5. කතිජින්ද සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි ‘කති ඡින්දෙ’ සිඳින්නේ, කොපමණ සිඳින්නේ ද? ඉතිරි පදවලත් මේ ක්රමය ම ය. මෙහිත් ‘ඡින්දෙ ජහෙ’ (සිඳියි, හැර දමයි) යන්නෙහිත් අර්ථ වශයෙන් එක ම ය. ගාථාවෙහි මටසිලුටු බව (රකිනු) පිණිස මේ දේවතාවා ශබ්ද පුනරුක්තිය මඟ හරිමින් මෙසේ කීවා ය. ‘කති සඞ්ගාතිගො’ කෙතෙක් සංග (ඇලීම්) ඉක්මවා ගියේ ද, අතික්රමණය කළේ ද යන අර්ථය යි. ‘සඞ්කාතිගො’ යනු ද පාඨයකි. අර්ථය මෙය ම ය. ‘පඤ්ච ඡින්දෙ’ යනු සිඳලන්නේ, ඕරම්භාගිය සංයෝජන පහ සිඳලන්නේ ය. ‘පඤ්ච ජහෙ’ හැර දමන්නේ, උද්ධම්භාගිය සංයෝජන පහ දුරු කරන්නේ ය. මෙහි ද ‘ජින්දන’, ‘ජහන’ අර්ථ වශයෙන් එක ම ය. භාග්යවතුන් වහන්සේ දේවතාවාගේ ආරෝපිත වූ වචන අනුරූපයෙන් ම මෙසේ වදාළ සේක.
එසේ නැතහොත් - පාදවල බැඳි මළ පුඩු සහිත පක්ෂියකු මෙන් ඕරම්භාගිය සංයෝජන පහ යටින් අදින්නාක් මෙන් පවතී. ඒවා අනාගාමි මාර්ගයෙන් සිඳ ලන්නේ ය යි පවසයි. දෑතින් අල්ලා ගනු ලැබූ වෘක්ෂ ශාඛාවක් (අත්තක්) මෙන් උද්ධම්භාගිය සංයෝජන පහ උඩු අතට අදින අයුරින් පවතී. ඒවා අර්හත් මාර්ගයෙන් දුරු කරන්නේ ය යි කියයි. ‘පඤ්ච චුත්තරි භාවයෙ’ මේ සංයෝජනයන් සිඳලීම් වස් හා ප්රහාණය කිරීම් වස් වැඩි, අතිරේක, විශේෂ වූවක් වඩන්නේ, ශ්රද්ධාව පඤ්චම කොට ඇති ඉන්ද්රිය වඩන්නේ ය යන අරුත යි. ‘පඤ්ච සඞ්ගාතිගො’ යනු රාග සංග, ද්වේශ සංග, මෝහ සංග, මාන සංග, දිට්ඨි සංග යන මේ ඇලීම් පහ ඉක්ම වූයේ ‘ඔඝතිණ්ණොති වුච්චති’ ඕඝ සතර තරණය කළේ ය යි කියයි. මේ ගාථාවෙන් ලෞකික, ලෝකෝත්තර පඤ්ච ඉන්ද්රිය සඳහන් කරන ලදී.
පස් වැනි සුත්රය යි.
6. ජාගර සූත්ර වර්ණනාව
සය වැන්නේ ‘ජාගරතං’ යනු නිදි වරන්නන්ගේ, ‘පඤ්ච ජාගරතං’ මේ ප්රශ්න ගාථාවෙහි ශ්රද්ධා ආදී පඤ්ච ඉන්ද්රියන් නිදිවරන කල්හි පඤ්ච නීවරණයෝ නිදිගත්තාහු නම් වෙති. මක් නිසා ද යත්, යම් සේ ඒ හා බැඳි පුද්ගලයා කොතැනක හෝ හිඳගත්තේ හෝ සිටියේ හෝ අරුණ නැඟී ආයේ වුව ද අකුශල සහිත ප්රමාදය හේතුවෙන් ‘නිදිගත්තේ’ නම් වන්නේ ය. එසේ ම පඤ්ච නීවරණ නිදිගත් විට ඉන්ද්රිය පස නිදිවරා සිටින්නේ නමි. මක් නිසා ද යත්, (ඉන්ද්රිය පස) එය සහිත පුද්ගලයා කොතැනක හෝ වැද නිදන්නේ වුව ද කුශලය හා එක් වුණු අප්රමාදී බව හේතුවෙන් නිදිවරා සිටින්නේ නමි. නීවරණ පසෙන් ම කෙළෙස් රජස් ඇදගනියි, ගනියි, ස්පර්ශ කරයි; කාමච්ඡන්ද ආදී පළමු ඒවා පශ්චිමයට (පසුව එන දේට) ප්රත්යය වන්නේ ය, ඉන්ද්රිය පසින් පිරිසිදු බවට පත්වෙයි යන අර්ථය යි දත යුතු ය. මෙහි ද ලෞකික, ලෝකෝත්තර ඉන්ද්රිය පහ සඳහන් කරන ලදී.
සය වැනි සූත්රය යි.
7. අප්පටිවිදිත සූත්ර වර්ණනාව
සත් වැන්නේ: ‘ධම්මා’ සතර සත්ය ධර්ම ‘අප්පටිවිදිතා’ ඤාණයෙන් අවබෝධ නො කරන ලද්දේ, ‘පරවාදෙසු’ දෙසැටක් වූ දෘෂ්ටිගත වාදවල; ඒවා මෙයින් බැහැර ‘පර’ (අන්ය) තීර්ථකයන්ගේ ‘වාද’ බැවින් ‘පරවාද” නමි. ‘නීයරෙ’ තමන්ගේ ධර්මතා නිසා ‘ගච්ඡන්ති’ යති, අන්යයන්ගේ ධර්මතා නිසා ‘නීයන්ති’ ගෙන යනු ලබති. මෙහි තමන් ම ශාස්වත ආදී (දෘෂ්ටි) ගන්නාහු ‘ගච්ඡන්ති’ (යති) නමි; අනුන්ගේ වචන හේතුවෙන් ඒවා ගන්නාහු ‘නීයන්ති’ (ගෙන යනු ලබති) නමි. ‘කාලො තෙසං පබුජ්ඣිතුං’ ඒ ඒ පුද්ගලයන්ගේ පිබිදීමට මේ කාලය යි. ලෝකයෙහි බුදුන් වහන්සේ උපන් සේක, ධර්මය දේශනා කරනු ලැබේ. සංඝයා වහන්සේගේ සුපටිපන්න ප්රතිපදාව සොඳුරු ය. මේ මහජනයා සංසාර වට්ටයෙහි නිදි ගත්තාහු නො පුබුදිත් යි දේවතාවා පැවසී ය. ‘සම්බුද්ධා’, සම්යක් හේතුවෙන් කාරණයෙන් බුද්ධ වූ; බුදුවරු සිවු දෙනෙකි. සර්වඥ බුද්ධ, ප්රත්යෙක බුද්ධ, චතුසත්ය බුද්ධ ශ්රැත බුද්ධ යනුවෙනි. එහි සමතිස් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ සර්වඥ බුද්ධ නමි. කල්ප ශත සහස්රාධික අසංඛ්ය දෙකක් පාරමී පුරා ස්වයංභූ තත්ත්වයට පත්වූයේ ප්රත්යෙක බුද්ධ නමි. ක්ෂීණාශ්රව වූ අවශේෂ අය චතුසත්ය බුද්ධ නමි. බහුශ්රැත වූවෝ ශ්රැත බුද්ධ නමි. මෙහි එන අර්ථයෙහි මුල් තිදෙන ම ඇතුළත් වෙත්. ‘සම්මදඤ්ඤාය’ සම්යක් හේතුවෙන් කාරණයෙන් දැන, ‘චරන්ති විසමෙ සමං’ විෂම මිනිස් සමාජයෙහි හෝ විෂම සත්ත්ව ලෝකයෙහි හෝ විෂම කෙලෙස් හටගත් කල්හි සම ව හැසිරෙත් යනු යි.