5. සුභාසිතජය සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - අසුරින්‍දං එතදවොච බුද්ධිමත් බව නිසා මෙසේ කී ය. ඔහුට මෙසේ සිතිණි: අනෙකාගේ ග්‍රහණය මුදාහැර පළමුවෙන් කීම බරපතළ ය; අනිකාගේ වචන අනුව යමින් පසු ව කීම පහසුය යි. පුබ්බදෙවා දෙව් ලොව බොහෝ කලක් ජීවත් වන්නා වූ මුල් අධිපතිවරු ය, ඔබලාගේ පරපුරෙන් පැමිණි දේ කියනු මැනවි. අදණ්ඩාවචරා දණ්ඩයෙහි ආශ්‍රයක් රහිත වූවෝ; දණ්ඩක් හෝ ආයුධයක් (අතට) ගත යුතු ය යන්න මෙහි නැත යන අරුත යි.
පස් වැනි සූත්‍රය යි.
6. කුලාවක සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - අජ්ඣභාසි ඒ සිම්බලී (ඉඹුල්) වනය අභිමුඛ ව හටගත් රථශබ්ද, උතුම් අශ්වයන්ගේ ශබ්ද, ධ්වජ ශබ්ද ද හාත්පස හෙණ හඬ මෙන් විය. එය අසා සිම්බලී වනයෙන් බලවත් ගුරුළෝ පැන දිවූහ. ජරාජීර්ණ වූවෝ ද, රෝග නිසා දුර්වල වූවෝ ද, නොහටගත් පියා පත් ඇති පොව්වෝ ද, පැන දිවීමට අසමත් වූවෝ ද මරණ භයින් තැති ගත්තාහු එක පැහැර මහා ඝෝෂාවක් නැගූහ. ඉක්බිති ශක්‍රයා දරුව, කාගේ ශබ්දයක් දැයි මාතලිගෙන් විමසී ය. දේවයිනි, ඔබගේ රථ ශබ්දය අසා ගුරුළෝ පැන යාමට අපොහොසත් ව හඬ තලති” ඒ අසා කරුණාව තබා ගත් හදවත ඇත්තේ (මෙසේ) පැවසී ය.
ඊසාමුඛෙන රථයේ රියහිසෙන්; යම් සේ රිය හිස (ගුරුළු) කැදලි කුඩු නො කරයි ද එසේ මේ රිය හිසෙන් ඒවා මග හරවන්න. ඒ රථය පින් හේතුවෙන් පහළ වූයේ සක්වල පර්වත ද මහමේරුව ද හමු වූ විට ඒවා විනිවිද ව (පසාරු කර ගෙන) යයි; නො ඇළෙයි. අහසට ගියාක් මෙන් ම යයි. ඉදින් ඒ සිම්බලි වනයෙන් ගියේ නම්, මහ රියක් කෙසෙල් වන මැදින් හෝ එරඬු වනයක් මැදින් හෝ ගිය කල්හි සියලු වනය කැබලි වී කුඩු වී යයි ද එම සිම්බලි වනය ද එසේ වන්නේ ය.
සය වැනි සූත්‍රය යි.
7. නදුබ්භිය සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - උපසංකමි මේ ශක්‍රයා, යමෙක් මට පසමිතුරෙක් වේ ද ඔහුට ද මම ද්‍රෝහ නො කරන්නෙමි යි සිතයි. මට ඔහුට වැඩි පස මිතුරකු නම් නැත. කිම මා දැක ද්‍රෝහ කරයි ද ද්‍රෝහ නො කරයි ද කියා විමසන්නෙමි යි සිතා ළඟට පැමිණියේ ය. තිට්ඨ වෙපචිත්ති! ගහිතෝසි වේපචිත්ති! ඔතැන ම නවතිනු, මා විසින් තෝ අල්ලා ගන්නා ලද්දෙහි ය කියයි. ඔහුගේ වචනයත් සමග ම හේ ගෙළ පස්වැන්න කොට ඇති බැඳුම්වලින් බැඳුනේ විය. සපස්සු ච මෙ මා කෙරෙහි ද්‍රෝහි නො වන බවට පොරොන්දු වෙව’ යි කියයි.
යං මුසා භණතො පාපං මේ කල්පයෙහි මුල් කල්ප වැසියන් අතර චේතිය රජුගේ පාපය අරභයා කී ය. අරියුපවාදිනො (ආර්යයන්ට අපහාස කරන්නහුට) කෝකාලිකගේ පාපය මෙන්; මිත්තද්දුනො ච යං පාපං (මිත්‍ර ද්‍රෝහියාට නම් පාපයක්) මහා කපි ජාතකයෙහි බෝධි සත්ත්වයන් කෙරෙහි දුෂ්ට වූ සිත ඇතියහුගේ පාපය, අකතඤ්ඤුනො දෙව්දත්ට සමාන අකෘතඥ වූවන්ගේ පාපය; වේවා මේ කල්පයෙහි මහා පාප සතර වේ.
සත් වැනි සූත්‍රය යි.
8. වෙරොචන අසුරින්ද සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - අට්ඨංසු දොරටු පාලකයන් මෙන් සිටියෝ ය. නිප්ඵදා නිෂ්පත්තිය, යම් කලක අර්ථය (ප්‍රතිඵල) නිපදවයි ද, ඒ තාක් කල් වෑයම් කරව් යයි කියයි. දෙවැනි ගාථාව ශක්‍රයාගේ ය. එහි ඛන්ත්‍යා භිය්‍යො ඇති කරන ලද ශෝභන (උසස්) අර්ථ (ප්‍රතිඵල) අතර ක්ෂාන්තියට වැඩි උතුම් අර්ථයක් නම් නැත. අත්‍ථජාතා හටගත් කටයුතු ඇත්තාහු (කළ යුතු වැඩ ඇත්තාහු) බලු කැනහිල් ආදීන් ගත් කල්හි පවා වැඩක් නැති සතෙකු නම් නැත. මෙතැනින් එතැනින් යාම් මාත්‍රයක් වුව වැඩක් ම වේ. සංයොග පරමාත්‍වෙව සම්භොගා සබ්බපාණිනං ‘පාරිවාසික’ කල්ගිය නැතහොත් පිළුණු වූ බත් සම්භෝගයට (පරිභෝජනයට) නුසුදුසු ය. ඒවා යළි රත් කර බැද ගිතෙල් මී පැණි ආදියෙන් යෝග කරනු ලැබුයේ කෑමට සුදුසු වේ. එහෙයින් සියලු ප්‍රාණීන්ගේ සම්භෝග සංයෝගය පරම කොට ඇත්තේ ම වේ’ යි කී ය. නිප්ඵන්නසොභිනො අත්‍ථා අර්ථයෝ නම් නිෂ්පත්තිය නිසා ම බැබළෙත්. යළි සතර වැනි ගාථාව ශක්‍රයාගේ ය. එහි ද අර්ථ කියන ලද පරිද්දෙන් දත යුත්තේ ය.
අට වැනි සූත්‍රය යි.