6. ජරා වර්ගය
1. ජරා සූත්‍ර වර්ණනාව
ජරා වග්ගයෙහි පළමු වැන්නේ සාධු සිත් ගන්නා දෙය, භද්‍රක (යහපත් දෙය) සීලං යාව ජරා - මෙයින් මෙය පෙන්වා ලයි: යම් සේ මුතු මැණික් රන් වස්ත්‍ර ආදි ආභරණ තරුණ කාලයේ පමණක් ශෝභන වේ. ජරා ජීර්ණ (මහලු) කාලයෙහි ඒවා දරන්නේ මොහු අදත් තරුණ බව පතයි, උන්මත්තකයෙකැයි සිතමි යි කිව යුතු තත්ත්වයට පත් වේ. ශීලය එසේ නො වේ. ශීලය සදා කල්හි බබළයි. බාලකාලයෙහිත් ශීලය රකින්නා ‘මොහුට ශීලයෙන් කිම’ යි කියන්නකු නැත. මධ්‍යම කාලයෙහිත් මහලු කාලයෙහිත් නැත.
සද්ධා සාධු පතිට්ඨිතා හත්‍ථාලවක, චිත්තගහපති ආදීන්ගේ මෙන් මාර්ගයන් ආ, පිහිටුවන ලද ශ්‍රද්ධාව නම් යහපත් ය. පඤ්ඤා නරානං රතනං මෙහි අලංකාර කරන ලද අට රුවන බව දත යුතු ය. එය කියන ලද්දේ ම ය:
ඉදින් රත්නය අලංකාර කරන ලද්දේ නම් භාග්‍යවතුන් වහන්සේ චිත්‍රීකෘත (අලංකාර කරන ලද) පුරුෂ සිංහයෙක් නො වේ ද? ලොවෙහි චිත්‍රීකෘත කෙනෙක් වෙත් ද ඔවුන් අතර භාග්‍යවතුන් වහන්සේ චිත්‍රීකෘත ය. ඉදින් රත්නය රතිකෘත (ආහ්ලාදකර) ද, භාග්‍යවතුන් වහන්සේ රතිකෘත පුරුෂ සිංහයෙක් නො වන සේක් ද? උන්වහන්සේගේ වචනය අනුව හැසිරෙන්නාහු ධ්‍යානරතිසුවයෙන්-අතිසුඛයෙන්-ප්‍රීති වෙත්, ඉදින් රත්නය අතුල (අසම) නම්, භාග්‍යවතුන් වහන්සේ අතුල පුරුෂ සිංහයෙක් නො වන සේක් ද? ගුණ පාරමීයට ගිය සේක් ගුණයෙන් සමාන කිරීමට නො හැකි ය. ඉදින් රත්නය දුර්ලභ ය. භාග්‍යවතුන් වහන්සේ දුර්ලභ පුරුෂ සිංහයෙක් නො වන සේක් ද? ඉදින් රත්නය උතුම් මිනිසුන්ගේ පරිභෝග වස්තුවක් නම්, භාග්‍යවතුන් වහන්සේ ශීලයෙන් සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන් විමුක්ති දර්ශනයෙන් උතුම් නො වේ ද?
මෙහි දුර්ලභ ලෙස පහළ වීමේ අර්ථයෙන් ප්‍රඥාරතනය යි කියන ලදි. පුඤ්ඤං පුණ්‍ය චේතනා ය. එය රූප (ශරීර) නො වන බැවින් පැහැර ගෙන යාමට නො හැක්කේ යි.
ප්‍රථම සූත්‍රය යි.
2. අජරසා සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අජරසා සාධු නො දිරීමෙන් විනාශ නො වීමෙන් යන අර්ථ යි, ශීලය විනාශ නො වූයේ ම යහපත් වේ. විපතට පත් ශීලය ආචාර්ය උපාධ්‍යාය ආදීහු පවා ගණන් නො ගනිත්. ගිය ගිය තැන ඉවත් කළ යුත්තේ වෙයි.
දෙවැනි සූත්‍රය යි.
3. මිත්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි සත්‍ථො එකට යන-පයින් වෙළඳාමට යන-සමූහය (තවලම) හෝ ගැල් සමූහය හෝ: මිත්තං රෝගයක් හට ගත් කල්හි පල්ලැක්කියකින් හෝ වෙනත් යානයකින් හෝ ගෙන ගොස් ආරක්‍ෂිත ස්ථානයකට පමුණුවන බැවින් මිත්‍ර වූ, සකෙ ඝරෙ තමාගේ ගෙහි, ඒ ආකාරයේ රෝගයක් හටගත් කල්හි පුතුන් බිරින්දන් ආදින් පිළිකුල් කරති. මව වූ කලී අශුචි පවා සඳුන් මෙන් සලකයි. එහෙයින් ඇය තම ගෙහි මිතුරා ය. සහායො අත්‍ථජාතස්ස කළ යුතු කටයුතු ඇත්තෙකුගේ ඒ කාර්යය යමෙක් උසුළයි ද, (නිමවා) එතෙර කරයි ද ඔහු කාර්යයන්හි දී එකට යන බැවින් ‘සහායයා’ මිත්‍රයා; සුරාපාන සහායයෝ මිත්‍රයෝ නො වෙත්. සම්පරායිකං පරලොව හිත කැමති වෙත්.
තුන්වන සූත්‍රය යි.
4. වත්ථු සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ පුත්තා වත්‍ථු මහලු කාලයෙහි පෝෂණය කිරීමේ අර්ථයෙන් පුත්‍රයෝ ප්‍රතිෂ්ඨාව වෙත්. පරමො අන්‍යයනට නො කිව යුතු රහත් වුව ද කිවයුතු බැවින් භාර්යාව පරම යහළුවා නමි.
සිවු වැනි සූත්‍රය යි.
5. පඨමජනෙති සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - විධාවති අන් සමුදුර ආදි ගමන් වශයෙන් එහෙ මෙහෙ දුවයි.
පස් වැනි සූත්‍රය යි.
6. දුතියජනෙති සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - දුක්‍ඛා සසර දුකින්.
සය වැනි සූත්‍රය යි.
7. තතිය ජනෙති සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - පරායනං නිෂ්පත්තියට (ඵලයට) උපකාර වන (පිහිට වන).
සත් වැනි සූත්‍රය යි.
8. උප්පථ සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - රාගෙන උප්පථො සුගතියටත් නිවනටත් යන්නෙකුට නො මග. රත්තින්‍දිවක්‍ඛයො රෑ දවල්වලින් හෝ රෑ දවල්වල දී හෝ ගෙවී යයි. ඉත්‍ථි මලං අනෙකුත් බාහිර මළ, අළු - ක්‍ෂාර ආදියෙන් සෝදා හැරීමට පුළුවන. ස්ත්‍රී මළෙන් දූෂණය වූයේ පවිත්‍ර කිරීමට නම් නො හැක්කේ ම යයි ‘ඉත්‍ථි මලං’ යි කියන ලදි. එත්‍ථ මෙහි ස්ත්‍රිය කෙරෙහි. පජා සජ්ජති (සත්ත්වයා ඇලේ); තපො ඉන්ද්‍රිය සංවර ධුත ගුණ වීර්ය දුෂ්කර ක්‍රියා කරන්නන්ගේ නමකි. මෙහි දුෂ්කර ක්‍රියාව හැර කෙළෙස් තවන සියලු ම ප්‍රතිපදාවන් සුදුසු ය. බ්‍රහ්මචරියං මෙවුන්දමෙන් තොර වීම.
අට වැනි සූත්‍රය යි.