චෙතොඛිල සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු චේතෝඛීල සූත්‍රයයි. එහි චෙතොඛිලා යනු සිතෙහි තද බැව්, කසළ බැව්, කණු බැව් යනුයි. චෙතසො විනිබද්ධා සිත බැඳ එකමිටට ගනිත්නුයි ‘චෙතසො විනිබද්ධ’ නම් වේ. වුද්ධිං යනු සීලයෙන් වැඩීමට, මාර්ගයෙන් නැගීමට, නිර්වාණයෙන් විපුලබවට, නොහොත් සීල සමාධීන්ගෙන් වැඩීමට, විදර්ශනා මාර්ගයෙන් නැගීමට, ඵල නිර්වාණයන්ගෙන් විපුල බවට, සත්‍ථරි කංඛති ශාස්තෲන්ගේ ශරීරය ගැන හෝ ගුණය ගැන සැක කෙරෙයි. ශරීරය පිළිබඳව සැක කරන්නේ උතුම් වූ දෙතිස් ලකුණෙන් පිරි ශරීරයක් ඇත්දැයි නැත්දැයි සැක කෙරෙයි. ගුණය පිළිබඳව සැක කරන්නේ අතීත අනාගත වර්තමාන දැනීමෙහි සමත් වූ සර්වඥතා ඥානය ඇත්දැයි හෝ නැත්දැයි සැක කෙරෙයි. විචිකිච්ඡති විමසමින් වෙහෙසෙයි. දුකට පැමිණෙයි. විනිශ්චය කරන්නට නො හැකි වෙයි. නාධිමුච්ඡති මෙය මෙසේ යයි නිශ්චයට නො පැමිණෙයි. නසම්පසීදති ගුණයන් නිසා නුවණින් පිවිස නිසැක බවින් පහදින්නට නො කැළඹුනෙක් වන්නට නො හැකි වෙයි. ආතප්පාය කෙලෙස් තවන වීර්යය කරන්නට, අනුයොගාය නැවත නැවත යෙදෙන්නට සාතච්චාය සත්තක්‍රියා කරන්නට, පධානාය, ප්‍රධන් වීර්යය වඩන්නට, අයං පඨමො චෙතොඛිලො මේ ශාස්තෲන් කෙරෙහි සැක සහිත වූ පළමුවන සිතෙහි තදබව, මෙසේ මේ භික්‍ෂුවගේ අප්‍රහීණ වූයේ වේ.
ධම්මෙ පරියාප්ති ධර්මයේ ද, ප්‍රතිවේධ ධර්මයේ ද, පරියාප්ති ධර්මය පිළිබඳව සැක කරන්නේ, ත්‍රිපිටක බුද්ධ වචනය. සුවාසුදහසක් ධර්මස්කන්ධය යයි කියති. මෙය ඇද්ද නැද්දැයි සැක කිරීමයි. ප්‍රතිවේධ ධර්මය පිළිබඳව සැක කරන්නේ විදර්ශනානිසංස මාර්ගය නමි. මාර්ගානිසංස ඵලය නම් සියලු සංස්කාරයන්ගේ දුරලීම නිර්වාණය නමැයි කියයි. එය ඇද්ද නැද්දැයි සැක කරයි.
සසංඝෙ කංඛති සුපටිපන්න යනාදී පදයන්ගෙන් දැක්වෙන, එබඳු වූ පිළිවෙතට පිළිපන් සතර මාර්ගස්ථයෝය. සතරඵලයට පැමිණි ඇත්තෝය. අෂ්ට ආර්ය පුද්ගලයන්ගේ සමූහය වූ සංඝයා ඇත්තේද නැත්තේදැයි සැක කරයි. ශික්‍ෂාවෙහි සැක කරන්නේ අධිශීල ශික්‍ෂා, අධිචිත්ත ශික්‍ෂා, අධිපඤ්ඤා ශික්‍ෂා නම් වේ. ඒ ශික්‍ෂා ඇද්ද නැද්දැයි සැක කරයි. අයං පඤ්චමො මේ සබ්‍රම්සරුන් කෙරෙහි කෝපසංඛ්‍යාත වූ පස්වැනි සිතේ තදබව, කසළ බව කණුහුල් බව වේ.
විනිබද්ධයන්හි කාමෙ වස්තු කාමයෙහි ද ක්ලේශ කාමයෙහි ද කායෙ තමාගේ ශරීරයෙහි, රූපෙ බාහිර රූපයෙහි, යාවදත්‍ථං යම්තාක් කැමතිවේද ඒතාක්, උදරාව දෙහකං බඩපුරා - එය වනාහි උදරය පිරීම කරන හෙයින් ‘උදරාව දෙහකං’ යයි කියනු ලැබේ. සෙය්‍යසුඛං ඇඳ පුටු සුවය ද සෘතුසුවය ද පස්සසුඛං දකුණු පැත්තට වම් පැත්තට පෙරලෙමිනි. නිදන්නහුට යම් සුවයක් වේද එන්සේ උපන් සුවය මිද්ධසුඛං නිදි සුවය, අනුයුත්තො විඳිමින් මනාව විඳිමින් වෙසේද,
පණිධාය ප්‍රාර්ථනා කොට, සීලෙන යනාදියෙහි සීලං චතුපාරිශුද්ධි ශීලය, වතං සමාදානය, තපො තපස් රැකීම, බ්‍රහ්මචරියං මෛථුන විරතිය, දෙවො වා භවිස්සාමි මහේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි. දෙවඤ්ඤතරො වා අල්පේශාක්‍ය දෙවියන් කෙරෙහි හෝ එක්තරා කෙනෙක්,
සෘද්ධිපාදයන්හි ඡන්‍දය නිසා පැවති සමාධිය ඡන්‍ද සමාධි නමි. ප්‍රධාන වූ සංස්කාරයෝ පධාන සංඛාර නම් වෙති. සමන්නාගතං ඒ ධර්මයන්ගෙන් යුක්ත වූ, සෘද්ධියගේ පාදය නොහොත් සෘද්ධි වූ පාදය ඉද්ධිපාද නමි. ඉතිරි කරුණු සඳහා ද මෙම න්‍යායමැයි. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තර වනාහි ඉද්ධිපාද විභංගයෙහි ආයේමය. විශුද්ධි මාර්ගයෙහි මේ පදයන්හි අර්ථ දක්වන ලදී. මෙසේ මෙම සතර සෘද්ධිපාදයන්හි විෂ්කම්භණ ප්‍රහාණය රූපාවචර ධ්‍යාන ලැබීමෙන් පංච නීවරණ දුරුකිරීම කියන ලද්දේය. උස්සොළ්හියෙව පඤ්චමී එහි උස්සොළ්හී යන්නෙන් සියළු තන්හි කටයුතු වීර්යය දක්වයි.
උස්සොළ්හි පත්තර සංග සමන්නාගතො පංච චෙතොඛීල ප්‍රහාණයෝය. පංච විනිබද්ධ ප්‍රහාණයෝය. සතර සෘද්ධිපාදයෝය. වීර්යය යයි මෙසේ වීර්යය සමග පසළොස් අංගයකින් සමන්විත වූයේ, භබ්බො අනුරූප වූයේ, සුදුසු වූයේ, අභිනිබ්භිදාය නුවණින් කෙළෙස් බිඳීම පිණිස, සම්බොධාය සතර මාර්ගයන්හි අවබෝධය පිණිස, අනුත්තරස්ස ශ්‍රේෂ්ඨ වූ, යොගක්ඛෙමස්ස සතර යෝගයන්ගෙන් උපද්‍රව රහිත වූ, රහත් බැව්හී අධිගමාය ප්‍රතිලාභය පිණිස. සෙය්‍යථා උපමා අර්ථයෙහි නිපාතයි. පී යනු සම්භාවනාර්ථයෙහිය. ‘දෙකින්ම මහණෙනි, යම් සේ නම්’ යනු දක්වයි.
කුක්කුටියා අණ්ඩාති අට්ඨවා දසවා ද්වාදසවා මෙහි කිකිළියගේ කියන ලද ආකාරයෙන් අඩුවැඩි ඌනාධික වූ ද බිජුවට වෙති. වචනයෙහි සිලුටු බව පිණිස මෙය කියන ලදී. මෙසේ ලෝකයෙහි සිලුටු වචන වෙයි. තානස්සු තානි+අස්සු වන්නාහුය යන අර්ථයි. කුක්කුටියා සම්මා අධිසයිතානි ඒ මව වූ කිකිළිය පියාපත් විහිදුවා ඒ බිජුවට මතුයෙහි සයනය කරන්නෙහි, මනාකොට මතුයෙහි හෝනා ලද්දීය. සම්මා පරිසෙදිතානි කලින් කල ඍතු ගන්වන්නිය විසින් මනාකොට තෙත් කරන්නී, උණුසුම් කරන්නී, සම්මා පරිභාවිතානි කලින් කල මනාකොට හාත්පස භාවිත කරන්නී කුකුළු ගඳ ගන්වන ලද්දී යන අර්ථයි. කිඤ්චාපි තස්සා කුක්කුටියා එම කිකිළිය විසින් මෙහි තුන් පරිද්දෙකින් ක්‍රියා කිරීමෙන් අප්‍රමාදය කොට (පමා නොවී) ද, ඒ කිකිළියට මෙවැනි කැමැත්තක් නූපදනේය. අථ ඛො භබ්බාව තෙ ඉක්බිති ඒ කුකුළු අටුව කියන ලද ආකාරයෙන් සුවසේ පිටත නික්මෙන්නට සුදුසු වූවාහුමය. යම්හෙයකින් ඔවුන් එම කිකිළිය විසින් මෙසේ තුන් ආකාරයකින් ඒ බිත්තර පරිපාලනය කරන්නේ කුණු නොවෙත්ද? ඔවුන්ගේ යම් තෙත් වූ දිය ගතියක් වේද? එය වියලි බවට යේද? කටුව තුනී වේද? එබැවින් දෙස, නිය, කොණ්ඩය, (කුඩුම්බිය) මුව තුඩ ආදිය රළු වේද? තුමුත් මේරිමට යේද? කටුව තුනී බැවින් පිටත ආලෝකය ඇතුළතට පෙන්ද? එහෙයින් ඒකාන්තයෙන් අපි බොහෝ කලක් හකුළන ලද අත් පා ඇත්තමෝ සම්බාධයෙහි ශයනය කළෙමු. දැන් මේ පිටත ආලෝකය පෙනේ. එහි දැන් අපට සැපවිහරණය වන්නේයයි නික්මෙනු කැමතිව කටුව පයින් පහරති. කර දිගු කරති. එවිට ඒ කටුව දෙකක්ම බිඳෙයි. එකල්හි ඔව්හූ පියාපත් සලමින් ඒ මොහොතට ගැලපෙන සේ නාද කරමින් නික්මෙත්මය. නික්මී ගම් කෙත් හොබවමින් හැසිරෙත්.