යෙසං මයි සද්ධාමත්තං පෙම්මත්තං මෙයින් යම් කෙනෙකුන්ට අන්ය ආර්ය ධර්මයෙක් නැත්ද? එතකුදු වුවත් තථාගතයන් කෙරෙහි ශ්රද්ධා මාත්රයක්, ප්රේම මාත්රයක් පමණක් වේද ඒ විදර්ශක පුද්ගලයෝ අදහස් කරන ලදී. විදසුන් පිහිටුවා හුන් විදර්ශක භික්ෂූන්ට දසබලයන් කෙරෙහි හුදු ශ්රද්ධාව, හුදු ප්රේමය උපදී. ඒ ශ්රද්ධාවෙන් ඒ ප්රේමයෙන් අත්ගෙන ස්වර්ගයෙහි තබන ලද්දවුන් මෙන් වෙති. මොව්හූ නියති ගතිකයෝය. පෞරාණික ස්ථවිරයෝ වනාහි මෙබඳු මහණ චුල්ල සෝතාපන්න යයි කියති. සෙසු පදයන්හි ප්රකට අර්ථ ඇත්තේමැයි.
අලගද්දූපම සුත්ර වර්ණනාව නිමියේය.
වම්මික සූත්ර වර්ණනාව
එවම්මෙ සුතං වම්මික සූත්රයයි. එහි ආයස්මා මේ ප්රියවචනයයි. කුමාර කස්සපො ඔහුගේ නමය. කුමාර කාලයෙහි පැවිදි වූ බැවින්, භාග්යවතුන් වහන්සේ විසින් කාශ්යපයන් කැඳවවු. මේ ඵලය හෝ කන දෙය කාශ්යපට දෙවු යයි කී කල කවර කාශ්යපටදැයි ඇසූ විට) කුමාර කාශ්යපට යයි කී හෙයින්, එතැන් පටන් මහළු වූ කාලයෙහි පවා ‘කුමාර කස්සප’ යයි ම කියයි. තව ද රජුන් විසින් පෝෂණය කළ කුමාරයා බැවින් ද කුමාර කාශ්යප යයි හැඳින්වූහ. මේ වනාහි ඔහුගේ පෙර ආත්ම චරිතයේ පටන් පවසන කථාවයි -
මේ තෙරුන් වනාහි පදුමුත්තර භාග්යවතුන්ගේ කාලයෙහි සිටු පුතෙක් වුයේය. එකල එක් දවසක් භාග්යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයෙහි එක් ශ්රාවකයකු, චිත්ර කථිකයන් අතුරෙන් අග්රස්ථානයේ පිහිටවනු දැක, භාග්යවතුන් වහන්සේට සත්දිනක් මහා දන් දී ‘භාග්යවතුන් වහන්ස, මම ද අනාගතයේ දී එක් බුදු කෙනෙකුන්ගේ ශාසනයෙක, මේ තෙරුන් වහන්සේ මෙන්, චිත්රකථික අග තනතුරු ලබන ශ්රාවකයෙක් වන්නෙමි යි ප්රාර්ථනා කොට පින් කරන්නේ කාශ්යප බුදුන් වහන්සේ ශාසනයෙහි පැවිදි වී විශේෂයක් උපදවන්නට නො හැකි විය. එය මෙසේ අසනු ලැබේ.
එකල පිරිනිවියා වූ භාග්යවතුන්ගේ ශාසනයෙහි භික්ෂූන් පස්දෙනෙක් හිණිමගක් බැඳ පර්වතයකට නැගී මහණදම් කළාහුය. එහි සංඝ ස්ථවිර තෙමේ තුන්වන දිනයෙහි රහත්බවට පැමිණියේය. දෙවෙනි ස්ථවිර තෙම සතරවැනි දවසේ අනාගාමී ඵලයට පැමිණියේය. ඉතිරි තෙනම විශේෂයක් උපදවන්නට නොහැකිව දෙව්ලොව උපන්නාහුය.
එක් බුද්ධාන්තරයක් දෙව්ලොව ද මිනිස්ලොව ද සම්පත් වළඳන්නා වූ ඔවුන් අතුරෙන් එක් අයෙක් තක්සිලාවේ රජගෙදර ඉපිද පුක්කුසාති නම් රජ වැ භාග්යවතුන් වහන්සේ උදෙසා පැවිදි වී රජගහ නුවරට එන්නේ කුම්භකාර ශාලාවෙහි භාග්යවතුන් වහන්සේගේ ධර්මය අසා අනාගාමී ඵලයට පැමිණියේය. එක් අයෙක් එක් මුහුදු පටුනෙක කුලගෙයක ඉපදී නැවකට නැගී (යන්නේ) නැව බිඳී ගිය කල්හි දැව වැහැරි කඳ ලාභ සම්පත්තියට පැමිණියේ තමන් රහත් කෙනෙකැයි සිත් උපදවා සිටි කල්හී) එක් වැඩ කැමති දේවතාවෙකු විසින් තොප රහත් කෙනෙක් නොව, යව ශාස්තෲන් වහන්සේ හමුවී ප්රශ්න විචාරවයි මෙහෙයවන ලදින් එසේ කොට රහත්ඵලයට පැමිණියේය.
තුන්වැන්නා රජගහනුවර එක් කුල දැරියකගේ කුස උපන. ඕ තොමෝ පළමුකොට මව්පියන් අයැද පැවිදිවීමට අවස්ථාව නො ලද්දී, විවාහ වීමෙන් පසුව පිහිටියා වූ ගැබ නො දන්නී ස්වාමියා සතුටුකොට ඔහුගේ අනුමැතිය ලබා භික්ෂුණීන් කෙරෙහි පැවිදි වූවාය. ඇගේ ගැබ් නිමිති දැක භික්ෂුණීන් දෙව්දත්ගෙන් (කළ යුත්ත) විචාළාහුය. හෙතෙම අශ්රමණික යයි කීය. (පසුව) දශබලධාරින් වහන්සේගෙන් විමසූහ. ශාස්තෲන් වහන්සේ උපාලි ස්ථවිරයන්ට පැවරීය. උන්වහන්සේ සැවැත්නුවරවාසී කුලන් ද, විශාඛා උපාසිකාව ද කැඳවා, ඔවුන් ලවා පරික්ෂා කරවන්නාහු (පැවිද්දෙන්) පෙර ලත් ගරභයෙක පැවිද්ද නිදොස් වූයේ යයි (ඔව්හූ) තීරණය කළහ. අධිකරණය මනාකොට කරන ලද්දේ යයි ශාස්තෲන් වහන්සේ උපාලි ස්ථවිරයන්ට සාධුකාර දුන්හ. ඕ මෙහෙණ රන් පිළිමයක් වැනි පුතකු වැදූය. ඔහු ගෙන පසේනදී කොසොල් රජු පෝෂණය කළේය. ඔහුට කස්සප යයි නම්කොට පසුකලෙක ශාස්තෲන් වහන්සේ වෙත ගෙන ගොස් පැවිදි කරවීය. මෙසේ ඔහු රජු විසින් පෝෂණය කළ කුමාරයා බැවින් ‘කුමාර කස්සප’ යයි හැඳින්වීය.