2. කිංදද සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අන්නදො යම් සේ බොහෝ ශක්තිමත් පුද්ගලයකු වුව ද දෙතුන් වේලක් අහර නො ගෙන නැඟිට සිටීමට නො හැකි වන්නේ ද, එසේ ම දුර්වලයකු වී වුව ද, අනුභව කොට බලසම්පන්නයෙකු වන්නේ ද එහෙයින් අන්නදො බලදො යි කී ය. වත්‍ථදො යම් සේ සුරූපි කෙනකු වුව ද නො සරුප් ලෙස හැඳ ගත්තේ හෝ වස්ත්‍ර නැති ව සිටියේ හෝ විරූපි වෙයි ද, ගරහන ලද්දේ වෙයි ද, බැලීමට අපහසු වූයේ වෙයි ද, වස්ත්‍රයෙන් (සිරුර) වසන ලද්දේ දේව පුත්‍රයකු මෙන් බබළයි. එහෙයින් වත්‍ථදො හොති වණ්ණදො ය කී ය. යානදො හස්තියාන ආදිය දෙන්නා. ඒවා අතර,
න හත්‍ථියානං සමණස්ස කප්පති
න අස්සයානං න රථෙන යාතුං
ඉදඤ්ච යානං සමණස්ස කප්පති
උපාහනා රක්‍ඛතො සීලක්‍ඛන්‍ධං
(ශ්‍රමණයා හට හස්තියානය කැප නො වේ. අශ්ව යානය (ද කැප නො වේ.) රියෙන් යෑම (කැප නො වේ) ශීලස්කන්ධය රකින ශ්‍රමණයාට පාවහනින් යාම කැප ය.)
එහෙයින් කුඩ, පාවහන්, සැරයටිය ආදිය දෙන්නා; යමෙක් මාවත් පිරිසිදු කරයි ද, ඉණිමං සාදයි ද, පාළම් සාදයි ද, නැව් සකස් කරයි ද යන මේ සියල්ලෝ ‘යානදො’ නම් වෙත්. සුඛදො හොති යානයෙන් සුවය (පහසුව) ගෙන දෙන හෙයින් “සුඛදො” නම් වේ. චක්‍ඛුදො හොති අඳුරෙහි ඇස් ඇතියවුනට පවා රූප දැකීමක් නො වන හෙයින් දීපදො (පහන් පුදන්නා) චක්‍ඛුදො නම් වේ. අනුරුද්ධ තෙරුන් වහන්සේ මෙන් දිවැස් සම්පත් ද ලබයි.
සබ්බදදො හොති සියලු ම බල (ශක්තිය) ආදිය දෙන්නෙක් වේ. ගම් දෙක තුනක පිඬු පිණිස හැසිර කිසිවක් නො ලැබ ආපසු පැමිණියහුට වුව ද සිසිල් දිය පිරි විලක නා, සිටිනා තැනට පැමිණ මොහොතක් ඇඳෙහි සැතපී නැගී සිටින්නෙකුට සිරුරෙහි ශක්තිය ගෙන දෙන්නාක් මෙන් වෙයි. එළියේ හැසිරෙන්නෙකු සේ ශරීරයේ වර්ණය (පැහැය) සුළඟ අව්ව ආදියෙන් දැවෙයි. ගෙට පිවිස දොර වසා මොහොතක් සැතපුනේ විසභාගසන්තති (විවිධ අසම කොටස්) සංසිඳෙයි. සභාගසන්තති (සමාන කොටස්) ඇතුළු වෙයි. වර්ණය ගෙන හැර දෙන්නාක් මෙන් වෙයි. එළියෙහි ඇවිදින්නෙකුගේ පාදයෙහි කටුවක් ඇණෙයි. කණුවක හැපෙයි. සර්ප ආදි අනතුරු භය ද උපදී. ගෙට පිවිස දොර වසා සිටියහුට ඒ සියලු අනතුරු නො වන්නේ ය. සජ්ඣායනය කරන්නා (ඉගෙන ගන්නා) හට - ධර්ම ප්‍රීති සුඛ කර්මස්ථානය සිත්හි තබන්නා හට - සංසිඳීමේ සැපය ඇති වේ. එසේ ම බැහැර ඇවිදින්නාගේ දහඩිය ගලයි; ඇස් සෙලවෙයි. ශයනාසනයට පිවිසෙන මොහොතේ ළිඳට වැටුනා සේ වෙයි. ඇඳ පුටු ආදිය නො පෙනේ. මොහොතක් සිටියහුට චක්ෂු ප්‍රසාදය ගෙනැවිත් දැම්මා සේ වෙයි. දොර ජනෙල් ඇඳ පුටු ආදිය පෙනේ. එහෙයින් කියන ලදි. සොව සබ්බදදො හොති යො දදාති (යමෙක් ආවාස දෙයිද, හේ සියල්ල දෙන්නේ වෙයි) - උපස්සයං - ආවාස
අමතං දදො ච සො හොති - ප්‍රණීත භෝජනයෙන් පාත්‍රය පුරවන්නාක් මෙන් අමෘත දානය නම් (දානය) දෙයි. යො ධම්මමනුසාසති යමෙක් ධර්මය අනුශාසනා කරයි ද, අර්ථකථා පවත්වයි ද, පාළි කියවයි ද, අසන ලද ප්‍රශ්නය විසඳයි ද, කර්මස්ථාන ප්‍රකාශ කරයි ද, ධර්මය දෙසයි ද, ධර්මශ්‍රවණය කරවයි ද, මේ සියල්ල ම ‘ධර්ම අනුශාසනය කරයි’ නම් වේ. සියලු දානයන් අතර මේ ධර්ම දානය ම අග්‍ර ය යි ශ්‍රේෂ්ඨ ය යි දත යුතු ය. එය (මෙසේ) කියන ලදි.
සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බරසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්‍ඛයො සබ්බදුක්‍ඛං ජිනාති
(ධර්ම දානය සියලු දානයන් දිනයි (අභිභවා යයි) ධර්ම රසය සියලු රසයන් දිනයි. ධර්ම රතිය (කැමැත්ත) සියලු රතීන් දිනයි. තණ්හාව ක්ෂය කිරීම සියලු දුක් දිනයි.)
දෙවැනි සූත්‍රය යි.
3. අන්න සූත්‍ර වර්ණනාව
තෙැවන්නෙහි - අභිනන්‍දන්ති ප්‍රාර්ථනා කරත්. භජති පැමිණෙයි (සොයා යයි), චිත්තගෘහපති, සීවලී මහතෙරුන් ආදීන් මෙන් පසුපස ලුහුබැඳ යයි. තස්මා යම් හේතුවකින් මෙලොවත් පරලොවත් අන්න දායකයා (ආහාර දෙන තැනැත්තා) ලුහුබඳී ද එහෙයින්; ඉතිරිය කියන ලද පරිදි ම ය.
තෙවැනි සූත්‍රය යි.
4. එකමූල සූත්‍ර වර්ණනාව
සිව් වැන්නෙහි - එකමූලං අවිද්‍යාව තණ්හාවට මුල ය. තණ්හාව අවිද්‍යාවට (මුල ය.) මෙහි තණ්හාව අදහස් කරන ලදි. එය ද ශාස්වත උච්ඡෙද දෘෂ්ටිවලින් කැරකෙතියි ආවර්ත දෙකකි. එය ද රාග ආදී මළ තුනකින් යුක්ත වූයේ තිමලා. එහි මෝහය එක් ව උපත කෙළවර කොට ඇති (මළ වේ). රාග, ද්වේෂ උපනිශ්‍රය කෙළවර කොට ඇති (මළ වේ.) පඤ්චකාම ගුණය එහි ප්‍රාර්ථනාව යි. එහි එය පැතිරෙති යි පඤ්චපත්‍ථරා; එය ද නො පිරෙන අර්ථයෙන් සමුද්දො ආධ්‍යාත්මික බාහිර ආයතන දොළසෙහි එය කැරකෙති යි පරිවර්තනය වෙති යි ද්වාදසාවට්ටා ප්‍රතිෂ්ටාවක් නැති යන අර්ථයෙන් පාතාලො (ආගාධය) යි කියනු ලැබේ. එය ඒකමූල...... පාතාලය (අගාධය) අතරි එය තරණය කළේ ය. එතෙර වූයේ ය යන අර්ථ යි.
සිවු වැනි සූත්‍රය යි.
5. අනොම සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි අනොමනාමං සියලු ගුණයන්ගෙන් සමන්නාගත වූ බැවින් අවෙකල්ල (අවිකල) නම් ඇති, පිරිපුන් නම් ඇති යන අර්ථ යි. නිපුණත්‍ථදස්සිං භාග්‍යවතුන් වහන්සේ ඉතා සියුම් වූ ස්කන්ධ ආදිය දකිති යි ‘නිපුණත්‍ථදස්සිං’ (සියුම් අරුත් දන්නා) පඤ්ඤාදදං ප්‍රඥාව ලබා ගැනීම් වස් ප්‍රතිපදාව පැවසීම් වශයෙන් ප්‍රඥාව දෙන කාමාලයෙ අසත්තං පඤ්චකාම ගුණ තෘෂ්ණාවෙහි නො ඇළුණු කම්මානං භාග්‍යවතුන් වහන්සේ මහ බෝ මැඩ දී ම ආර්යමාර්ගයෙන් වැඩි සේක. දැන් නො යන සේක, අතීතය ගෙන මෙහි කියන ලදි. මහෙසිං මහත් වූ ශීලස්කන්ධ ආදීන් සොයා බලන්නා වූ පර්යේෂණ කරන්නාවූ යි.
පස් වැනි සූත්‍රය යි.
6. අච්ඡරා සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි අච්ඡරාගණසංඝුට්ඨං මේ දේව පුත්‍රයා බුදුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව වත් පිළිවෙත් පුරන්නේ පස් වස් කාලයෙහි පවාරණය කොට මාතෘකා දෙකක් ප්‍රගුණ කොට ලොකු කුඩා කටයුතු හදාරා සිත් කැමති කර්මස්ථානයක් උගෙන, සරළ දිවිපෙවෙතක් ගත කරන්නේ අරණට පිවිස භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මධ්‍යම යාමයක් නිදා ගැනීම පිණිස වූ කොටසැයි අනුදන්නා ලද ද එය පැමිණි කල්හි ද, “මම ප්‍රමාදයට බිය වෙමි” යි ඇඳ ඉවත් කොට රාත්‍රියෙහිත් දවාලෙහිත් නිරාහාර ව කර්මස්ථානය ම සිත්හි යොමු කළේ ය.