දැන් පුද්ගලික දානයේ විපාක දන්නාහුය. තත්‍රානන්‍දාති යනාදිය කීය. එහි තිරච්ඡානගතෙති යම් ගුණ වශයෙන් උපකාර වශයෙන් පෝෂණය පිණිස දෙන ලද මෙය නොගන්නා ලදි. යම් පිඬක් පිඬු භාගයක් දෙන ලද ද එය නොගන්නා ලදි. යම් හෙයකින් බලු ඌරු කවුඩු යනාදීන් අතුරෙන් යම්කිසි පැමිණි සතෙකුට අනුසස් කැමැත්තෙන් යම් පමණ දෙන ලදද මෙය සඳහා කියන ලදි. තිරච්ඡානගතෙ දානං දත්‍වාති සතගුණාති අනුසස් සීයකි. පාටිකංඛිතබ්බාති කැමති විය යුතුයි. මෙය කියන ලද්දේ වෙයි. මේ දානය ආයුෂ සීයක් ද වර්ණ සීයක් ද සැප සීයක් ද බල සීයක් ද නුවණ සීයක් දැයි පන්සීයක් ආනිසංස දෙයි. ආත්ම සීයක ආයුෂ දෙයි. වර්ණය බලය සැපය නුවණ දෙයි. මේ ක්‍රමයෙන් සියලු තැන්හි ම දත යුතුය.
සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙති මෙහි යට කෙළවරින් තිසරණ ගිය උපාසකයා ද සෝවාන් ඵලය සාක්‍ෂාත් කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඔහුට දෙන ලද දානය ද සංඛ්‍යාවක් නැත. ප්‍රමාණයක් නැත. පන්සිල්හි පිහිටියා හට ද එයින් මත්තෙහි දස සිල්හි පිහිටියා හට ද එයින් මත්තෙහි එදවස පැවිදි වූ සාමණේරයා හට ද එයින් මත්තෙහි උපසම්පන්නයා හට ද එයින් මත්තෙහි උපසම්පන්න වත්සම්පූර්ණ කරන්නා හට ද එයින් මත්තෙහි උතුම් කෙළවරින් මාර්ග සමන්විත සෝවාන් ඵලය සාක්‍ෂාත් කිරීමට පිළිපන්නේ නම් වෙයි. මොහුට දුන් දානය එයින් මත්තෙහි මහත්ඵල වෙයි.
කිමෙක් ද? මාර්ගයෙන් යුක්තයාට දන් දෙන්නට හැකි ද? එසේය. හැකිය. පටන් ගන්නා ලද විදර්ශනා ඇත්තේ පා සිවුරු ගෙන පිඬු පිණිස හැසිරෙයි. ඔහු ගෙහි දොරටුවෙහි සිටියාහුගේ අතින් පාත්‍රය ගෙන ආහාරපාන බහාලත්. එකෙණෙහි ම භික්‍ෂුවගේ මාර්ගයෙන් නැගිටීම වෙයි. මේ දානය මාර්ගයෙන් යුක්ත පුද්ගලයාට දෙන ලද නම් වෙයි. අනෙත් ක්‍රමයකින් මේ තෙමේ විහාරයෙහි හෝ ආසන ශාලාවෙහි හෝ සිටියේ වේ ද උපාසකයෝ පාත්‍රය ගෙන තමන්ගේ නිවසට ගොස් ආහාරපාන බහාලත්. ඒ මොහොතෙහි ඔහුගේ මාර්ගයෙන් නැගිටීම වෙයි. මේ දානය ද මාර්ගයෙන් යුක්ත වූවාට දුන්නේ වෙයි. එහි දෙනියෙහි ජලය මෙන් සෝවාන් ඵලය සාක්‍ෂාත් කිරීම පිණිස පිළිපදින්නා කෙරෙහි දෙන ලද දානයේ ආනිසංස අසංඛෙය්‍ය බව දත යුතුය. ඒ ඒ මහානදීන්හි ද මහමුහුදෙහි ද ජලය මෙන් සෝවාන් ආදීන් කෙරෙහි දෙන ලද දානය උතුම් වශයෙන් අසංඛෙය්‍ය බවෙන් දත යුතුය. පොළොවෙහි බල මාත්‍රයක් ප්‍රදේශයෙහි පස් ආදී කොට පොළොවේ යම් පමණ පස් ද එතෙක් අප්‍රමාණ බව ප්‍රකාශ කොට දැක්විය යුතුයි.
සත්ත ඛො පනිමාති කුමක් නිසා ආරම්භ කළේ ද? ගෞතමිය සංඝයාට දෙව් තා විසින් සංඝයාට දුන් කල්හි මම ද සංඝයා ද පුදන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙමියි කියන ලදී. එහි ස්ථාන හතක දෙන ලද දානය සංඝයාට දෙන ලද්දේ නම් වෙයි. දක්වන්නට මේ දේශනාව පටන් ගත්තේය. එහි බුද්ධපමුඛෙ උභතො සංඝෙති එක් පැත්තකින් භික්‍ෂු සංඝයා ද එක් පැත්තකින් භික්‍ෂුණී සංඝයා ද බුදුරදුන් මැද ද වැඩ සිටියේ වෙයි ද මේ බුද්ධ ප්‍රමුඛ උභතෝ සංඝ නමි. අයං පඨමාති මේ දානයට ප්‍රමාණයෙන් සම වන දානයක් නම් නැත. දෙවන දානාදිය මෙයට වඩා උතුම් බවට නොපැමිණෙත්.
කිමෙක් ද? බුදුරදුන් පිරිනිවි කල්හි බුද්ධ ප්‍රමුඛ උභතෝ සංඝයාට දන් දෙන්නට හැකි ද? හැකිය. කෙසේ ද? උභතෝ සංඝයා ඉදිරියෙහි ධාතු සහිත ප්‍රතිමාවක් ආසනයෙහි තබා දක්‍ෂිණෝදය මුල්කොට සියල්ල පළමුව බුදුරදුන්ට පූජා කොට උභතෝ සංඝයාට දිය යුතුයි. මෙසේ බුද්ධ ප්‍රමුඛ උභතෝ සංඝයාට දානය දෙන ලද්දේ නම් වෙයි. එහි යමක් බුදුරදුන්ට දුන්නේ ද එයට කුමක් කළ යුතු ද? යමෙක් වතින් සම්පූර්ණව බුදුරදුන්ට පිළිදැගුම් කරයි ද ඒ භික්‍ෂුවට දිය යුතුයි. පියා සන්තක දේ පුතා වෙත පැමිණෙයි. භික්‍ෂු සංඝයාට දෙන්නට ද වටියි. ගිතෙල් තෙල් ගෙන පහන් දැල්විය යුතුයි. වස්ත්‍ර ගෙන කොඩි නැංවිය යුතුයි. හික්‍ඛුසංඝෙති පිරිසිඳීමක් නැති මහා භික්‍ෂු සංඝයා භික්‍ඛුණීසංඝෙපි මේ ක්‍රමයමයි.