“පඨවි කසිණ මෙකො සඤ්ජානාති” යනාදි තන්හි ආරම්මණ පඨවිය යෙදී ඇත. මෙයට නිමිත්ත පඨවිය යයි ද කියනු ලැබේ. පඨවි කසිණ ධ්යාන ලාභීව දෙව්ලොව උපන්නේ පඨවි දේවතා යයි නම් ලබයි. මෝ සම්මුති පඨවි යයි දතයුත්තීය. චතුර්විධ පඨවියම මෙහි ලැබෙයි. ඔවුන් අතුරෙන් යම් කිසි පඨවියක් පුහුදුන් ජනතෙමේ “පඨවිතො සඤ්ජානාති” පඨවිය යයි හඳුනයි. පඨවි භාවයෙන් හඳුනයි. ලෝ වහර ගෙන සඤ්ඤා විපල්ලාසයෙන් හඳුනයි. පඨවි යනු මේ පඨවි භාවය නොහරින්නේම හෝ මේ සත්ත්වයා කියා හෝ මෙය සත්ත්වයාගේ කියා හෝ මේ ආදි අයුරින් හඳුනයි. කුමක් හෙයින් මෙසේ හඳුනා ගනී යයි නොකිය යුතුය. පුහුදුන් ජනතෙම උම්මත්තකයෙකු වැනිවෙයි. හෙතෙම යම්කිසිවක් යම්කිසි ආකාරයකින් ගනීද, ආර්යයන්ගේ නොදක්නා බව යනාදි භේදයට හෝ මෙයට කරුණු වේ. යමක් හෝ මත්තෙහි අපරිඤ්ඤාතං තස්ස යයි වදාරණ බුදුරදුන් විසින්ම වදාරණ ලදද, (එයම මෙයට කරුණු වේ.)
පඨවිං පඨවිතො ඤත්වා යනු හෙතෙම ඒ පඨවිය මෙසේ ඒ විපරීත වූ සඤ්ඤාවෙන් හැඳින සඤ්ඤි නිදානාහි පපඤ්ච සංඛා යයි වදාළ හෙයින් අපර භාගයෙහි, බලවත් බවට පැමිණි මඤ්ඤනා තණ්හා දිට්ඨි-මාන පපඤ්චයන් හේතු කොටගෙන කල්පනා කරයි. විශේෂයෙන් කල්පනා කරයි. නානාප්රකාර වූ අන්යථාවන් ග්රහණය කෙරෙයි. පඨවිං මඤ්ඤති යනුවෙන් එහෙයින් වදාරණ ලදී.
මෙසේ සිතන ඔහුගේ ඒ මඤ්ඤතා ඕලාරික නයින් දක්වන්නට. යම් මේ කේසා ලෝම ආදි ක්රමයෙන් විසිවැදෑරුම් අධ්යාත්මික පඨවිය කියන ලද්දේය. යම් ඒ පඨවිය විභංගයෙහි “තත්ථ කතමා බාහිර පඨවීධාතු යං බාහිරං කක්ඛලං ඛරිගතං කක්ඛළත්තං කක්ඛලභාවො බහිද්ධා අනුපදිණ්ණං සෙය්යථිදං අයො ලොහං, තිපු සීසං සජ්ඣු මුත්තා මණි වෙළුරියං සංඛො සිලා පවාලං රජතං ජාතරූපං ලොහිතංකො, මසාරගල්ලං තිණං කට්ඨං සක්ඛරං කඨලා භූමිපාසාණො පබ්බතො” යන මෙයින් බාහිර පඨවි ධාතුව වදාරණ ලද්දේ වෙයි. අධ්යාත්මික අරමුණු තුනෙහි යම් නිමිත්ත පඨවියක් වේද එයද ගෙන මෙහි අරුත් පවසනු ලැබේ.
පඨවිං මඤ්ඤති, ත්රිවිධ මඤ්ඤනාවෙන්ම මම ‘පඨවිය’ වෙමියි සිතයි. මගේ පඨවියයි සිතයි. අනුන්ගේ පඨවි යයි සිතයි. පරාගේ පඨවියයි සිතයි. නැතහොත් අධ්යාත්මික පඨවිය තණ්හා මඤ්ඤනාවෙන් සිතයි. මාන මඤ්ඤතාවෙන් සිතයි. දෘෂ්ටි මඤ්ඤනාවෙන් සිතයි. ඒ කෙසේද යත්, මෙතෙම කේසාදීන් කෙරෙහි ඡන්දරාගය උපදවයි. කේශයන් ආශ්වාදනය කෙරෙයි. සතුටු වෙයි. සතුටුවන වචන කියයි. තෘෂ්ණාවෙන් ඇතුළත්ව සිටියි. ලෝම-නිය-දත්-දිවි හෝ වෙනත් ඇලුම් කටයුතු වස්තුවක් හෝ ආශ්වාදනය කෙරෙයි. මෙසේ අජ්ඣත්තික පඨවිය තණ්හා මඤ්ඤනාවෙන් සිතයි. මෙසේ මාගේ කේශයෝ අනාගත කාලයෙහි වන්නාහු නම්, මෙසේ රෝමයෝ වන්නාහු නම් යනාදි ක්රමයෙන් හෝ එහි තණ්හාව පිහිටුවයි.
මම සීලයෙන් හෝ -පෙ- බ්රහ්ම චර්යාවෙන් හෝ මෙසේ සිනිඳු මුදු සියුම් කෙස්කළඹක් ඇත්තෙක් වන්නෙමියි යනාදී ක්රමයෙන් හෝ නොලැබූ කේශයන්ගේ ලැබීම පිණිස සිත පිහිටුවයි. මෙසේ අජ්ඣත්තික පඨවිය මාන මඤ්ඤනාවෙන් සිතයි.
එසේම තමාගේ කේශාදීන්ගේ සම්පත්තිය හෝ විපත්තිය නිසා මම ශ්රේෂ්ඨයෙක් වෙමියි හෝ මම සමානයෙක් වෙමියි හෝ මම හීනයෙක් වෙමියි හෝ මානය උපදවයි. මෙසේ අඣත්තික පඨවිය ගැන මාන මඤ්ඤනාවෙන් සිතයි.
“තං ජීවං තංසරීරං” මෙහි ආවා වූ ක්රමයට කෙස් ජීවයයි ගනියි. ලෝමාදීන් පිළිබඳවද මේ ක්රමය මැයි. මෙසේ අජ්ඣත්තික පඨවිය දෘෂ්ටි මඤ්ඤනාවෙන් සිතයි.
නැතහොත් “යා චෙව ඛො පන අජ්ඣත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවිධාතු පඨවිධාතුරෙවෙසා නං නෙතං මම” (යම් අජ්ඣත්තික පඨවි ධාතුවක් වේද, යම් බාහිර පඨවි ධාතුවක් වේ ද, මෝ තොමෝ පඨවි ධාතුව වන්නීය. ඒ පඨවි ධාතුව මගේ නොවෙයි.) යන මේ පැවැත්මට විරුද්ධ අර්ථයෙන් කේසාදි ක්රමයෙන් ප්රභේදගත වූ අජ්ඣත්තික පඨවි ධාතුව මෙය මගේය මේ තෙම මම වෙමි මේ තෙම මගේ ආත්මය යයි දැඩිව ගනියි. මේ අයුරින් අජ්ඣත්තික පඨවිය දිට්ඨි මඤ්ඤනාවෙන් සිතයි. මෙසේ පළමුකොට අජ්ඣත්තික පඨවිය ත්රිවිධ මඤ්ඤනාවෙන් සිතයි.