6. පජ්ජොත සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි : ‘පුට්ඨුං’ ප්‍රශ්න කිරීමට; ‘කථං ජානෙමු’ කෙසේ දැන ගනිමු ද? ‘දිවාරත්තිං’ දවල් ද රෑ ද ‘තත්‍ථ තත්‍ථ’ යම් යම් තැනක බබළන ලද ද ඒ ඒ තැන්වල ‘එසා ආභා’ ඒ බුද්ධාලෝකය; එය කුමක් ද? ඤාණාලෝකය හෝ වෙයි; ප්‍රීති ආලෝකය හෝ (වෙයි); ප්‍රසාද ආලෝකය හෝ (වෙයි); ධර්ම කථා ආලෝකය හෝ (වෙයි); මේ සියල්ල බුදුන් වහන්සේලාගේ පහළ වීමත් සමග උපන් ආලෝකය ‘බුද්ධාභා’ නමි. මෙය ‘අනුත්තරා’ සර්ව ශ්‍රේෂ්ඨ වූ අසදෘශ වූ යනු යි.
සය වැනි සූත්‍රය යි.
7. සර සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි : ‘කුතො සරා නිවත්තන්ති’ මේ සංසාර විල් (ප්‍රවාහයෝ) කොහි නවතිත් ද? කුමකට පැමිණ (ඉන් ඔබ්බට) නො පවතිත් ද? යනු අර්ථය යි. ‘න ගාධති’ නො පිහිටයි. ‘අතො’ නිර්වාණයෙන් අනතුරුව සෙස්ස කියන ලද අර්ථ පරිදි ය.
සත් වැනි සූත්‍රය යි.
8. මහද්ධන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි: නිධන්ගත වූ මුතුහර ආදි මහත් ධනය මොවුනට ඇතැයි මහද්ධනා. රන් රිදී බඳුන් ආදී මහාභෝග මොවුනට ඇතැයි මහාභෝගා ‘අඤ්ඤමඤ්ඤාභිගිජ්ඣන්ති’ ‘අඤ්ඤමඤ්ඤං’ ඔවුනොවුන් ‘අභිගිජ්ඣන්ති’ පතති, කැමති වෙති. ‘අනලඞ්කතා’ තෘප්තියට පත් නො වූවාහු, සෑහීමට පත් නො වූවාහු ‘උස්සුක්කජාතෙසු’ නානා විධ ක්‍රියා හටගත් කල්හි; නූපන් රූප ආදිය ඉපදවීම පිණිස, උපන් ඒවා පරිභෝග කිරීම පිණිස උත්සාහවන්ත වූ කල්හි; ‘භවසොතානුසාරිසු’ සසර නමැති සැඩ පහර අනුව ගමන් කරන කල්හි ‘අනුස්සුකා’ උත්සාහ රහිත වූ ‘අගාරං’ ගැහැණිය සමග ගෘහය ‘විරාජිය’ හැර දමා (නසා) සෙස්ස කියන ලද පරිදි ම ය.
අට වැනි සූත්‍රය යි.
9. චතුචක්ක සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි : ‘චතුචක්කං’ ඉරියව් සතර, ඉරියව් මෙහි ‘චක්‍ර’ යි අදහස් කරන ලදි. ‘නවද්වාරං’ තුවාල නවයෙන් යුත් ද්වාර නවය; ‘පුණ්ණං’ අශුචියෙන් පිරුණු; ‘ලොභෙන සංයුතං’ තණ්හාවෙන් සංයුක්ත වූ; ‘කථං යාත්‍රා භවිස්සති’ ඒ ආකාරයෙන් ශරීරයට කෙසේ නම් බැහැර වීමක් වන්නේ ද? කෙසේ නම් මුක්තියක් - නිදහස් වීමක් - සමතික්‍රමණයක් සිදු වන්නේ දැයි විමසයි. ‘නද්ධි’ බද්ධ වෛරය, මුල් අවස්ථාවේ ක්‍රෝධය පසු කාලයෙහි බද්ධ වෛරය යි. මෙසේ පවත්නා බලවත් ක්‍රෝධය යන අර්ථය යි. ‘වරත්තං’ “ඡෙත්‍වා නද්ධිං වරත්තඤ්ච සන්‍දාමං සහනුක්කමං” (තෝන් ලනුව සහිත බැම්ම - රැහැනත් - වරපටත් බිඳ දමා) යන ගාථාවෙහි තෘෂ්ණා වරපටට ‘දිට්ඨිසන්‍දාම’ යන නම ඇතිවිණි. මෙහි වනාහි පාළියෙහි නිර්දේශිත කෙළෙස් හැර අවශේෂ වරපට යයි දත යුතු. මෙලෙස ‘කෙළෙස් වරපට ද කපා’ යන අරුත යි. ‘ඉච්ඡා ලොභං’ එක ම ධර්මය (දේ) කැමති අර්ථයෙන් ‘ඉච්ඡා’ ලෙස ද ලෝභ වීම් අරුතින් ‘ලෝභ’ යි ද කියන ලදි. පළමුවෙන් දුර්වල ලෙස උපන්නේ හෝ ‘ඉච්ඡා’ වේ. පසුව බලවත් ලෙස උපන්නේ ‘ලෝභ’ වේ. නො ලද දේ පැතීම හෝ ‘ඉච්ඡා’ ය. ලැබුණු වස්තු කෙරෙහි (ඇත්තේ) ‘ලෝභ’ ය. ‘සමූලං තණ්හං’ අවිද්‍යාව මුල් කොට ගත් සමූලක (මුල් සහිත) තෘෂ්ණාව ‘අබ්බුය්හ’ අග්‍රමාර්ගයෙන් උපුටා දමා (ගලවා දමා) සෙස්ස පෙර කී පරිදි ම ය.
නව වැනි සූත්‍රය යි.
10. එණිජඞ්ඝ සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි : එණිජඞ්ඝං ඒණි මුවාගේ මෙන් මනා ලෙස වට වූ ජඞ්ඝා (කෙණ්ඩ) ඇති; කිසං (කෘශ) මහත් නො වූ; සම ශරීර ඇති; නැතහොත් අව්වේ මැළවුණු මල් ගඳ විලවුන්වලින් මැනවින් වඩන ලද සිරුර යනු ද අරුත් වේ. වීරං වීර්යවන්ත වූ; අප්පාහාරං - භෝජනයෙහි පමණ දැන වළඳන හෙයින් ස්වල්ප ආහාර ඇති; විකාල භෝජන ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් සීමිත ආහාර ඇති හෝ; අලොලුපං ප්‍රත්‍ය සතරෙහි (සිවු පසෙහි) ලොල් බව රහිත වූ; මෙය රස තෘෂ්ණාව ප්‍රතික්ෂේප කිරීම හෝ වේ; සීහං වෙකචරං නාගං තනි ව හැසිරෙන සිංහයෙකු මෙන්; තනි ව හැසිරෙන ඇතෙකු මෙන්; කණ්ඩායම් සමග වසන්නෝ ප්‍රමාදී වූවෝ ය. තනි ව හැසිරෙන්නෝ අප්‍රමාදී වූවෝ ය. එහෙයින් තනි ව හැසිරෙන්නෝ ම ගන්නා ලදහ. පවෙදිතා ප්‍රකාශ කරන ලදි; කියන ලදි; එත්‍ථ මේ නාම රූපයෙහි; පඤ්චකාම ගුණ වශයෙන් රූපය ගන්නා ලදි. මනසින් නාමය (ගන්නා ලදි). දෙකින් ම විනිර්මුක්ත නො වූ ධර්ම ගෙන පඤ්චස්කන්ධ ආදී වශයෙන් ද මෙහි ආධාර විභක්තිය යෙදිය යුතු ය.
දස වැනි සූත්‍රය යි.
තෙවැනි සත්ති වර්ගය යි.
4. සතුල්ලපකායික වර්ගය
1. සබ්භි සූත්‍ර වර්ණනාව
සතුල්ලපකායික වර්ගයේ පළමු වැන්නෙහි සතුල්ලපකායිකා සියයක් (සතං) ධර්මය සමාදන් වීම් වශයෙන් උසස් ලෙසින් කථා කොට (උල්ලපෙත්‍වා) ස්වර්ගයෙහි ඉපදිණැයි ‘සතුල්ලපකායික’ නම් වේ. එහි කථා වස්තුව මෙසේ ය: බොහෝ මුහුදු වෙළෙන්දෝ නැවෙන් මුහුදට බටහ. මුදා හළ ඊයක වේගයෙන් යන ඔවුන්ගේ නැවෙහි මහත් විවරයක් සත් වැනි දවස මහ සමුදුර මැද දී හට ගැනිණි. මහ දිය රැලි නැඟී නැව ජලයෙන් පිරෙයි. ගිලෙන නැවෙහි මහජනයා තම තමන්ගේ දෙවිවරුන්ගේ නම් ගෙන යාඥා කරමින් වැළපුනහ. ඔවුන් අතර එක් පුරුෂයෙක් මේ ආකාරයේ බියක දී ප්‍රතිෂ්ඨාවක් ඇත්තේ නො වේ දැයි ආවර්ජනය කරන්නේ තමාගේ පිරිසිදු සරණයත් ශීලයත් දැක යෝගියෙකු මෙන් පලක් බැඳ හිඳ ගත්තේ ය. අන් අය අභයට (බිය නො වීමට) කාරණය කුමක් දැයි ඔහුගෙන් විමසූහ. හේ ඔවුනට (මෙසේ) පැවසී ය. “පින්වත්නි, මම නැවට නඟින දවසේ භික්ෂුසංඝයාට දනක් දී සරණයත් ශීලයත් ගතිමි. එහෙයින් මට භයක් නැත.” “උතුමනි, ඒවා අන්‍යයන්ටත් සුදුසු වේද?” “එසේ ය සුදුසු වේ.” “එසේ නම් අපටත් දෙනු මැනවි.” හේ ඔවුන් සියය සියය ලෙස කණ්ඩායම් හතකට වෙන් කළේ ය. ඉන් පසු ව පඤ්චශීලය දුන්නේ ය. ඔවුන් අතට පළමු කෙණ්ඩා සියය ගොප් ඇටය දක්වා වූ ජලයෙහි සිට (පන්සිල්) ගත්හ. දෙවැන්න (දෙවැනි සියය) දණ හිස තෙක්, තෙවැන්න ඉඟටිය තෙක්, සිවු වැන්න නාභිය තෙක්, පස් වැන්න පපු පෙදෙස තෙක්, සය වැන්න ගෙළ තෙක්, සත් වැන්න මුවෙන් ලුණු දිය පෙවෙන තෙක් වූ ජලයෙහි සිට සමාදන් වූහ. ඔහු ඔවුන් හට සිල් සමාදන් කරවා ඔබලාට අන් සරණක් නැත. ශීලය ම ආවර්ජනා කරවු යි හඬ ගෑවේ ය. ඒ සත් සියය ම එහි කාලක්‍රියා කොට, (මරණ) ආසන්න කාලයෙහි ගන්නා ලද ශීලය හේතුකොට ගෙන තව්තිසා දෙව්ලොවෙහි උපන්නාහු ය. ඔවුනට සමූහ වශයෙන් ම විමාන පහළ විය. සියල්ල මැද ආචාර්යවරයාට යොදුන් සියයක් වූ ස්වර්ණ විමානය පහළ විය. අවශේෂ ඒවා ඊට පරිවාර වී සියල්ලට පහතින් දොළොස් යොදුනක් වී ය. ඔවුහු (එහි) පහළ වූ මොහොතේ ම කර්මය ආවර්ජනය කරන්නාහු ආචාර්යවරයා නිසා සම්පත් ලැබීම දැක ‘යමු, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අපගේ ආචාර්යවරයාගේ ගුණ පවසන්නෙමු” යි මැදියම් රැය පසුවත් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ඔවුනතුරින් දේවතාවන් හය දෙනෙක් ආචාර්යවරයාගේ ගුණ කියනු පිණිස එක් එක් ගාථාවක් බැගින් පැවසූහ.