා සතිපට්ඨානයෙහි - සම්මප්පධානයෙහි - ඉද්ධිපාදයෙහි - මහා ඉන්ද්රියබලබොජ්ඣංග - මහත් පරමාර්ථය වූ නිර්වාණය ග්රහණය කරති යි මහා ප්රාඥ;
දේවාරෝහණය කොට සංකස්ස නගර දොරටුවෙහි වැඩ සිටි බුදුන් වහන්සේ විසින් පුථුජ්ජනාදී වූ ප්රශ්න පහ විමසූ කල්හි එය විසඳන්නා වූ තෙරුන් වහන්සේගේ (ප්රඥාව) ප්රකට විය.
‘පුථුපඤ්ඤා’ යනු කවරක් ද? මහත් වූ නානාස්කන්ධයන් පිළිබඳ ඤාණය පවතිතියි “පුථුපඤ්ඤා,” මහත් වූ නානාධාතු පිළිබඳ - මහත් වූ නානා අර්ථ පිළිබඳ - මහත් වූ නානා පටිච්චසමුප්පාද පිළිබඳ - මහත් වූ නානා ශුන්යතා නො ලැබීම් පිළිබඳ - මහත් වූ නානා අර්ථ පිළිබඳ - ධර්ම පිළිබඳ - නිරුත්ති පිළිබඳ - පටිභාණ පිළිබඳ - මහත් වූ නානා ශීලස්කන්ධ පිළිබඳ, මහත් වූ නානා සමාධි - පඤ්ඤා - විමුත්ති ඤාණ දස්සන ස්කන්ධ පිළිබඳ, මහත් වූ ඨානාඨාන පිළිබඳ - මහත් වූ නානා විහාර සමාපත්ති පිළිබඳ - මහත් වූ නානා ආර්ය සත්ය පිළිබඳ - මහත් වූ නානා සතිපට්ඨාන පිළිබඳ සම්මප්පධාන පිළිබඳ - ඉද්ධිපාද පිළිබඳ - ඉන්ද්රිය පිළිබඳ - බල පිළිබඳ - බොජ්ඣංග පිළිබඳ - මහත් වූ නානා අරිය මග්ග පිළිබඳ - සාමඤ්ඤ පිළිබඳ - අභිඤ්ඤා පිළිබඳ - මහත් වූ නානා ජනයාට පොදු - ශීල ධර්ම ඉක්මවා යන පරමාර්ථ වූ නිර්වාණය පිළිබඳ ඥානය පවත්වති යි ‘පුථුපඤ්ඤා’ වේ.
‘හාසුපඤ්ඤා’ (සිනා බහුල කොට ඇති ප්රඥාව ඇත්තා) කවරේ ද? මෙහි එක් පුද්ගලයෙක් සිනාව බහුල වූයේ, වේද (සොම්නස) බහුල වූයේ, තුෂ්ටිය බහුල වූයේ, ප්රමෝදය බහුල වූයේ, ශීලය සම්පූර්ණ කරයි. ඉන්ද්රිය සංවරය සම්පූර්ණ කරයි, භෝජනයෙහි පමණ දැනීම - නිදි වැරීම - ශීලස්කන්ධ -සමාධි ස්කන්ධ - ප්රඥාස්කන්ධ - විමුක්ති ස්කන්ධ - විමුක්ති ඥාන දර්ශන ස්ක්නධ - සම්පූර්ණ කරතියි ‘හාසුප්රඥා’ වේ. ‘හාස බහුල, පාමොජ්ජ බහුල, ඨානාඨාන ප්රතිවේධ කිරීම් ඇතැයි ‘හාසු ප්රඥා’ නමි. හාස බහුල ව, විහාර සම්පත්ති සම්පූර්ණ කරතියි “හාස බහුල” වේ. ආර්යසත්ය ප්රතිවේධ කරතියි, සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - ඉන්ද්රිය - බල - බොජ්ඣංග - අරිය මග්ග වඩතියි ‘හාසුප්රඥා’ වේ. හාස බහුල ව සාමඤ්ඤඵල සාක්ෂාත් කරති යි, අභිඥා ප්රතිවේධ කරති යි ‘හාසුප්රඥා’ වේ. හාස බහුල වූයේ, වේද - තුට්ඨි - පාමොජ්ජ බහුල වූයේ පරමාර්ථය වූ නිර්වාණය සාක්ෂාත් කරති යි ‘හාසුප්රඥා’ වේ.