8. පඨමකුණ්ඩලීවිමාන වර්ණනා
අලංකතො මල්‍යධරො සුවත්‍ථො - යනුවෙන් ආරම්භ වන්නේ කුණ්ඩලී විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි දෙඅග සවුවෝ තවත් භික්‍ෂු පිරිවර කොට ඇතිව කාසි රටෙහි සැරිසරමින් හිරු බැස යන වේලේ එක්තරා විහාරයකට පැමිණියාහුය. දෑගසව්වන් වැඩි බව ආරංචි වූ ඒ විහාරයට අයත් ගොදුරු ගමේ එක්තරා උපාසකයෙක් තෙරුන් වෙත එළඹ වැඳ පා දෙවීමට ජලය පාවල ගෑමට තෙල් ඇඳ පුටු ඇතිරිලි ආදිය සපයා තමන්ගේම අදහස අනුව ආරාධනා කොට දෙවන දින මහා දන් පැවැත්වීය. තෙරවරු ඔහුට අනුමෙවෙනි බණ වදාරා නික්ම වැඩියාහු වෙති. ඒ උපාසක තෙම පසුකලෙක කලුරියකොට තව්තිසා දෙව්ලොව රන් විමනක උපන්හ. ආයුෂ්මත් මුගලන් තෙරුන් දෙව්ලෝ චාරිකාවේ සැරිසරන්නේ ඒ උපාසකයා හමු වී මේ ගාථාවලින් තොරතුරු විචාළේය.
අලංකාර ලෙස පීරා සකස් කරන ලද කෙස්කළඹක් ඇති මනාව ඔපමට්ටම් කරන ලද මණිකොඬොල් පැළඳ දිව්‍යමය වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී අනේකවිධ රත්නයන්ගෙන් නිමා වූ පාදාභරණාදියෙන් සැරසී, මේ දිව්‍ය විමානයේ ජෝතිමත්ව චන්ද්‍රයා මෙන් බබලමින් සිටී.
මනා රූ ඇති දෙවඟනෝ වීණා වාදනය කරමින් නටමින් ඔබව සතුටු කරවයි. නැටුම් ගැයුම්වලින් ප්‍රීතිමත්ව සිටින මහානුභාව සම්පන්න ඔබ මේ අන්දමේ වර්ණයක් හා සම්පත් ලද්දේ කවර කුශල කර්මයකින්ද?
ඒ දිව්‍ය පුත්‍රයා මුගලන් හිමියන්ගේ කරුණු විමසීමට පිළිතුරු දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.
මම මිනිස්ලොව මිනිසකුව ඉපදී සිටියදී සීලවන්ත වූ විද්‍යාචරණ ගුණයන්ගෙන් පරිපෝෂිත වූ බහුශ්‍රැත වූ තණ්හාව දුරුකලා වූ ශ්‍රමණයන් වහන්සේලා වෙත ආහාර ද බීම වර්ග ද මනාකොට සකසා මහත් සේ දන් දුන්නෙමි.
ඒ කුශල කර්මයෙන් මේ අන්දමේ සම්පත් ද මේ අන්දමේ ප්‍රභාෂ්වර වූ ශරීර වර්ණයක් ද ලද්දෙමි.
එහි සුකුණ්ඩලි අලංකාර කරන ලද දැකුම්කළු වූ කෙස්කළඹ, සකුණ්ඩලී කියාද සඳහන් වේ. දැකුම්කලු බොකුටු ඇත්තා සකුණ්ඩලි එවැනි බොකුටු හිසකෙස් ඇත්තී සකුණ්ඩලී, ඔවුනොවුන්ට ද තොපටද සුදුසු වූ කොඩොල් යන අර්ථයි. කප්පිත කෙසමස්සු මනාකොට සැරසූ කෙස් රවුල් ආමුත්ත හත්‍ථාහරණො ඇඟිලි අත් ආදියෙහි පළඳින ලද ආභරණ ඇති
තණ්හක්‍ඛයුප්පන්තෙ තෘෂ්ණාව ක්‍ෂය කළ අර්හත්වයට නිවනට පැමිණි යන අර්ථයි. ඉතිරි කොටස පෙර කී ආකාරයෙනි.
කුණ්ඩලී විමාන වර්ණනාව නිමියේ ය.
9. දුතියකුණ්ඩලීවිමාන වර්ණනා
අලංකතො මල්‍යධරො සුවාසො ආදි ගාථාවෙන් ආරම්භ වන්නේ දෙවැනි කුණ්ඩලී විමාන වස්තු කථාවයි. එම විමාන වස්තුවේ උත්පත්තිය කෙසේ සිදුවීද යත්, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවනාරාමයේ වැඩවසන සේක. ඒ සමයෙහි දෙ අග සවුවෝ කාසි ජනපදයේ සැරිසරමින් සිට හිරු බැස ගිය වේලේ එක්තරා විහාරයට වැඩම කළාහු වෙති. ඉතිරි සම්පූර්ණ විස්තරය කුණ්ඩලී විමාන වස්තු වර්ණනාවේ කී පරිදිමය. සියල්ල සමාන වේ.
යහපත් සේ තබන ලද රැළි වැටුණු කේශ කල්‍යාණය හෙවත් දැකුම්කළු සිත් ඇදගන්නා වූ කේශ කලාපයක් ඇති, අලංකාර වූ දිව්‍යමය වූ වස්ත්‍රාභරණයන් ද මැණික්මය වූ කුණ්ඩලාභරණයන්ගෙන් ද අනේකවිධ රත්නයන්ගෙන් නිම වූ අත්වල පැළඳි ආභරණයන්ගෙන් ද, පාද ජාලා පාදකිංකිණි ආදී පාදාභරණයන්ගෙන් ද සැරසී දිව්‍ය විමානයෙහි චන්ද්‍රයා සේ බැබලීමෙන් සිටී.
අට අට පමණ මනා වූ හික්මුණා වූ දිව්‍යාංගනාවෝ ස්ත්‍රී අලංකාරයෙන් සැරසී වීණා ගායනා කරමින් ද තාලයට අනුව පාද තබා නටමින් ද මහත් සේ සැප අනුභව කරමින් ඔබව සතුටු කරවති. මහාර්ධී වූ දේවතාවිය ඔබගේ ශරීර වර්ණයද දසදිසා බබුළුවයි.
මෙවැනි මහානුභාව වූ දිව්‍ය ශරීරයක් ද සැපසම්පතින් ද සුව සැපත් ද ලැබීමට ඔබ විසින් කළා වූ කුශල කර්මය කවරේද?
ඕ දෙව් දූ තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද පුණ්‍යකර්මය විස්තර කළාය. මා විසින් යම්කිසි කර්මයක් කළේද මේ එහි ප්‍රතිඵල විපාක වන්නේය.
මම මිනිස්ලොව මිනිසකු වී ඉපිද සිටිද්දී සීලවන්ත වූ බහුශ්‍රැත වූ යසර්ශී වූ විද්‍යාචරණයන්ගෙන් සම්පූර්ණ වූ යහපත් ඇවතුම් පැවතුම් ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් දැක උන්වහන්සේට මනාව සකස් කළා වූ ආහාරපාන මහත් වූ මනාව පැහැදුණු සිතින් මගේ දෑතින්ම පූජා කළෙමි.
ඒ කුසල කර්මයාගේ ආනිසංසයෙන් විපාක වශයෙන් මේ අන්දමේ ඡවි වර්ණයක් ද සියලු දිසාවන් බබුළුවන ප්‍රභාශ්වරයක් ද ලද්දෙමි.
මින් පෙර නො ඇසූවිරූ දෙයක් නැත.
කුණ්ඩලී විමාන වර්ණනාව නිමියේ ය.
10. උත්තරවිමාන වර්ණනා
යා දෙවරාජස්ස සභා සුධම්මා ආදි වශයෙන් ආරම්භ වන්නේ උත්තර විමාන වස්තුවයි. එහි උත්පත්තිය කෙසේ වීද යත්? අප තථාගතයන් වහන්සේ පිරිනිවන් පා, ධාතුන් බෙදා දී ඒ ඒ තන්හි ස්ථූප පිහිටුවීමෙන් පසුව ධර්ම විනය සංගායනා කිරීමට මහා කාශ්‍යප ස්ථවිරයන් ප්‍රමුඛ කොට මහ තෙරවරුන් නියමකොට වස් විසීමට නියමිත දිනවකවානු පැමිණෙන තෙක් තම තමන්ගේ පිරිස් සමග ඒ තන්හි වාසය කරන්නේ ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් භික්‍ෂූන් සමග සේතව්‍ය නුවර පැමිණ ඇට්ටේරිය වනයෙහි විසූහ. ඉක්බිති පායාසි රාජඤ්ඤ තෙමේ තෙරුන් වහන්සේ එහි වසන බව දැන, මහජනයා විසින් පිරිවරන ලදුව උන්වහන්සේ වෙත එළඹ, පිළිසඳර කථාකොට අසුන් ගත්තේ තමන් අදහන පිළිගත් දෘෂ්ටිය ප්‍රකාශ කළේය. ඉක්බිති තෙරුන් වහන්සේ සඳු හිරු ආදිය උපමාවට ගෙන පරලොවක් ඇති බව ප්‍රකාශ කරන්නේ නොයෙක් අත පැතිරී ගිය හේතු උපමාවන්ගෙන් සමන්විතව දෘෂ්ටිගත ගැටළු විසඳමින් නොයෙක් ලෙසින් විචිත්‍ර වූ විසිතුරු වූ පායාසි සූත්‍රය දේශනාකොට ඔහු සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවීය.
හෙතෙමේ පිරිසිදු දෘෂ්ටි ඇත්තෙක් වී මහණ බමුණු දුගී මගී යාචකාදීන්ට දන් දෙමින් උදාර නොවූ අදහසින් කැඳ ඇඹුල් දෙවෙනි කොට නිවුඩු සාලේ බත් දෙයි. දළ පිළී හා මහත් දහ ඇති වස්ත්‍ර දන් දෙයි. මෙසේ සකස් නොකොට අක්‍රමානුකූලව දන් දී මරණින් මතුව චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයේ හීන දේව කුලිකයන්ගේ සහභාවයට ගියේය. එකල්හි ඔහුගේ දාන කටයුතුවලට උදව් දුන් උත්තර නම් මානවකයා එක් දිනක් මනාව සකස්කොට දන් දී තව්තිසා දෙව්ලොව දොළොස් යොදුනක් ප්‍රමාණ වූ දෙව් විමනක උපන්නේය. හෙතෙමේ කරන ලද පින්කම්වල ආනුභාවයෙන් බැබළෙමින් විමානය සමගම කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ වෙත පැමිණ විමානයෙන් බැස පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳගෙන සිටියේය. ඒ ස්ථවිරයෝ ‘යා දෙවරාජස්සා’ ආදි ගාථාවන් මගින් මෙසේ විචාළහ.