3. තණ්හා සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි ද මේ න්‍යාය ම ය.
තුන් වැනි සූත්‍රය යි.
4. සංයෝජන සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - කිංසු සංයොජනො කුමන සංයෝජන ද? කුමන බන්ධන ද? විචාරණං ‘චරණ’ පාද ය. බහු වචනයෙහි ලා ඒක වචනය කරන ලදි. විතක්කස්ස විචාරණං විතර්කය එහි පාද ය.
සිවු වැනි සූත්‍රය යි.
5. බන්ධන සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි ද මේ න්‍යාය ම ය.
පස් වැනි සූත්‍රය යි.
6. අබ්හාහත සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - කෙනස්සුබ්භාහතො ‘කෙන සු අබ්භාහතො’ (කුමකින් ලුහුබඳන ලද ද?) ‘සු’ නිපාත මාත්‍රයකි. ඉච්ඡාධූමායිතො තෘෂ්ණාවෙන් ගිනි ගෙන ඇත්තේ ය.
සය වැනි සූත්‍රය යි.
7. උඩ්ඩිත සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - තණ්හාය උඩ්ඩිතො තෘෂ්ණාවෙන් එල්ලා ඇත. (බැඳ දමා ඇත.) චක්ෂුව (ඇස) තෘෂ්ණා රැහැනින් ගොතා රූප නමැති නාගදත්තයෙහි (කොක්කෙහි) එල්ලා තබන ලදි. කණ ආදිය ශබ්දාදිය යන ආකාරයට ලෝකය තෘෂ්ණාවෙන් එල්ලන ලද්දේ ය. මච්චුනා පිහිතො සත්ත්වයෝ, අනන්තර (පූර්ව) ආත්ම භාවයෙහි කරන ලද කර්මය ආසන්න එක් චිත්තාන්තරයක් බලවත් මාරාන්තික වේදනාව නිසා පර්වතයකින් මෙන් වැසුණු බව නිසා අවබෝධ කර නො ගනිත් යි මච්චුනා පිහිතො ලොකො (ලෝකය මරහු විසින් වසන ලද්දේ ය) යයි කියන ලදි.
සත් වැනි සූත්‍රය යි.
8. පිහිත සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - එම ප්‍රශ්නය පහළ ඉහළ (පෙර පසු) වශයෙන් ප්‍රශ්න කරන ලදි.
අට වැනි සූත්‍රය යි.
9. ඉච්ඡා සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - සියල්ල කී පරිදි ය.
නව වැනි සූත්‍රය යි.
10. ලෝක සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - කිස්මිං ලොකො සමුප්පන්නො කුමක් හටගත් කල්හි ලෝකය උපන්නේ දැයි කියයි. ඡස්සු ආධ්‍යාත්මික ආයතන සය උපන් කල්හි ‘උපන්නේ ය’ යි කියනු ලැබේ. ඡස්සු කුබ්බති ඒ හයේ ම සන්‍ථවං (එක් ව වාසය කිරීම) (කුබ්බති =) කරයි. උපාදාය ඒ හය ම දැඩි ව අල්ලා ගෙන පැමිණ ප්‍රතීත්‍ය ව පවතී. විහඤ්ඤති ඒ සයෙහි ම නැසෙයි. පෙළෙයි. මෙසේ ආධ්‍යාත්මික ආයතන වශයෙන් මේ ප්‍රශ්නය පැමිණියේ ය. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගැනීම වටී. ආධ්‍යාත්මික ආයතන සයෙහි උපන් කල්හි මෙය ‘උප්පන්න’ නම් වේ. බාහිර ආයතනවල සන්‍ථවය (එක් ව සිටීම) කරයි. ආධ්‍යාත්මික ආයතන හය පාදක කොට ගෙන බාහිර ආයතන සයේ පෙළයි යනුයි.
දස වැනි සූත්‍රය යි.
සත් වැනි වර්ගය යි.
8. ඣත්වා වර්ගය
1. ඣත්වා සූත්‍ර වර්ණනාව
ඣත්‍වා වග්ගයෙහි පළමු වැන්නේ - ඣත්‍වා නසා, සුඛං සෙති ක්‍රෝධ පරිළාහ (දැවිල්ල) මගින් නො දවන බැවින් සුවසේ නිදයි, න සොචති ක්‍රෝධය විනාශ කිරීම මගින් දොම්නස බව විනාශ කිරීමෙන් ශෝක නො කරයි. විසමූලස්ස දුක් විපාකයේ මධුරග්ගස්ස කිපුණු අයට කෝප කොට, ආක්‍රෝශ (පරිභව) කළ අය හට ප්‍රතිපරිභව කොට, පහර දුන් අයට ප්‍රතිප්‍රහාර දී සැපයක් උපදී. ඒ දැක්වීම පිණිස මේ ‘මධුරග්ගො’ යන්න පවසන ලදි. මෙතැන්හි අවසානය ‘අග’ යයි කියන ලදි. අරියා බුද්ධාදීහු.
ප්‍රථම සූත්‍රය යි.
2. රථ සූත්‍ර වර්ණනාව
දෙවැන්නේ - මෙයින් පෙන්වති යි (හඳුන්වති යි) -පඤ්ඤාණං (සලකුණයි). ධජො රථස්ස මහත් යුද්ධයක ඉදිරියෙහි ඈතින් ම කොඩිය දැක මෙය අසුවල් රජුගේ රථය යි ප්‍රකට වෙයි. එහෙයින් ‘ධජො රථස්ස පඤ්ඤාණං’ කියන ලදි. ගින්න ද ඈත සිට ම දුමෙන් (සලකුණ සේ පෙන්වයි) සොළී රට පඬු රට යි මෙසේ රට ද රජු විසින් පෙන්වයි. සක්විති රජුගේ දියණිය වුව ද ස්ත්‍රිය අසුවලාගේ භාර්යාව යයි සැමියකු කරා පැමිණ ම හඳුන්වයි. එහෙයින් ධූමො පඤ්ඤාණමග්ගිනො (දුම ගින්නට සලකුණයි) ආදිය කියන ලදි.
දෙවන සූත්‍රය යි.
3. විත්ත සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - සද්ධීධ විත්තං යම් හේතුවකින් ශ්‍රද්ධාවෙන් මුතු මැණික් ආදියත් ධනයත් ලබයි ද, කුලසම්ප්‍රදායන් තුන ද, කාමස්වර්ග හය ද, නව බ්‍රහ්ම ලෝකයට ද පැමිණ, අවසානයේ අමෘත මහා නිර්වාණ දර්ශනය ද ලබයි ද, එබැවින් මිණි මුතු ආදි ධනයෙන් ශ්‍රද්ධා ධනය ම ශ්‍රේෂ්ට වෙයි. ධම්මො දශකුශල කර්ම පථය යි. සුඛමාවහාති සාසව අනාසව (කිළිටි නො කිළිටි) සියලු ම සැප ගෙන එයි. සාදුතරං ලෝකයෙහි ලුණු ඇඹුල් ආදි සියලු රසවලින් සත්‍යය ම වඩා මිහිරි ය. සත්‍යයෙහි පිහිටියෝ ශීඝ්‍රවේගය ඇති ගඟ ද නවතා ලත්, විෂ ද යටපත් කරත්. ගිනි ද වළක්වත්, වැසි ද වස්වත්, එහෙයින් එය සියලු රසයන් අතර මධුරතර ය යි කියන ලදි. පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨං යම් නුවණින් ජීවත් වන්නෙක් ගිහියෙකු ව සිටින්නේ පංච ශීලයෙහි පිහිටා, සලාක බත් (කුසපත් ඇදීමෙන් බෙදන ආහාර) ආදියෙහි පිහිටා ප්‍රඥාවෙන් ජීවත් වෙයි ද? පැවිදි වූයේ හෝ දැහැමින් ලත් ප්‍රත්‍යය මෙය අර්ථය (ධනය) යි මෙනෙහි කොට වළඳන්නේ කර්මස්ථානයක් ගෙන විදර්ශනාවෙහි පිහිටා ආර්ය ඵල ලැබීම් වශයෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙයි ද, ඒ ප්‍රඥාවෙන් ජීවත් වන පුද්ගලයා ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරති යි කීහ.
තුන් වන සූත්‍රය යි.