9. දුතියකුණ්ඩලීවිමාන වර්ණනා
අලංකතො මල්යධරො සුවාසො ආදි ගාථාවෙන් ආරම්භ වන්නේ දෙවැනි කුණ්ඩලී විමාන වස්තු කථාවයි. එම විමාන වස්තුවේ උත්පත්තිය කෙසේ සිදුවීද යත්, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවනාරාමයේ වැඩවසන සේක. ඒ සමයෙහි දෙ අග සවුවෝ කාසි ජනපදයේ සැරිසරමින් සිට හිරු බැස ගිය වේලේ එක්තරා විහාරයට වැඩම කළාහු වෙති. ඉතිරි සම්පූර්ණ විස්තරය කුණ්ඩලී විමාන වස්තු වර්ණනාවේ කී පරිදිමය. සියල්ල සමාන වේ.
යහපත් සේ තබන ලද රැළි වැටුණු කේශ කල්‍යාණය හෙවත් දැකුම්කළු සිත් ඇදගන්නා වූ කේශ කලාපයක් ඇති, අලංකාර වූ දිව්‍යමය වූ වස්ත්‍රාභරණයන් ද මැණික්මය වූ කුණ්ඩලාභරණයන්ගෙන් ද අනේකවිධ රත්නයන්ගෙන් නිම වූ අත්වල පැළඳි ආභරණයන්ගෙන් ද, පාද ජාලා පාදකිංකිණි ආදී පාදාභරණයන්ගෙන් ද සැරසී දිව්‍ය විමානයෙහි චන්ද්‍රයා සේ බැබලීමෙන් සිටී.
අට අට පමණ මනා වූ හික්මුණා වූ දිව්‍යාංගනාවෝ ස්ත්‍රී අලංකාරයෙන් සැරසී වීණා ගායනා කරමින් ද තාලයට අනුව පාද තබා නටමින් ද මහත් සේ සැප අනුභව කරමින් ඔබව සතුටු කරවති. මහාර්ධී වූ දේවතාවිය ඔබගේ ශරීර වර්ණයද දසදිසා බබුළුවයි.
මෙවැනි මහානුභාව වූ දිව්‍ය ශරීරයක් ද සැපසම්පතින් ද සුව සැපත් ද ලැබීමට ඔබ විසින් කළා වූ කුශල කර්මය කවරේද?
ඕ දෙව් දූ තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද පුණ්‍යකර්මය විස්තර කළාය. මා විසින් යම්කිසි කර්මයක් කළේද මේ එහි ප්‍රතිඵල විපාක වන්නේය.
මම මිනිස්ලොව මිනිසකු වී ඉපිද සිටිද්දී සීලවන්ත වූ බහුශ්‍රැත වූ යසර්ශී වූ විද්‍යාචරණයන්ගෙන් සම්පූර්ණ වූ යහපත් ඇවතුම් පැවතුම් ඇති ශ්රමණයන් වහන්සේ නමක් දැක උන්වහන්සේට මනාව සකස් කළා වූ ආහාරපාන මහත් වූ මනාව පැහැදුණු සිතින් මගේ දෑතින්ම පූජා කළෙමි.
ඒ කුසල කර්මයාගේ ආනිසංසයෙන් විපාක වශයෙන් මේ අන්දමේ ඡවි වර්ණයක් ද සියලු දිසාවන් බබුළුවන ප්රභාශ්වරයක් ද ලද්දෙමි.
මින් පෙර නො ඇසූවිරූ දෙයක් නැත.
කුණ්ඩලී විමාන වර්ණනාව නිමියේ ය.
10. උත්තරවිමාන වර්ණනා
යා දෙවරාජස්ස සභා සුධම්මා ආදි වශයෙන් ආරම්භ වන්නේ උත්තර විමාන වස්තුවයි. එහි උත්පත්තිය කෙසේ වීද යත්? අප තථාගතයන් වහන්සේ පිරිනිවන් පා, ධාතුන් බෙදා දී ඒ ඒ තන්හි ස්ථූප පිහිටුවීමෙන් පසුව ධර්ම විනය සංගායනා කිරීමට මහා කාශ්‍යප ස්ථවිරයන් ප්රමුඛ කොට මහ තෙරවරුන් නියමකොට වස් විසීමට නියමිත දිනවකවානු පැමිණෙන තෙක් තම තමන්ගේ පිරිස් සමග ඒ තන්හි වාසය කරන්නේ ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් භික්ෂූන් සමග සේතව්‍ය නුවර පැමිණ ඇට්ටේරිය වනයෙහි විසූහ. ඉක්බිති පායාසි රාජඤ්ඤ තෙමේ තෙරුන් වහන්සේ එහි වසන බව දැන, මහජනයා විසින් පිරිවරන ලදුව උන්වහන්සේ වෙත එළඹ, පිළිසඳර කථාකොට අසුන් ගත්තේ තමන් අදහන පිළිගත් දෘෂ්ටිය ප්‍රකාශ කළේය. ඉක්බිති තෙරුන් වහන්සේ සඳු හිරු ආදිය උපමාවට ගෙන පරලොවක් ඇති බව ප්‍රකාශ කරන්නේ නොයෙක් අත පැතිරී ගිය හේතු උපමාවන්ගෙන් සමන්විතව දෘෂ්ටිගත ගැටළු විසඳමින් නොයෙක් ලෙසින් විචිත්‍ර වූ විසිතුරු වූ පායාසි සූත්‍රය දේශනාකොට ඔහු සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවීය.
හෙතෙමේ පිරිසිදු දෘෂ්ටි ඇත්තෙක් වී මහණ බමුණු දුගී මගී යාචකාදීන්ට දන් දෙමින් උදාර නොවූ අදහසින් කැඳ ඇඹුල් දෙවෙනි කොට නිවුඩු සාලේ බත් දෙයි. දළ පිළී හා මහත් දහ ඇති වස්ත්‍ර දන් දෙයි. මෙසේ සකස් නොකොට අක්රමානුකූලව දන් දී මරණින් මතුව චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයේ හීන දේව කුලිකයන්ගේ සහභාවයට ගියේය. එකල්හි ඔහුගේ දාන කටයුතුවලට උදව් දුන් උත්තර නම් මානවකයා එක් දිනක් මනාව සකස්කොට දන් දී තව්තිසා දෙව්ලොව දොළොස් යොදුනක් ප්‍රමාණ වූ දෙව් විමනක උපන්නේය. හෙතෙමේ කරන ලද පින්කම්වල ආනුභාවයෙන් බැබළෙමින් විමානය සමගම කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ වෙත පැමිණ විමානයෙන් බැස පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳගෙන සිටියේය. ඒ ස්ථවිරයෝ ‘යා දෙවරාජස්සා’ ආදි ගාථාවන් මගින් මෙසේ විචාළහ.
එම්බා දිව්‍ය පුත්‍රය, තව්තිසා වැසි දෙවියන් රැස්වන්නා වූ සක්දෙව් රජුගේ සුධර්මා නම් දිව්‍යසභාව මෙන් ඔබගේ විමානය අහසෙහි දීප්තිමත්ව බබළන්නේය. ඔබද දෙවියන් පිරිවරා බබළන ශක්‍රයා මෙන් දිස්වේ.
මහානුභාව වූ දේව පුත්‍රය, මෙබඳු ආනුභාව සම්පන්න දිව්‍ය සම්පත් ලබන්නට ඔබ විසින් කරන ලද කුසල කර්මය කවරේද?
ඒ දේවපුත්‍ර තෙමේ තමන්ගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද පුණ්‍ය කර්මයන් විස්තර කරමින්
මම මිනිස් ලොව මිනිසකුව සිටියදී පායාසි රාජඤ්ඤගේ කුදුමහත් කටයුතුවල නියැලී හුන්නෙමි. ඒ සමයෙහි දන් දීමෙහි සතුටු සිත් ඇතිව කර්මපල අදහමින් ලැබුණු ධනය සැලසුම් සහගතව වියදම් කොට සීලවන්ත වීමි. එසේ සිල්වත් වී ආහාරපාන වර්ග මනාව සකස්කොට පහන් සිතින් යුතුව සිල්වතුන්ට දන් දුනිමි.
ඒ දානමය කුසල කර්මයාගේ විපාක වශයෙන් මේ අන්දමේ ඡවි වර්ණයත්, සියලු දිසා බබලවන ප්‍රභවයක් හා මේ සියලු සම්පත් ද ලදිමි.
මෙසේ ඒ දේවපුත්‍රයා මේ අන්දමට ප්‍රශ්නයට පිළිතුරු දෙති.
එහි දේවරාජස්ස ශක්‍රයාගේ භා සුධම්මා නම් වූ රැස්වීම් ශාලාව සන්ථාගාරය යත්ථා යනු යම් සභාවක අච්ඡතී හිඳියි. දෙවසංඝො තාවතිංස දෙව්ලොව දිව්‍ය සමූහයා සමග්ගො සමග කැටුව රැස්වීම.
පායාසිස්ස අහොසි මාණවො පායාසි රාජඤ්ඤගේ කෘත්යයයන්ට උපකාරි වූ (දළරු) මානවකයා උත්තර නම් විය. සංවිභාග අකාසිං මම වූ කලී මා ලත් දේ නොකා නොබී එකතු කළ ධනය දාන මුඛයෙහි වියදම් කිරීම වශයෙන් මනාව සැලසුම් කළෙමි. ‘අන්නඤච පානඤ්ච පරිච්චජන්තො’ වදන් ශේෂයයි. දානං විපුල අදාසි කෙසේ සක්කච්චං කෙබඳු වේද, අන්නඤ්ව පානඤ්ච යනු යෙදිය යුතුය.
උත්තර විමාන වර්ණනාව නිමියේ ය.
සයවෙනි වර්ගය සමාප්තයි.
7. සුනික්ඛිත්ත වර්ගය
1. චිත්‍රලතාවිමාන වර්ණනා
යථා වනං චිත්තලතං පභාසති ආදී ගාථාවෙන් දැක්වෙනුයේ චිත්තලතා විමාන වස්තු විස්තරයයි. එහි උත්පත්ති කතාව කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩ වසති. ඒ කාලයෙහි සැවැත්නුවර එක්තරා උපාසක කෙනෙක් දිළිඳු වූයේ භෝග සම්පත් හීන වූයේ අනුන්ට බැළ මෙහෙවර කොට ජීවත් වෙති. හෙතෙම ශ්‍රද්ධාවන්තය. තුණුරුවන් කෙරෙහි ප්‍රසන්නය. වියපත් වූ මව්පියන් පෝෂණය කරන්නේ, ‘ස්ත්‍රීහු නම් පතිකුලයෙහි පිහිටියාට පසු ඉසුරු සම්පත් බොහෝසෙයින් බලාපොරොත්තු වෙති. වැඩිහිටි නැදි මයිලන්ට හෝ ස්වාමියාට නිසි සේ සත්කාර නොකරති. යහපත් ගති පැවතුම් ඇති ස්ත්‍රීන් නම් දුර්ලභමය.’ එබැවින් මව්පියන්ගේ සිත් සතන් පිනවමින් දුක් සන්සිඳුවමින් විවාහයක් කර නොගෙන තමන්ම දෙමාපියන් රැකබලා ගනිමින් උවටැන් කරයි. සිල් රකියි. පෙහෙවස් සමාදන් වෙයි. තම සම්පත් අනුව දන් දෙයි. හෙතෙම පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් පමණ වූ දිව්‍ය විමානයක ඉපදුනේය. ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙයට පෙර කථාවල කී ආකාරයෙන්ම දෙව්ලෝ චාරිකාවල යෙදෙමින් මේ දිව්‍ය පුත්‍රයා වෙත ගොස් ඔහු විසින් පෙර කරන ලද කර්මයන් ගැන මෙම ගාථා මගින් විමසූහ.