සමුදයඤ්ච යනාදියෙහි දෘෂ්ටීන්ගේ ඉපදීම් හටගැනීම් දෙකකි. ක්‍ෂණික සමුදය, පච්චය සමුදය ද (කියායි) ක්‍ෂණික සමුදය නම් දෘෂ්ටීන්ගේ ඉපදීමයි. පච්චය සමුදය නම් අටදෙනෙක් වෙති. ඒ කවරහු ද? ස්කන්ධයෝ ද දෘෂ්ටි ස්ථානයකි. අවිද්‍යාව ද, ස්පර්ශය ද, සංඥාව ද, විතර්කය ද අයෝනිසෝ මනසිකාරය ද, පාප මිත්‍රයා ද, පරතෝඝෝසය ද දෘෂ්ටි ස්ථානයකි. දෘෂ්ටීන්ගේ ඉපදීමට සමුත්‍ථානාර්ථයෙන් ස්කන්ධයෝ හේතුවෙයි. ස්කන්ධයෝ ප්‍රත්‍ය වේ. මෙසේ ස්කන්ධයෝ ද දෘෂ්ටි ස්ථානයක් වේ. අවිද්‍යාව, ස්පර්ශය, සංඥාව, විතර්කය, අයෝනිසෝ මනසිකාරය, පාපමිත්‍රය, පරතොඝෝෂය සමුත්‍ථානාර්ථයෙන් දෘෂ්ටීන්ගේ ඉපදීමට හේතු වේ. පරතෝඝෝෂය ප්‍රත්‍යය වේ. දෘෂ්ටීන්ගේ අත්‍ථංගමය ද දෙපරිදිය. ක්‍ෂණික අස්තංගමය, ප්‍රත්‍ය අස්තංගමය යනුවෙනි. ක්‍ෂණික අස්තංගමය නම් (ක්ෂණයෙහි) ක්ෂය වීමය. නැසීමය, බිඳීමය, හාත්පසින් බිදීමය, අනිත්‍ය බවය, අතුරුදහන් වීමය. ප්‍රත්‍ය අස්තංගමය නම්, සෝවාන් මාර්ගය ය. සෝවාන් මාර්ගය දෘෂ්ටීන්ගේ සහමුලින් නැසීම යයි කියන ලදී.
අස්සාදං - දෘෂ්ටි මූලික ආනිසංසය යමක් සඳහා කියන ලද ද? ශාස්තෲ තෙමේ යම් දෘෂ්ටියක් ඇත්තේ වේද ශ්‍රාවකයෝ ඒ දෘෂ්ටියම ඇත්තාහු වෙති. ශ්‍රාවකයෝ යම් දෘෂ්ටියක් ඇති ශාස්තෲවරයෙක් සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, පූජා කෙරෙත් ද, ඒ හේතුවෙන් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ ය. මේ වූ කලී දෘෂ්ටිය පිළිබඳ ආනිසංස යි. ආදීනවං - දෘෂ්ටි ග්‍රහණය මුල්කොට ඇති උපද්‍රවය, වග්ගුලි වෘතය. උක්කුටික වීර්යය, කණ්ටකධාරයෙහි හිඳීම ආදියයි. පංචතාපයෙන් තැවීම ගල්හතට පැමිණීම, කෙස් රවුල් ඉදිරීම, අප්‍රාණික ධ්‍යානය යනාදී වශයෙන් දතයුතුයි. නිස්සරණං දෘෂ්ටීන්ගේ නිස්සරණය නම් නිවනයි. යථාභූතං නප්පජානං යමෙක් මේ සියල්ල යථා ස්වරූපයෙන් නො දනිත්ද? න පරිමුච්චන්ති දුක්ඛසමා සියළු වෘත්ත දුක්ඛයෙන් නො මිදෙත්. මෙයින් මොවුන්ගේ නිෂ්ඨාවක් නම් නැත. පරිමුච්චන්ති දුක්ඛසමා සියළු සසර දුකින් මිදෙත්. මෙයින් ඔවුන්ගේ නිෂ්ඨාව ඇතැයි යුක්ති කියන්නවුන් දෙදෙනාගේ යුක්තිය සිඳිමින් මෙන් ශාසනයෙහිම නිෂ්ඨාව ඇතැයි පිහිටුවයි.
ඉදින් දෘෂ්ටීන්ගේ බැඳීම දක්වන්නේ චත්තාරිමානි භික්ඛවෙ උපාදානානි ආදිය කීහ. ඔවුන්ගේ විස්තර කථාව විශුද්ධි මාර්ගයේ කියන ලදී.
සංඛුපාදාන පරිඤ්ඤාවාදා පටිජාමානාති. අපි සියළු උපාදානයන්ගේ ප්‍රහාණය ඉක්මවීම කියමුයි මෙසේ ප්‍රතිඥා කරන්නෝ, න සම්මා සබ්බුපාදාන පරිඤ්ඤන්ති සියළු උපාදානයන්ගේ ඉක්මවීම නො පනවත්. කිසිවෙක් කාම උපාදානයාගේ (ප්‍රහාණය) පනවති. කිසිවෙක් දෘෂ්ටි උපාදානයාගේ ද කිසිවෙක් ශීල ව්‍රත උපාදානයාගේ ද, (ප්‍රහාණය පනවත්) අත්තවාද උපාදානයාගේ ප්‍රහාණය පනවන්නෙක් නැත. එම භේදය දක්වන්නේ කාමුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති ආදිය කීහ. එහි සියල්ලෝම කාම උපාදානයන්ගේ ප්‍රහාණය පනවති. සයානූවක් පාෂාණ්ඩයෝ ද කාමයෝ වනාහි පැවිද්දන් විසින් සේවනය නොකළ යුතුයයි පනවති. වස්තු ප්‍රතිසේවන කාමය කැපයයි නො පනවති. අකැප වූවක්ම කොට පනවති. යමෙක් වනාහි සේවනය කෙරෙත් ද ඔවුහු හොර රහසින් ම සේවනය කරති. එහෙයින් කියන ලදී. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති යනු
දෙන කෙනෙක් නැත යනාදිය ගෙන හැසිරෙත් ද සීලයෙන් පිරිසිදු බව, ව්‍රතයෙන් පිරිසිදු බව, භාවනාවෙන් පිරිසිදු බව වේයයි ගනිත්ද, ආත්මයයි දැඩිකොට ගැනීම නොහරිත්ද? එහෙයින් න දිට්ඨූපදානස්ස න සීලබ්බතු පාදානස්ස, න අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති දෘෂ්ටි උපාදානයාගේත්, සීල ව්‍රත උපාදානයාගේත්, ආත්මවාද උපාදානයාගේත් ඉක්මවීම නො පනවත්. තං කිස්ස හෙතු එයට හේතු කවරේද? එසේ නොපැනවීම කවර හේතුවකින් කවර කාරණයකින් ද? ඉමානි භි තෙ භොන්තො යනු මේ කරුණු තුන පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් ඔවුන් නො දක්නා බැවිනි යන අර්ථයයි. මෙහි යමෙක් වනාහි ප්‍රහාණයන් දෙදෙනා ගේ පැනවීමට කරුණු වූ දෘෂ්ටිය ද සීල ව්‍රතය ද, ප්‍රහාණය කළ යුතු යයි යථා ස්වභාව වශයෙන් දනිත් ද, ඔවුන් සඳහා මත්තෙහි දෙවාරය කියන ලදී. එහි යමෙක් දුන් දෙයෙහි විපාක ඇත ආදිය ගනිත්. තෙ දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති දිට්ඨි උපාදානයාගේ පැනවීම පනවති. යමෙක් සීලයෙන් පිරිසිදු වීමක් නැත. ව්‍රතයෙන් පිරිසිදු වීමක් නැත. භාවනාවෙන් පිරිසිදු වීමක් නැතැයි ගනීද? ඔවුහු සීලවුත උපාදානයාගේ ඉක්මවීම පනවති. එසේ වුවද අත්තවාද උපාදානයාගේ ඉක්මවීම පනවන්නට එක් අයෙකුද නොහැකි වෙයි. (යම් හෙයකින්) අෂ්ට සමාපත්ති ලාභී වූයේ ද සඳ හිරු දෙදෙන අතින් පිරිමැද හැසිරෙන්නාහු වුවද තීර්ථකයෝ ප්‍රහාණයන් තිදෙනෙක් පනවත් ද, අත්තවාද උපාදානය මුදාහරින්නට නොහැකි වෙත් ද, එහෙයින් නැවත නැවත සංසාර වෘත්තයෙහි ම වැටෙත්. මොව්හු පොළවට පිළිකුල් කරන සාවෙකු මෙනි.
එය වූ කලී අර්ථය ප්‍රකාශ කරන උපමාවෙකි. පෘථිවිය සාවෙකුට මෙසේ කීවේල, එම්බා සාවානෙනි, සාවා කීය. මේ කවරෙක් ද, මගේම මතුපිට සියළු ඉරියව් කරන්නේ මළ මූත්‍ර දමන්නේ කුමක් හෙයින් මා නොහඳුනන්නෙහි ද? තී විසින් මම මනාකොට දක්නා ලදුයෙමි. මා විසින් හැසුරුණු තැන ඇඟිලි අගින් ස්පර්ශ කළ තැනක් මෙන් වෙයි. මුදාහළ මූත්‍ර ප්‍රමාණය අල්මාත්‍රය. මලය ඉඟිනි ඇටයක් පමණ ය. ඇත් අස් ආදීන් විසින් හැසිරුණු තැන අති විශාලය. ඔවුන්ගේ මුත්‍ර ද කළයක් පමණය. වසුරු ද කූඩයක් පමණ වේ. තීගෙන් මට කමක් වැඩක් නැතැයි උඩ පැන වෙනත් තැනක වැටුණෝය. එවිට පෘථිවිය ඔහුට මෙසේ කීය. අපොයි දුර ගිය තරම. මගේ මතුපිටම වැටුනේ නොවේද? හෙතෙම නැවත එසේ පරිභාස කරන්නේ උඩ පැන වෙනත් තැනක වැටුනේය. මෙසේ අවුරුදු දාහක් උඩපැන යළි බිමට වැටෙන්නේ පොළවෙන් මිදෙන්නට නො හැකි වන්නේය. මෙසේ ම තීර්ථකයෝ ද සියළු උපාදානයන්ගේ ඉක්මවීම පනවන්නාහුද කාම උපාදාන ආදී වූ උපාදාන තුනම ඉක්මවීම පනවති. එසේ වුවත් අත්තවාද උපාදානය අත්හරින්නට නොහැකිව නැවත නැවත සංසාර වෘත්තයෙහිම වැටෙති. මෙසේ තීර්ථකයෝ යම් ආත්මවාද උපාදානයක් ඉක්මවන්නට නො හැකි වෙත් ද, නැවත නැවත සංසාර වෘත්තයේම වැටෙත්.