සුත්ත නික්ඛෙප
සබ්බධමම මූලපරියාය යනාදි නයින් බුදුරදුන් විසින් තබන ලද සූත්‍රයාගේ වර්ණනාවට දැන් අවකාශ පැමිණියේය. ඒ මේ සූත්‍ර වර්ණනාව වනාහි යම් හෙයකින් සූත්‍ර නික්ඛෙප (=බැසගැනීම්) විමසා කියනු ලබන කල්හි එය පැහැදිලි වෙයි. එහෙයින් පළමුකොට සූත්‍ර නික්ඛෙපයන් විමසන්නෙමු. සූත්‍ර නික්ඛෙප හතරකි.
1. අත්තජ්ඣාසය
2. පරජ්ඣාසය
3. පුච්ඡාවසික
4. අට්ඨුප්පත්ති යනුයි.
1. ඔවුන් අතුරෙහි යම් සූත්‍ර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන් විසින් ආරාධනා කරනු නොලැබ හුදු තමන් වහන්සේගේම අදහසින්ම වදාළ සේක් ද, (එවැනි සූත්‍රයෝ අත්තජ්ඣාසය නම් වේ.) අත්තජ්ඣාසය සූත්‍රයෝ නම්:- ආකද්ධෙඛය්‍ය සුත්ත, වත්‍ථ සුත්ත, මහාසතිපට්ඨාන සුත්ත, මහාසළායතන විභංග සුත්ත, අරියවංස සුත්ත, සම්මප්පධාන සුත්තභාරකය, ඉද්ධිපාද, ඉද්ධිබල, බොජ්ඣංග, මග්ගඞ්ග සුත්තහාරක මේ ආදි සුත්තයෝය.
2. යම් සූත්‍ර කෙනෙක් “පරිපක්කා ඛො රාහුලස්ස විමුත්ති පරිවාචනීයා ධම්මා යන්නූනාහ. රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙය්‍යං” මෙසේ අන්‍යයන්ගේ අදහස ද, කැමැත්ත ද, සිත ද, ප්‍රාර්ථනාව ද අවබෝධ කරන බව ද දැන පරජ්ඣාසය වසයෙන් වදාරණ ලද්දාහු ද එවැනි සූත්‍රයෝ පරජ්ඣාස නික්ඛෙපයෝ නම් වෙති. එවැනි පුත්‍රයෝ නම් චුල්ල රාහුලොවාද සුත්ත, මහා රාහුලෝවාද සුත්ත, ධම්ම චක්කප්පවත්තන සුත්ත, ධාතු විභංග සුත්ත, මේ ආදි සුත්තයෝ වෙති. එම සුත්තයෝ පරජ්ඣාසය නික්ඛෙපයට අයත් වූවාහු වෙති.
3. බුදුරදුන් ඉදිරියට පැමිණි සිව්පිරිසය. චතුර් වර්ණයෝය. නාගයෝය. ගරුඬයෝ ගාන්‍ධර්වයෝය. අසුරයෝය. යක්‍ෂයෝය. සතරවරම් රජදරුවෝය. තාවතිංස ආදී දෙවියෝය. මහාබ්‍රහ්මය යන ආදීහු “බොජ්ඣංග බොජ්ඣංගා භන්තෙ වුච්චන්ති නීවරණා නීවරණාති භන්තෙ වුච්චන්ති ඉමෙ නුඛො භන්තෙ පඤ්චුපාදානක්ඛන්‍ධා කිංසූධ විත්තං පුරිසස්ස සෙටඨං” යනාදි ක්‍රමයෙන් ප්‍රශ්න විචාරති. මෙසේ අසනු ලැබූ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ යම් බොජ්ඣංග සංයුත්ත ආදීහු වෙත් ද අන්‍ය වූත් දේවතා සංයුත්ත, මාර සංයුත්ත, බ්‍රහ්ම සංයුත්ත, සක්කපඤ්හ, චුල්ලවෙදල්ල, මහාවෙදල්ල, සාමඤ්ඤඵල, ආලවක, සුචිලෝම, සුත්ත ආදි යම් සූත්‍ර කෙනෙක් වෙත් ද ඔවුහු පුච්ඡාවසික සුත්ත නික්ඛෙපයට අයත් වෙති.
4. යම් සූත්‍රයක් වනාහි උපන් කරුණක් නිමිතිකොට දෙසන ලද්දේ ද, ඔවුහු නම් ධම්මදායාද, චූලසීහනාද, වත්‍ථුපම, පුත්තමංසූපම, දාරුක්ඛන්‍ධූපම, අග්ගික්ඛන්‍ධූපම, ඵෙණපිණ්ඩූපම, පාරිච්ඡත්තකූපම, යන මේ ආදී සුත්තයෝය. ඔවුහු අත්‍ථුප්පත්ති නික්ඛෙපයට අයත් වූවාහු වෙති. මෙම සූත්‍රය ද භාග්‍යවතුන් වහන්සේ අට්ඨුප්පත්තියක් නිසා දේශනා කරන ලදී.
කවර කාරණයක් නිසාද යත්, උගත්කම නිසා ඇතිකර ගත් මානයක් නිසාය. ත්‍රිවේදයේ පරතෙරට ගිය බ්‍රාහ්මණයන් පන්සිය දෙනෙක් පසුකලෙක බුදුරදුන්ගෙන් බණ අසා පස්කම් සැපතෙහි ආදිනව සහ පැවිද්දෙහි අනුසස් දක්වමින් - බුදුරදුන් වෙත පැවිදිව නොබෝ කලකින් සියලු බුදුවදන් ඉගෙන පර්යාප්තිය නිසා මානය ඉපදවූහ. යමක් යමක් භාග්‍යවතුන් වහන්සේ කියත්ද ඒ ඒ දෙය අපි වහා දනිමු. භාග්‍යවතුන් වහන්සේ වූ කලී ත්‍රිලිංගයෙන් චතුර්විධ පදයන් සප්ත විභත්තීන්ගෙන් අන්‍ය වූ කිසිවක් නො වදාරති. මෙසේ වදාළ කල්හි ද, අපට ගැටමුසු තැනක් නැත. මේ හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැත්තේ, එතැන්පටන් උපස්ථානයට ද ධර්මශ්‍රවණයට ද නිතර නොයති.
බුදුරජාණන් වහන්සේ මොවුන්ගේ සිත්හසර දැන මොවුන්ගේ මෙම මාන නමැති හුල උගුලුවා නොදමා මාර්ග ඵලයක් ලබාගැනීමේ අභව්‍යයෝ යයි දැන, ඔවුන්ගේ උගත්කම නිසා උපන් මානය අට්ඨුප්පත්තිය කොට දේශනාවෙහි කුසල වූ තථාගතයන් වහන්සේ මන්බිඳුනු සඳහා “සබ්බ ධම්ම මූලපරියාය” යනුවෙන් දේශනාව පටන්ගත් සේක.