නගරවින්දෙය්‍ය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් මෙසේ නගරවින්‍දෙය්‍ය සූත්‍රය අසන ලදි. එහි සමවිසමං චරන්තීති කලකින් සමව ද කලකින් විසමව ද හැසිරෙත්. සමචරියම්පි හෙතන්ති මෙය සමාන චරියාව ද වෙයි.
කෙ ආකාරාති කුමන කාරණා ද? කෙ අන්‍වයාති කුමන බුද්ධීහු ද? නත්‍ථි ඛො පන තත්‍ථාති කුමක්හෙයින් කීයේ ද? කැළයෙහි නිල්තණ සපු වනාදීන්ගේ වශයෙන් ඉතා මනෝඥ රූපාදී පංච කාමගුණයන් ඇත්තේ නොවේ ද? නැත්තේ නොවෙයි. මෙය වනාහි වන ලැහැබක් සඳහා නොකියන ලදි. ස්ත්‍රී රූපාදිය සඳහා මෙය කියන ලදි. එය පුරුෂයාගේ සිත හාත්පසින් වැළඳගෙන ගෙන සිටිත්. යම්හෙයකින් කීය. මහණෙනි, මම මෙසේ පුරුෂයාගේ සිත හාත්පසින් ගෙන සිටින යම් ස්ත්‍රී රූපයක් වේ ද එබඳු වෙනත් එකම රූපයක්වත් නොදකිමි. මහණෙනි, මෙසේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් ගෙන සිටියි. යනුවෙන් විස්තර කළ යුතුයි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.
නගරවින්‍දෙය්‍ය සූත්‍ර වර්ණනාව නිමි.
පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය මෙසේ අසන ලදි. එහි පටිසල්ලාණාති ඵල සමවතින්
විප්පසන්නානීති අවකාශ වශයෙන් මෙය කියන ලදි. ඵල සමවතින් නැගිටින ලද්දහුගේ පංච ප්‍රාසාදයන්ගෙන් පිහිටන අවකාශය ප්‍රසන්න වෙයි. ඡවි වර්ණය පිරිසිදුය. එහෙයින් මෙසේ කීය. සුඤ්ඤත විහාරෙනාති ශුන්‍යතා ඵල සමාපත්ති විහරණයෙන්. මහාපුරිස විහාරොති බුදු පසේ බුදු මහා ශ්‍රාවක මහා පුරුෂයන්ගේ විහරණයයි. යෙනචාහං මග්ගෙනාති යනාදියෙහි විහාරයේ පටන් ගමේ ඉන්ද්‍රඛීලයට යම්තාක් ද මේ පිවිසෙන මාර්ගය නමි. ඇතුළු ගමට පිවිස පිළිවෙළින් හැසිර නුවර දොරින් නික්මීම යම්තාක් ද මේ චරිත ප්‍රදේශය නමි. පිටත ඉන්ද්‍රඛීලයේ පටන් විහාරය යම්තාක් ද මේ පටික්කන්ත මාර්ගය නමි. පටිඝං වාපි චෙතසොති සිතෙහි ඇනෙන කෙලෙස් ඉපදීමයි. කිසිවක් ඇත්තේ ද නැත්තේ ද? අහොරත්තානුසික්ඛිනාති දහවල් ද රාත්‍රියෙහි ද හික්මෙන්නා විසින්.
පහීනා නුඛො මෙ පඤ්චකාමගුණාති යනාදියෙහි එක භික්‍ෂුවකගේ ප්‍රත්‍යවේක්‍ෂාව නොයෙක් ආකාරයයි. නොයෙක් භික්‍ෂූන්ගේ ප්‍රත්‍යවේක්‍ෂාව නොයෙක් ආකාරයි. කෙසේ ද? එක භික්‍ෂුවක් බතින් පසුකාලයේ පිණ්ඩපාතයෙන් වැළකුණේ පාසිවුරු තැන්පත් කොට විවේකී අවකාශයක සිටියේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි. මාගේ පංච කාමගුණයෝ ප්‍රහීන වීද? ඔහු ප්‍රහීන නොවී යැයි දැන වීර්ය ගෙන අනාගාමී මාර්ගයෙන් පංච කාමගුණයන්ගේ රාගය විනාශ කොට මාර්ගයට අනතුරුව ඵලය ද ඵලයට අනතුරුව මාර්ගය ද එයින් නැගිට සිහිකරන්නේ ප්‍රහීන යැයි දැනගනියි.
නීවරණාදියෙහි ද මේ ක්‍රමයයි. මොවුන්ගේ රහත් මාර්ගයෙන් ප්‍රහීනාදිය වෙති. මෙසේ එක් භික්‍ෂුවකගේ නොයෙක් ප්‍රත්‍යවේක්‍ෂණා වෙයි. මේ ප්‍රත්‍යවේක්‍ෂාවන්හි වෙනත් භික්‍ෂුවක් එකක් ප්‍රත්‍යවේක්‍ෂා කරයි. තවෙකෙක් වෙනත් එකක් ප්‍රත්‍යවේක්‍ෂා කරයි. මෙසේ නොයෙක් භික්‍ෂූන්ගේ නොයෙක් ප්‍රත්‍යවේක්‍ෂණා වෙයි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.
පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍ර වර්ණනාව නිමි.
ඉන්ද්‍රියභාවනා සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් ඉන්‍ද්‍රියභාවනා සූත්‍රය මෙසේ අසන ලදි. එහි කජංගලායන්ති මේ නම ඇති නියම් ගමෙහි. මුඛෙලුවනෙති මුඛේළු නම් ගස් වර්ගයකි. එයින් සැදුම් ලත් මහා වන ලැහැබකි. එහි වාසය කරති. චක්ඛුනා රූපං න පස්සති සොතෙන සද්දං න සුණාතීති ඇසින් රූප නොදැකිය යුතුය. කනින් ශබ්ද නොඇසිය යුතුය. මෙසේ දේශනා කළේය යන අදහසින් කියයි.
අඤ්ඤථා අරියස්ස විනයෙති මෙයින් බුදුරදුන් තමාගේ ශාසනයෙහි අසමාන වූ ඉන්ද්‍රිය භාවනාවක් කීම පිණිස කැමැති වූහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙමේ බුදුරදුන්ගේ කැමැත්ත දක්වයි. එහෙයින් මම මේ පිරිසෙහි භික්‍ෂුසංඝයාට ඉන්ද්‍රිය භාවනා කථාව කරවමියි බුදුරදුන්ගෙන් ඉල්ලන්නේ එතස්ස භගවාති යනාදිය කීය. එකල බුදුරදුන් ඉන්ද්‍රිය භාවනාව දෙසන්නාහු තෙනහානන්‍දාති යනාදිය වදාළහ.
එහි යදිදං උපෙඛාති යම් මේ විදර්ශනා උපේක්‍ෂාවක් නම් වේද? එය ශාන්තය. එය ප්‍රණීතය. තෘප්තිය නැත යන තේරුමයි. මෙසේ මේ භික්‍ෂුව චක්‍ෂුර් ද්වාරයෙහි රූපාරම්මණය ද ඉෂ්ට අරමුණෙහි මනාපය ද අනිෂ්ටයෙහි අමනාපය ද මධ්‍යස්ථයෙහි මනාප අමනාප දෙක ද ඔහුගේ සිත රැඳෙන්නට හෝ දූෂ්‍ය වෙන්නට හෝ මුළා වෙන්නට හෝ නොදී විශේෂයෙන් ගෙන විදර්ශනාව මධ්‍යස්ථ බවෙහි තබයි. චක්ඛුමාති පිරිසිදු ඇස් ඇති, ආබාධ ඇස් ඇත්තහුගේ ඉක්මන් නැති පියවීම් ඇරීම් වෙයි. එහෙයින් එය නොගන්නා ලදි.