5. අනොම සූත්ර වර්ණනාව
පස් වැන්නෙහි අනොමනාමං සියලු ගුණයන්ගෙන් සමන්නාගත වූ බැවින් අවෙකල්ල (අවිකල) නම් ඇති, පිරිපුන් නම් ඇති යන අර්ථ යි. නිපුණත්ථදස්සිං භාග්යවතුන් වහන්සේ ඉතා සියුම් වූ ස්කන්ධ ආදිය දකිති යි ‘නිපුණත්ථදස්සිං’ (සියුම් අරුත් දන්නා) පඤ්ඤාදදං ප්රඥාව ලබා ගැනීම් වස් ප්රතිපදාව පැවසීම් වශයෙන් ප්රඥාව දෙන කාමාලයෙ අසත්තං පඤ්චකාම ගුණ තෘෂ්ණාවෙහි නො ඇළුණු කම්මානං භාග්යවතුන් වහන්සේ මහ බෝ මැඩ දී ම ආර්යමාර්ගයෙන් වැඩි සේක. දැන් නො යන සේක, අතීතය ගෙන මෙහි කියන ලදි. මහෙසිං මහත් වූ ශීලස්කන්ධ ආදීන් සොයා බලන්නා වූ පර්යේෂණ කරන්නාවූ යි.
පස් වැනි සූත්රය යි.
6. අච්ඡරා සූත්ර වර්ණනාව
සය වැන්නෙහි අච්ඡරාගණසංඝුට්ඨං මේ දේව පුත්රයා බුදුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව වත් පිළිවෙත් පුරන්නේ පස් වස් කාලයෙහි පවාරණය කොට මාතෘකා දෙකක් ප්රගුණ කොට ලොකු කුඩා කටයුතු හදාරා සිත් කැමති කර්මස්ථානයක් උගෙන, සරළ දිවිපෙවෙතක් ගත කරන්නේ අරණට පිවිස භාග්යවතුන් වහන්සේ විසින් යම් මධ්යම යාමයක් නිදා ගැනීම පිණිස වූ කොටසැයි අනුදන්නා ලද ද එය පැමිණි කල්හි ද, “මම ප්රමාදයට බිය වෙමි” යි ඇඳ ඉවත් කොට රාත්රියෙහිත් දවාලෙහිත් නිරාහාර ව කර්මස්ථානය ම සිත්හි යොමු කළේ ය.
ඉක්බිති ඔහුගේ අභ්යන්තරයේ කැපුම් වේදනාවෝ ජීවිතය අවසන් කළෝ ය. හෙතෙමේ ධුරය දරමින් සිටියදී ම කාල ක්රියා කළේ ය. කිසියම් භික්ෂුවක් සක්මන් මළුවෙහි සක්මන් කරමින් හෝ හේත්තු වීමට ඇති ස්ථම්භයක් ඇසුරෙහි සිටිමින් හෝ සක්මන් මළුවෙහි කෙළවර සිවුර හිසට තබා ගෙන සිටිමින් හෝ සැතපෙමින් හෝ පිරිස මැද අලංකාර කරන ලද ධර්මාසනයෙහි සිට දහම් දෙසමින් හෝ කාලක්රියා කරයි ද, ඒ සියල්ල ධුරය දරමින් කාලක්රියා කරයි නම් වේ.
මෙසේ මොහු සක්මනෙහි (යෙදෙමින් සිටියදී) කාල ක්රියා කොට උපනිශ්රය අඩු බව නිසා ආශ්රව ක්ෂයට නො පැමිණ තව්තිසා භවනයෙහි මහා විමානයක නිදා සිට පිබිදෙන්නාක් මෙන් ප්රතිසන්ධිය ලැබී ය. එකෙණෙහි ම ඔහුට රුවන් තොරණක් බඳු ගව් තුනක් උසැති ආත්ම භාවය (ශරීරය) ඇති විය.
විමානය ඇතුළත දහසක් පමණ වූ අප්සරාවෝ ඔහු දැක “විමාන අධිපති දේවපුත්රයා පැමිණියේ ය. ඔහු සතුටු කරවන්නෙමු.” තූර්ය භාණ්ඩ ගෙන ඔහු වටා සිට ගත්හ.
දේව පුත්රයා තවමත් චුත වූ බැව් නො දනියි. පැවිදි සංඥා ඇත්තේ ම අප්සරාවන් දෙස බලා විහාර චාරිකාවකට පැමිණි කතක දැක ලජ්ජාවට පත් පංශුකුලියකු මෙන් ඉහළ තිබූ ඝන වස්ත්රය ඒකාංශ කරමින් අංශ කුටය (දසරුව) වසා ගෙන ඉන්ද්රියයන් බිමට හරවා බිම බලාගෙන ම සිටියේ ය. ඔහුගේ ශරීරයේ වෙනස් ස්වරූපය හේතුවෙන් ම ඔවුහු (ඒ අප්සරාවෝ) මේ ශ්රමණ දේවපුත්රයෙකි’යි දැන මෙසේ පැවසූහ: “ආර්යයෙනි, දේවපුත්රයනි, මෙය දෙව්ලොව යි. ශ්රමණ දහම් කරන අවස්ථාවක් මෙහි නො වේ. සම්පත් විඳින අවස්ථාවකි, මෙය” යි. හේ එසේ ම සිටියේ ය. දේවතාවියෝ තවමත් මොහු කල්පනා නො කරයි. (නො දකියි) යි තූර්ය භාණ්ඩ අතට ගත්හ. හේ එලෙසින් ම නො බලමින් සිටියේ ය.
එවිට මුළු සිරුර පෙනෙන කැඩපතක් ඉදිරියෙන් තැබූහ. හේ ඡායාව දැක චුත වූ බැව් දැන මා විසින් මේ ස්ථානය පතා ශ්රමණ දහම් නොකරන ලදි. උසස්ම අරමුණ වූ අර්හත් භාවය පතා කරන ලද්දේ යයි සම්පත්ති පිළිබඳ විපිළිසර විය (පසුතැවිලි විය). රන් පටක් ඔට්ටු අල්ලා යුද පිටියට බට මල්ලව පොර කාරයකු මුෂ්ටියක් ලැබ මෙන්, මේ ස්වර්ග සම්පත්තිය නම් සුලභ එකකි, බුදුන් වහන්සේලා පහළ වීම දුර්ලභ යයි සිතා විමානයට නො පිවිස, නො බිඳුණු ශීලයෙන් යුතු ව අප්සරා ගණයා විසින් පිරිවරන ලදු ව බුදුන් වහන්සේ අසළට පැමිණ වැඳ එකත්පස් ව සිටියේ මේ ගාථාව ප්රකාශ කළේ ය.
එහි අච්ඡරාගණසංඝුට්ඨං අප්සරා සමූහය විසින් ගීත වාදිත ශබ්දවලින් මැනවින් ඝෝෂා කරන ලද, පිසාචගණසෙවිතං ඒ අප්සරා සමූහයා ම පිසාච සමූහයක් කොට පවසයි. වනං නන්දන වනය ගැන කියයි. මෙතෙමේ නිෂ්කාම චිත්තය හේතු කොට ගෙන, තමාගේ ගෞරව භාවය නිසා දේව සමූහයා ‘දේවගණයා’ යි පැවසීමට නො කැමති වෙයි. ‘පිශාචගණයා’ යි පවසයි. නන්දන වනය ද “නන්දන” යි නො කියා ‘මොහනං’ යි පවසයි. කථං යාත්රා භවිස්සති කෙසේ නික්මීමක් වන්නේ ද? කෙසේ නම් එතෙර වීමක් වන්නේ ද? භාග්යවතුනි, මා හට අර්හත් බවට පත්වීමට හේතුවන විපස්සනාව වදාරනු මැනවි” යි කියයි.