7. අප්පටිවිදිත සූත්ර වර්ණනාව
සත් වැන්නේ: ‘ධම්මා’ සතර සත්ය ධර්ම ‘අප්පටිවිදිතා’ ඤාණයෙන් අවබෝධ නො කරන ලද්දේ, ‘පරවාදෙසු’ දෙසැටක් වූ දෘෂ්ටිගත වාදවල; ඒවා මෙයින් බැහැර ‘පර’ (අන්ය) තීර්ථකයන්ගේ ‘වාද’ බැවින් ‘පරවාද” නමි. ‘නීයරෙ’ තමන්ගේ ධර්මතා නිසා ‘ගච්ඡන්ති’ යති, අන්යයන්ගේ ධර්මතා නිසා ‘නීයන්ති’ ගෙන යනු ලබති. මෙහි තමන් ම ශාස්වත ආදී (දෘෂ්ටි) ගන්නාහු ‘ගච්ඡන්ති’ (යති) නමි; අනුන්ගේ වචන හේතුවෙන් ඒවා ගන්නාහු ‘නීයන්ති’ (ගෙන යනු ලබති) නමි. ‘කාලො තෙසං පබුජ්ඣිතුං’ ඒ ඒ පුද්ගලයන්ගේ පිබිදීමට මේ කාලය යි. ලෝකයෙහි බුදුන් වහන්සේ උපන් සේක, ධර්මය දේශනා කරනු ලැබේ. සංඝයා වහන්සේගේ සුපටිපන්න ප්රතිපදාව සොඳුරු ය. මේ මහජනයා සංසාර වට්ටයෙහි නිදි ගත්තාහු නො පුබුදිත් යි දේවතාවා පැවසී ය. ‘සම්බුද්ධා’, සම්යක් හේතුවෙන් කාරණයෙන් බුද්ධ වූ; බුදුවරු සිවු දෙනෙකි. සර්වඥ බුද්ධ, ප්රත්යෙක බුද්ධ, චතුසත්ය බුද්ධ ශ්රැත බුද්ධ යනුවෙනි. එහි සමතිස් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ සර්වඥ බුද්ධ නමි. කල්ප ශත සහස්රාධික අසංඛ්ය දෙකක් පාරමී පුරා ස්වයංභූ තත්ත්වයට පත්වූයේ ප්රත්යෙක බුද්ධ නමි. ක්ෂීණාශ්රව වූ අවශේෂ අය චතුසත්ය බුද්ධ නමි. බහුශ්රැත වූවෝ ශ්රැත බුද්ධ නමි. මෙහි එන අර්ථයෙහි මුල් තිදෙන ම ඇතුළත් වෙත්. ‘සම්මදඤ්ඤාය’ සම්යක් හේතුවෙන් කාරණයෙන් දැන, ‘චරන්ති විසමෙ සමං’ විෂම මිනිස් සමාජයෙහි හෝ විෂම සත්ත්ව ලෝකයෙහි හෝ විෂම කෙලෙස් හටගත් කල්හි සම ව හැසිරෙත් යනු යි.
සත් වැනි සූත්රය යි.
8. සුසම්මුට්ඨ සූත්ර වර්ණනාව
අට වැන්නෙහි ‘සුසම්මුට්ඨා’ ප්රඥාවෙන් අවබෝධ කොට නො ගත් බැවින් ම බෙහෙවින් නැසුනාහු වෙත්. යම් සේ නෙත් දෙකක් සී සා එකක් වපුරා බොහෝ ධාන්ය ලැබූවහුට නො වැපිරූ කෙත හේතුවෙන් නො ලත් දේ අරභයා ‘මගේ බොහෝ ධාන්ය නැසිනැ යි පවසත් ද, නො ලත් දේ ම නැසිනැයි කියත් ද එසේ ම මෙහි ද අවබෝධ නො කොට ගත් දේ ම බෙහෙවින් නැසුනා නමි. ‘අසම්මුට්ඨා’ යනු ප්රඥාවෙන් අවබෝධ කොට ගත් හෙයින් ම නො නැසුනේ වෙයි. සෙස්ස මුලින් කී පරිදි ම ය.
අට වැනි සූත්රය යි.
9. නමානකාම සූත්ර වර්ණනාව
නව වැන්නෙහි ‘මානකාමස්ස’ මානය කැමති වන්නහුට, අපේක්ෂා කරන්නහුට, ‘දමො’ ඒ ආකාරයේ පුද්ගලයකුට සමාධි පාක්ෂික වූ දමයක් (සිතේ සන්සුන් පැවැත්මක්) නැතැයි කියයි. ‘සච්චෙන දන්තො දමසා උපෙතො වෙදන්තගූ වුසිතබ්රහ්මචරියො’ (යමෙක් (පරමාර්ථ) සත්යයෙන් දැමුනේ ද, ඉන්ද්රිය දමනයෙන් යුක්ත ද, සතර මඟ (නම් වූ) වේදයෙහි පරතෙරට ගියේ ද, වැස නිම වූ බඹසර ඇත්තේ ද) යන මෙහි ඉන්ද්රිය සංවරය ‘දම’ යි කියන ලදී. ‘යදි සච්චා දමා චාගා ඛන්ත්යා භිය්යො න විජ්ජති’ (සත්යයටත් ඉන්ද්රිය දමනයටත් ත්යාගයටත් ක්ෂාන්තියටත් අධික වූ (උසස්) යමක් නොමැත්තේ නම්) යන මෙහි ප්රඥාව යි. ‘දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන අත්ථි පුඤ්ඤං අත්ථි පුඤ්ඤස්ස ආගමො’ (දානයෙන්, ඉන්ද්රිය දමනයෙන්, සංයමයෙන්, සත්ය වචනයෙන්, පිනක් ඇත; පිනේ පැමිණීමක් ඇත) යන මෙහි උපෝසථ කර්මය යි. ‘සක්ඛිස්සසි ඛො ත්වං පුණ්ණ ඉමිනා දමුපසමෙන සමන්නාගතො සුනාපරන්තස්මිං ජනපදෙ විහරිතුං’ (පුණ්ණයෙනි, මේ දමනයෙන්, උපසමයෙන් යුක්ත වූ ඔබ සුනාපරන්තයෙහි විසීමට සමත් වන්නෙහි ය) යන මෙහි අධිවාසන ක්ෂාන්තිය යි. මේ සූත්රයෙහි ‘දමො’ යනු සමාධි පාක්ෂික ධර්මයන්ට නමකි. එහෙයින් ම කීය: ‘න මොනමත්ථි අසමාහිතස්ස’ එහි ‘මොනං’ සිවු මඟ නුවණ ය. එය ‘මුනාති’ (දැනගනී) යි ‘මොන’ (ප්රඥාව) වේ. චතුස්සත්ය ධර්මය දනී යන අර්ථ යි. ‘මච්චුධෙය්යස්ස’ තෙභූමක වට්ටයෙහි (සසර පැවැත්ම) එහි මාරයාගේ ප්රතිෂ්ඨාව වන හෙයින් ‘මච්චුධෙය්ය’ යි කියනු ලැබේ. ‘පාරං’ එහි පරතෙරට නිවනට, ‘තරෙය්ය’ ප්රතිවේධ කරන්නේ; පැමිණෙන්නේ හෝ වේ. මේ කියන ලද්දේ: අරණ්යයෙහි වාසය කරන එක් ප්රමාදී පුද්ගලයෙක් වූයේ සසරෙහි පරතෙර තරණය නො කරන්නේ ය, ප්රතිවේධ නො කරන්නේ ය, නො පැමිණෙන්නේ ය යනු යි.
‘මානං පහාය’ අර්හත් මාර්ගයෙන් නව විධ වූ මාන අත්හැර. ‘සුසමාහිතත්තො’ උපචාර, අර්පණා සමාධිවලින් මැනවින් සමාධිගත සිත් ඇත්තේ, ‘සුචෙතසො’ ඥාන සම්ප්රයුක්ත බැවින් සුන්දර සිත් ඇත්තේ, ඥාන විප්රයුක්ත චිත්තයෙන් ‘සුචෙතසො’ යි නො කියනු ලැබේ. එහෙයින් ඥාන සම්ප්රයුක්ත බැවින් මනා සිත් ඇත්තේ වී යනු අර්ථ යි. ‘සබ්බධි විප්පමුත්තො’ සියලු ස්කන්ධ, ආයතන ආදියෙන් මිදී; තරණය කරන්නේ ය යන මෙහි තෙභූමක වට්ටය සමතික්රමණය කරමින් නිර්වාණය ප්රතිවේධ කරමින් තරණය කරති යි ‘ප්රතිවේධ තරණය’ නමැයි කියන ලදී. මෙසේ මේ ගාථාවෙන් ශික්ෂා තුනක් පවසන ලද්දේ වෙයි. කෙසේ ද? මාන නම් වූ මෙය ශීල භේදන (සිල් බිදීම) වේ. එහෙයින්, ‘මානං පහාය’ යන මෙයින් අධිශීල ශික්ෂාව කියන ලදී. ‘සුසමාහිතත්තො’ යන මෙයින් අධිචිත ශික්ෂාව ය. ‘සුචෙතසො’ යන මෙයින් සිතෙන් ප්රඥාව දක්වන ලදී. එහෙයින් මෙයින් අධිප්රඥා ශික්ෂාව කියන ලදී. අධිශීලය, ශීලය ඇති කල්හි වේ. අධිචිත්තය සිත ඇති කල්හි ය. අධිප්රඥාව ප්රඥාව ඇති කල්හි ය. එහෙයින් මෙහි ශීල නම් පන්සිල් ද දශ සිල් ද වේ. ප්රාතිමෝක්ෂ සංවර ශීලය අධිශීලය නමැයි දත යුතු ය. අෂ්ටසමාපත්තිය චිත්තය වේ. විදර්ශනා පාදක ධ්යානය අධිචිත්ත වේ. කර්මයාගේ කෘත ඥානය ප්රඥාව ය. විපස්සනාව අධි ප්රඥාව වේ. බුද්ධෝත්පාදයක් නො වූ කල්හි ද පවතීනුයි පංච ශීලය, දශ ශීලය ශීල ම වේ. ප්රාතිමෝක්ෂ සංවර ශීලය බුද්ධෝත්පාද කාලයෙහි ම පවතීනුයි අධි ශීල වෙයි. චිත්ත (හා) ප්රඥාවෙහි ද මේ න්යය ම ය. තව ද නිවන පතන්නකු විසින් සමාදන් වූ පංච ශීලයත් දශ ශීලයත් අධි ශීලය ම ය. සපැමිණි අෂ්ට සමාපත්තිය ද අධි චිත්තය ම වේ. සියලු ම ලෞකික ශීල ශීල ම ය. ලෝක්කෝත්තර (ශීලය) අධි ශීලය යි. චිත්ත - ප්රඥා දෙක්හි ද මේ න්යාය ම ය. මෙසේ මේ ගාථාවෙහි සමෝධානයෙන් (එකට සම්බන්ධ කිරීමෙන්) ගෙන ත්රිශික්ෂාවත් සකල ශාසනයත් ප්රකාශිත වෙයි යනු යි.