1. සත්තී සූත්‍ර වර්ණනාව
සත්ති වර්ගයේ පළමු වැන්නේ : ‘සත්‍තියා’ මෙය දේශනා ශීර්ෂය යි. තනි පැත්ත මුවහත ඇති සැතකින් (ආයුධයකින්) යන අර්ථ යි. ‘ඔමට්ඨො’ පහර දෙන ලද්දේ; ප්‍රහාර හතරකි: ‘ඔමට්ඨො’ උම්මට්ඨො ‘මට්ඨො’ ‘විමට්ඨො’ යනුවෙනි. එහි ඉහළ සිට පහළට දෙන ලද ප්‍රහාරය ‘ඕමට්ඨ’ නමි. පහත සිට උඩු අතට දෙන ලද ප්‍රහාරය ‘උම්මට්ඨ’ නමි. යතුරු සිදුර මෙන් පසාරු කරගෙන ගිය (ප්‍රහාරය) ‘මට්ඨ’ නමි. සෙසු සියල්ල ම ‘විමට්ඨ’ නමි. මෙතැන්හි ‘ඕමට්ඨ’ (ප්‍රහාරය) ගන්නා ලදි. එය සැමතින් ම දරුණු ය. උගුලා දැමීමට අපහසු උල ඇත්තේ ය. පිළියම් කිරීම අපහසු ය. ඇතුළතින් දෝෂ ඇත්තේ ය. ඇතුළත සැරව හා ලේ ය. සැරව හා ලේ පිට නො වී වණ මුඛය (තුවාලය) වසාගෙන සිටියි. සැරව හා ලේ ඉවත් කිරීමට කැමති අය විසින් ඇඳෙහි බැඳ හිස පහතට සිටින සේ තැබිය යුත්තේ ය. මරණය හෝ මරණ මාත්‍ර වූ හෝ දුකක් පැමිණෙයි. ‘පරිබ්බජෙ’ හැසිරෙන්නේ ය.
මේ ගාථාවෙන් කුමක් කියයිද? යම් සේ ආයුධයකින් උඩු අතට පහර දෙන ලද පුරුෂයකු උල් ගොඩ නිසා වූ තුවාලයට පිළියම් කරනු පිණිස වීර්යය අරඹයි. උත්සාහ දරයි. දැඩි ප්‍රයත්නයක් දරයි. යම් සේ හිස ගිනි ගන්නා කල්හි හිස ගිනිගත් තැනැත්තේ එය නිවීම පිණිස වීර්යය අරඹයි ද උත්සාහ දරයි ද දැඩි ප්‍රයත්නයක් දරයි ද භාග්‍යවතුන් වහන්ස, එසේ ම භික්‍ෂුව ද කාමරාගය දුරු කොට සිහියෙන් යුක්ත වී අප්‍රමාදී වී දිවි ගෙවතැයි කියයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (මෙසේ) සිතූ සේක: මේ දේවතාවිය විසින් උපමාව මෙතෙක් දැඩි කොට ගෙනෙන ලදි. අර්ථය සීමා කොට ගෙන සිටී. යළි යළිත් කථා කරන්නී වුව ද ඇය කාමරාගයේ විෂ්කම්භන ප්‍රහාණය ම පවසන්නී ය. යම් තාක් කාමරාගය (අර්හත්) මාර්ගයෙන් වැසුම් නො හරී ද ඒ තාක් ලුහුබඳින ලද්දේ වේ. මෙසේ ඒ උපමාව ම ගෙන ප්‍රථම මාර්ගය වශයෙන් දේශනාව හරවා දක්වන සේක් දෙවැනි ගාථාව වදාළ සේක. එහි අර්ථය මුලින් දැක්වූ ආකාරයෙන් ම දත යුතු ය.
ප්‍රථම සූත්‍රය යි.
2. ඵුසති සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි : ‘නාඵුසන්තං ඵුසති’ විපාකය, කර්මය ස්පර්ශ නො කරන්නහු ස්පර්ශ නො කරයි. කර්මය ම හෝ ස්පර්ශ නො කරන්නාහු කර්මය ස්පර්ශ නො කරයි. නො කරන්නෙක් කර්ම නො කරයි. ‘ඵුසන්තඤ්ච තතො ඵුසෙ’ විපාකය කර්මය ස්පර්ශ කරන්නහු ස්පර්ශ කරන්නේ ය. කර්මය ම හෝ ස්පර්ශ කරයි. කරන්නා කර්මය කරයි. එහෙයින් ස්පර්ශ කරන්නහු ස්පර්ශ කරයි. ‘අප්පදුට්ඨප්පදොසිනං’ යම් සේ ස්පර්ශ නො කරන්නහු විපාකය ස්පර්ශ නො කරයි ද ස්පර්ශ කරන්නහු විපාකය ස්පර්ශ කරයි ද, මෙය කර්ම විපාකවල ධර්මතාවකි. එහෙයින් ‘යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස’ (යමෙක් නිදොස් වූ නිකෙළෙස් වූ පුද්ගලයකුට ද්වේෂ කරයි ද) යි (කියන ලදි). එසේ පවසන ලද නිදොස් පුද්ගලයනට ද්වේෂ කරන පුද්ගලයා කර්මය ස්පර්ශ කරන ඒ පුද්ගලයා ම කර්මය ස්පර්ශ කරයි; විපාකය හෝ ස්පර්ශ කරයි. හේ අනෙක් තැනැත්තාට හිංසා කිරීමට හැකි වූයේ හෝ නො වූයේ වුව ද, මෙයින් තමා සතර අපායේ තබන්නේ වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘තමෙව බාලං පච්චෙති පාපං සුඛුමො රජො පටිවාතංව ඛිත්තො’ (ඒ පාපය උඩු සුළඟට දැමූ සියුම් දූවිල්ලක් මෙන් ඒ බාලයා ම පැසවයි) යනුවෙන් වදාළ සේක.
දෙවැනි සූත්‍රය යි.
3. ජටා සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි : ‘අන්තො ජටා’ යන ගාථාවෙහි අර්ථය මෙසේ ය: ‘ජටා’ යනු තෘෂ්ණාවට (ජාලිනී = තෘෂ්ණාව) සමාන වචනයකි. එය රූපාදී ආරම්මණවල ඉහළ පහළ වශයෙන් යළි යළිත් උපදවන බැවින් එකට කර මසන (ගොතන) ලද අර්ථයෙන් - උණ පඳුරු ආදියෙහි අතුවලින් ගෙතුණු දැලක් මෙන් යි = ජටා. ඒ (තෘෂ්ණා) තොමෝ ස්වකීය පරිෂ්කාරවල, අන්‍ය පරිෂ්කාරවල, ස්වකීය ආත්මභාවවල, අන්‍ය ආත්ම භාවවල, අධ්‍යාත්මික ආයතනවල, බාහිර ආයතනවල උපදවන බැවින් ‘අන්තො ජටා බහි ජටා’ යි කියනු ලැබේ. ඇය (තණ්හාව) විසින් උපදවනු ලබන දැලෙන් ප්‍රජාව වෙළී-පැටලී සිටියි. යම් සේ උණ ගස්වල අතු ඉති දැලෙන් උණ ගස් ආදිය (පැටලී ඇත්තා සේ) ඒ තෘෂ්ණා දැලෙන් මේ සියලු ම සත්ත්ව නිකාය සංඛ්‍යාත ප්‍රජාව ද පැටලී ඇත්තේ ය, වෙළන ලද්දේ ය, ගොතන ලද්දේ ය යන අර්ථ යි. යම් හෙයකින් මෙසේ වෙළී ඇත්තේ ද, ‘තං තං ගොතම පුච්ඡාමි’ එහෙයින් එය විමසමි. ‘ගොතම’ භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍ර නාමයෙන් ආමන්ත්‍රණය කරයි. ‘කො ඉමං විජටයෙ ජටං’ මෙසේ වෙළාගෙන සිටින තෙධාතුක වෙළුම - අවුල - කවරෙක් ලිහයි ද? නිරවුල් කිරීමට කවරෙක් සමත් වේ දැ යි විමසයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එහි අර්ථය පහදා දෙන සේක් ‘සීලෙ පතිට්ඨාය’ ආදිය වදාළ සේක. එහි ‘සීලෙ පතිට්ඨාය’ යනු චතුපාරිශුද්ධ ශීලයෙහි පිහිටා; මෙහි ද භාග්‍යවතුන් වහන්සේ දැල (අවුල) ලිහීම ගැන ප්‍රශ්න කරනු ලැබූ සේක් ශීලය ආරම්භ කරමින් එකක් අසන ලදුව වෙනෙකක් පවසතැයි නො දත යුතු ය. අවුල ලිහීමෙහි පදනම් අර්ථයෙන් ම ‘ශීලය’ වදාරන ලදි.
‘නරො’ සත්ත්වයා, ‘සපඤ්ඤො’ කර්මජ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාවෙන් ප්‍රඥාවන්ත වූ ‘චිත්තං පඤ්ඤඤ්ච භාවයං’ සමාධියත් විපස්සනාවත් වඩන්නේ; චිත්ත මාතෘකාවෙන් මෙහි අෂ්ට සමාපත්තිය දක්වන ලදි. ‘පඤ්ඤා’ නාමයෙන් ‘විදර්ශනාව’ (දක්වන ලදි). ‘ආතාපි’ වීර්යවන්ත වූ, වීර්යය වූ කලී කෙලෙස් තවන - දවන අර්ථයෙන් ‘ආතාපි’ යි කියනු ලැබේ. එය ඔහුට ඇතැයි ‘ආතාපි’ වේ. ‘නිපකො’ නෙපක්ක යනු ප්‍රඥාව ය; එයින් යුක්ත වූයේ ය යන අරුත යි. මේ පදයෙන් පාරිහාරිය ප්‍රඥාව පෙන්වා ලයි. ‘පාරිහාරිය ප්‍රඥාව’ නම්; මේ උද්දේසයට (බණ ඉගෙනීමට) සුදුසු කාලය යි. මේ ප්‍රශ්න විචාරීමට සුදුසු කාලය යි ආදී ක්‍රමයට සැම තන්හි කටයුතු කිරීමට සැකසුණු ආරක්ෂා කළ යුතු ප්‍රඥාව යි. මේ ප්‍රශ්න විසඳුමෙහි තෙවරක් ‘ප්‍රඥාව’ සඳහන් වූයේ වෙයි. එහි ප්‍රථමය ජාති පඤ්ඤා ය; දෙවැන්න විපස්සනා පඤ්ඤා ය; තෙවැන්න සබ්බකිච්ච පරිනායිකා පාරිහාරිය පඤ්ඤා ය.