විඤ්ඤාණ වාරයෙහි චක්ඛු විඤ්ඤාණං යනු ඇසෙහි විඤ්ඤාණය හෙවත් ඇස හේතුකොට හටගත් විඤ්ඤාණය නුයි චක්ඛු විඤ්ඤාණ නම් වේ. සොත- සාන-ජීව්හා-කාය විඤ්ඤාණයෝ ද මෙසේයි. අන්‍ය වූ මනො විඤ්ඤාණ නම් චිත්තයම විඤ්ඤාණ වූයේ නුයි මනෝ විඤ්ඤාණ නම් වේ. දෙපස් විඤ්ඤාණයන් තොරකොට ඇති තෙභූමක විපාක චිත්තයට මේ මනෝ විඤ්ඤාණ යනුම කී. සංඛාර සමුදයා යන මෙහි යම් සංඛාරයක් තෙම යම් විඤ්ඤාණයකට ප්‍රත්‍යය වේද, ඒ සංඛාරයාගේ වශයෙන් විසුද්ධි මාර්ගයෙහි, කී අයුරින්ම සංඛාරයන්ගේ හටගැනීමෙන් විඤ්ඤානයාගේ හටගැනීම දතයුතුය. සෙස්ස කී නයමැයි.
14. සංඛාර වාරය
සංඛාර වාරයෙහි සකස් කිරීම ලක්‍ෂණකොට ඇත්තේ සංඛාර නම් වේ. මෙම සංඛාරයන්ගේ විස්තර වාරයෙහි, කායසංඛාරො යනු කයින් පවත්වන ලද සංඛාරයයි. කායද්වාරයෙහි මද වශයෙන් පැවැති කාමාවචර කුසලයන් වශයෙන් අටදෙනෙකුටද අකුසලයන් වශයෙන් දොලසකටදැයි විසිවැදෑරුම් වූ කාය සඤ්චෙතනාවන්ට මේ නමකි.
වචී සංඛාරො යනු වාග් ද්වාරයෙහි වාග් භේද වශයෙන් පවත්නා වූ විසිවැදෑරුම් වූ වාග් සඤ්චෙතනාවන්ට මේ නමකි. චිත්ත සංඛාරො යනු සිතින් පැවැති සංඛාරයයි. කාය වාග් ද්වාරයන්හි මද පැවැත්මක් නොකොට රහසිගතව සිට සිතන්නහුට පැවැති ලෞකික කුසලාකුසල වශයෙන් වූ එකුන්තිස් මනෝ සඤ්චෙතනාවන්ට මේ නමකි. අවිජ්ජා සමුදයා යන මෙහි කුසලයන්ට උපනිශ්‍රය වශයෙන්ද අකුසලයන්ට සහජාත වශයෙන් ද අවිද්‍යා තොමෝ ප්‍රත්‍ය වන්නී යයි දතයුත්තීය. සෙස්ස කී අයුරුමැයි.
15. අවිජ්ජා වාරය
අවිජ්ජා වාරයෙහි, දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සත්‍ය විෂයෙහි නොදැනීමයි. මෙය මෝහයට නමකි. සමුදයේ අඤ්ඤාණං යනාදි තන්හි මෙම ක්‍රමයමයි. ඔවුනතුරෙහි කරුණු සතරකින් දුක්ඛ සත්‍යයෙහි නොදැන්ම දතයුතුයි. ඇතුළත් වීම් වශයෙන් ද වස්තු වශයෙන් ද අරමුණු වශයෙන්ද වැසීම් වශයෙන්දැයි කියායි. ඒ එසේමැයි. එම දුක්ඛයෙහි නොදැනීම දුක්ඛ සත්‍ය පරියාපන්න බැවින් දුක්ඛ සත්‍යයෙහිම ඇතුළත් වේ. දුක්ඛ සත්‍යද ඊට නිශ්‍රය ප්‍රත්‍ය වශයෙන් වස්තු වෙයි. ආරම්මණ ප්‍රත්‍යභාවයෙන් අරමුණු වෙයි. දුක්ඛයෙහි එය පටිච්ඡාදනය කෙරෙයි. එය දුක්ඛයාගේ අවිරීත වූ ලක්‍ෂණ ප්‍රතිවේධය වැළකීම් වශයෙන් ඒ දුක්ඛයෙහි ඤාණයාගේ පැවැත්මද නොදීම් වශයෙන් ද වේ.
සමුදය සත්‍යයාගේ නොදැන්ම කරුණු තුනකින් දතයුතුය. වස්තු වශයෙන් ද, අරමුණු වශයෙන් ද, පටිච්ඡාදන වශයෙන්දැයි කියායි. නිරෝධ සත්‍යයෙහි ද, මාර්ග සත්‍යයෙහි ද නොදැනී පටිච්ඡාදන වශයෙන් එකම කරුණකින් දතයුතුයැ. නිරෝධ මාර්ගයන්ගේ පටිච්ඡාදනයම නොදැනීම වෙයි. ඒ නිරෝධ මාර්ගයන්ගේ අවිපරීත වූ ලක්‍ෂණ ප්‍රතිවේධය වැළකීම වශයෙන් ද නිරෝධ මාර්ගයන්හි ඥානයාගේ පැවැත්ම නොදීම් වශයෙන් ද වෙයි. එම අඤ්ඤාණය එහි ඇතුළත් වූයේ නොවෙයි. එම සත්‍ය දෙකෙහි අපරියාපන්න බැවිනි. එම නොදැන්මම එම සත්‍ය දෙක වස්තු වූයේ නොවෙයි. සහජාත නොවූ බැවිනි. අරමුණු වූයේ නොවෙයි. එම සත්‍ය දෙක අරභයා නොපවත්නා බැවිනි. පශ්චිම වූ නිරෝධ-මාර්ග සත්‍ය දෙක ගම්භීර බැවින් දක්නට දුෂ්කර වෙයි. එහි අන්ධ වූ නොදැක්ම නො පවතී. පූර්ව වූ (දුක්ඛ-සමුදය) සත්‍ය දෙක, විරුද්ධාර්ථයෙන් ස්වභාව ලක්‍ෂණ තමා දැකීමට දුෂ්කර බැවින් ගම්භීර වෙයි. එහි විපර්යාස ග්‍රාහ වශයෙන් (නොදැනීම) පවතී.
තව ද දුක්ඛ යයි මෙතෙකින් සංග්‍රහ වශයෙන් ද, වස්තු වශයෙන්ද වස්තු වශයෙන් ද, ආරම්මණ වශයෙන් ද කෘත්‍ය වශයෙන්දයි අවිජ්ජාව දත්වන ලදීය. දුක්ඛ සමුදයෙ යයි මෙතෙකින් වස්තු වශයෙන් ද ආරම්මණ වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද (අවිජ්ජාව) දක්වන ලද්දීය. දුක්ඛ නිරෝධෙ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය යයි මෙතෙකින් කෘත්‍ය වශයෙන් (අවිජ්ජාව) දක්වන ලදී. අවිශේෂයෙන් වනාහි අඤ්ඤාණං යන මෙම වචනයෙන් ස්වභාව වශයෙන් (අවිජ්ජාව) දක්වන ලද්දීයයි දතයුත්තීය. ආසව සමුදයා යන මෙහි කාමාසව, භවාසවයෝ සහජාතාදීන්ගේ වශයෙන් අවිජ්ජාවට ප්‍රත්‍ය වෙයි. අවිජ්ජාසවය උපතිස්සය වශයෙන් ප්‍රත්‍ය වෙයි. තව ද මෙහි පළමු උපන් අවිජ්ජා තොමෝ අවිජ්ජාසවයයි දතයුත්තීයැ. ඕ තොමෝ පසුව පසුව උපන් අවිජ්ජාවට උපනිස්සය ප්‍රත්‍ය වෙයි. සෙස්ස කියන ලද ක්‍රමයමැයි.