අන්ධකාරයට ප්‍රතිවිරුද්ධ වූ පහන් එළියෙන් අන්ධකාරය ප්‍රහාණය වේද, ඒ ඒ විදසුන් නැණින් ඒ ඒ කෙලෙස් අංගයන්ගේ ප්‍රහාණය වේද, ඒ කෙසේද යත්, නාමරූප වවත්‍ථානයෙන් (නාම රූප ධර්මයන් වෙන්කොට බැලීමෙන්) සක්කාය දිට්ඨිය ද, ප්‍රත්‍ය විමසා බැලීමෙන් අහේතු විෂම හේතු දෘෂ්ටින්ගේ ද ප්‍රත්‍ය පරිග්ගහයෙන් (ඒ ප්‍රත්‍යයන් විමසා බැලීමෙන්ම) අපර භාගයෙහි කඞ්ඛාවිතරණ ඤාණයෙන් සැකයන්ගේ ද නාමරූප ධර්මයන්ගේ කලාප සම්මර්ෂණයෙන් මමය මාගේය යන දෘෂ්ටින්ගේ ද, මාර්ග අමාර්ග වෙන්කර බැලීමෙන් අමාර්ගයෙහි මාර්ගය යන සංඥාවෙන් ද උදයානුපස්සනාවෙන් උච්ඡේද දෘෂ්ටියේ ද, වයානුපස්සනාවෙන් ශාස්වත දෘෂ්ටියගේද, භයතු පට්ඨාන පස්සනාවෙන් භය සහිත වූ (උපාදාන ස්කන්ධයෙහි) අභය සංඥාවගේ ද නිබ්බිදානු පස්සනාවෙන් ඇලීමේ සංඥාවෙන්ද, මුඤ්චිතු කම්‍යතා ඤාණයෙන් උපෙක්ඛා ඤාණයෙන්, අනපෙක්ඛාවගේ ද අනුලෝම ඤාණයෙන් ධම්මට්ඨිතියෙහි හා නිවනෙහි ප්‍රතිලෝම භාවයාගේ ද, ගෝත්‍රභූ ඤාණයෙන් සංස්කාර නිමිති ගැනීමේ ද ප්‍රහානය වේ. මේ තදංග ප්‍රහාණය නම් වේ.
යම් ඒ උපචාර අප්පනා භේදගත සමාධිය හේතුවෙන් පවත්නා නීවරණ ධර්මයන් කෙරෙන් කළයේ පහරින් දිය මතුපිට සෙවල මෙන් ඒ ඒ නීවරණ ධර්මයන්ගේ ප්‍රහාණය වේ. මෙය විෂ්කම්භන ප්‍රහාණ නම් වේ.
සතර ආර්ය මාර්ග වැඩූ බැවින් මාර්ගවත් වූ තම සන්තානයෙහි දිට්ඨිනගතානං පහානාය, යනාදී නයින් වදාළ සමුදය පක්‍ෂයෙහි වූ කෙලෙස් සමූහයාගේ නැවත හට නොගන්නා වූ ස්වරූපයෙන් යම් ප්‍රහානයෙක් වේද එය සමුච්ඡේද ප්‍රහාණ නම් වේ.
ඵල ක්‍ෂණයෙහි කෙලෙසුන්ගේ යම් සංසිඳෙන බවක් වේද, එය පටිපස්සද්ධි පහාණ නම් වේ. සියලු සංඛත ධර්මයන්ගෙන් බැහැර වූ බැවින් ප්‍රහීණ වූ සියලු සංස්කාරයන් ඇති යම් නිවනක් වේද, මෙය නිස්සරණ ප්‍රහාණ නම් වේ.
මේ සියලු ප්‍රහාණයෝ ත්‍යාගාර්ථයෙන් ප්‍රහාණද, හික්මීම් අරුතින් විනය ද වේ. එහෙයින් ප්‍රහාණ විනය යයි කියනු ලැබේ. නැතහොත් ඒ ඒ ප්‍රහාණ ඇත්තහු ඒ ඒ විනයාගේ සම්භවය ඇතිවන බැවින් මෙය ප්‍රහාණ විනයයි ද කියනු ලැබේ. එසේම මේ ප්‍රහාණ විනය ද පස් අයුරකින් ප්‍රභේද ඇත්තේ වේ.
මෙය සැකෙවින් ද්විධ වේ. විස්තර වශයෙන් දශවිධ වූද විනය භින්න සංවර ඇති හෙයින් ද ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ නොකළ හෙයින්ද යම්හෙයකින් මේ අශ්‍රැතවත් පුථුජ්ජනයාට නැත්තේ ද එහෙයින් “අභාවතො තස්ස අයං අවිනීතොති වුචචති” යනුවෙන් කියන ලදී. “සප්පුරිසානං අදස්සාවී සප්පුරිස ධම්මස්ස අකොවිදො සප්පුරිය ධම්මෙ අවිනීතො” යන මෙහිද මේ ක්‍රමය මැයි. මෙහි අර්ථ වශයෙන් නානා බවක් නැත්තේය.
එහෙයින් කියන ලදී. මෙහි ආර්යයෝ යමෙක්හු වෙත් ද, ඒ සත්පුරුෂයෝත් ඔවුහුමය. ඒ සත්පුරුෂයෝ යමෙක්හු වෙත්ද, ඒ ආර්යයෝත් ඔවුහුම වෙත්. යමක් එම ආර්යයන්ගේ ධර්මය වේ ද, සත්පුරුෂයන්ගේ ධර්මයත් එයමයි. යමක් සත්පුරුෂයන්ගේ ධර්මය වේද, ආර්යයන්ගේ ධර්මයත් එයමය. යම් ආර්ය විනයෝ වෙත්ද, සත්පුරුෂ විනයෝත් ඔවුහුමය. යම් ඒ සත්පුරුෂ විනයෝ වෙත්ද, ආර්ය විනයෝත් ඔවුහුම වෙත්. ආර්යයෝ යයිද, සත්පුරුෂයෝ යයිද, ආර්ය ධර්මයයි ද, සත්පුරුෂ ධර්මයයි ද ආර්ය විනය යයිද සත්පුරුෂ විනය යයි ද ඒකාංගයෙහි වූ එක් වූ ඒකාර්ථ වූ සම වූ සමභාග වූ එයින් හටගත්තේ හෝ එයින් අන්‍ය වූයේ හෝ වෙයි.
කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ “සබ්බ මූල පරියායං වො භික්ඛවෙ දෙසෙස්සාමි” යනුවෙන් වදාරා එය දේශනා නොකොටම, “ඉධ භික්ඛවෙ අස්සුත වා පුථුජ්ජනො අරියානං අදස්සාවී” යයි මෙසේ පුථුජ්ජනයා දැක්වූ සේක් ද, පුද්ගල අධිෂ්ඨාන ධර්ම දේශනාවෙන් එම අරුත ප්‍රකට කරනු පිණිස යැ.
චතුර්විධ දේශනාවෝ: භාග්‍යවතුන් වහන්සේගේ ධම්ම අධිට්ඨාන ධර්මදේශනා, ධම්ම අධිට්ඨාන පුග්ගල දේශනාය, පුග්ගල අධිට්ඨාන පුග්ගල දේශනාය, පුග්ගල අධිට්ඨාන ධර්ම දේශනා යයි ධම්ම පුග්ගල වශයෙන් දේශනාවෝ චතුර්විධ වෙති.