4. පඨම උපස්සයදායකවිමාන වර්ණනා
චන්දො යථා විගත වලාහකෙ නභෙ යනු උපස්සදායක විමාන වස්තුවයි. එහි උත්පත්තිය කෙසේ වීද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වසති. ඒ සමයෙහි එක්තරා භික්ෂුවක් ග්‍රාමීය ආවාසයක වස් වසා වස් පවාරණයෙන් පසුව භාග්‍යවතුන් වැඳීමට රජගහ නුවරට එන අතරමගදී සවස් භාගයේ එක්තරා ගමකට පිවිස වසන තැනක් සොයා යද්දී එක්තරා උපාසක කෙනෙක් දැක විචාළේය. උපාසකය, පැවිද්දකුට උපාසක කෙනෙක් දැක විචාළේය. උපාසකය, පැවිද්දකුට වසන්නට තරම් යෝග්‍ය තැනක් මේ ගම තිබේද? උපාසකයා පැහැදුනු සිතින් සිය ගෙදරට ගොස් බිරිඳ සමග සාකච්ඡා කර තෙරුන්ට විසීමට සුදුසු ගෝචර තැනක් පිරිසිඳ දැන එය පිරිසිදු කොට එහි අසුන් පනවා පා දෝනාදිය ද පා පුටු ආදි ද තබා තෙරුන් වඩමවා උන්වහන්සේගේ පා සෝදා පහනක් දල්වා ඇඳෙහි ඇතිරිලි අතුරා දුන්නේය. තමාගේ කැමැත්තෙන්ම ආරාධනා කොට දෙවැනි දවසේ තෙරුන්ට වළඳවා ගිලන්පස පිණිස උක්සකුරු බුලත් ද දී තෙරුන් වඩිද්දී පසුගමන් ගොස් නැවතුණේය. කලකට පසුව ඔහුද බිරිඳ ද කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්හ. ඔවුන්ට දොළොස් ගව්වක් විශාල රත්රන් විමානයක් පහළ විය. ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙද්දී මේ විමානය සහ දෙවිවරුන් දැක ගාථා දෙකකින් කරුණු විචාළහ.
පහවූ වළාකුල්වලින් යුතුව අහස් මැද බබළන සඳ සේ දිළිසෙමින් මහත් වූ සෞභාග්‍යයෙන් යුතුව අහසේ ඒ මේ අත ගමන් කරන්නා වූ තොපගේ මේ විමානය අහස් බබළවමින් සිටී.
මහත් වූ දිව්‍ය සෘද්ධියකින් යුතුව වැජඹෙන දිව්‍ය පුත්‍රය, මේ විශාල දිව්‍ය විමානයක් ද දිව්‍ය සම්පත් ලැබීමට හේතු භූත වූ තොපගේ කුසල කර්මය කුමක්ද?
ඒ දේවපුත්‍රයා මේ ගාථාව පැවසීය. තමන් විසින් පූර්ව භවයේ දී කරන ලද කර්මඵලයේ විපාක දක්වයි.
මිනිස්ලොව ඉපිද සිටියදී මම ද මගේ භාර්යාව ද රහත් භික්ෂූන් වහන්සේ නමකට සේනසන ද දාන ගිලන්පස ආදියද ප්‍රසන්න වූ සිතින් පූජා කළෙමු. මනාව සකස්කොට සැදැහැ සිතින් පිරිනැමුවා වූ ඒ කුශල කර්මයේ විපාක වශයෙන් මේ සා මහත් සම්පත් ද විමානයක් ද ලද්දෙමි.
මේ ගාථාවන්හි යමක් කිවයුතු වන්නේ නම් මෙය ඉහත සඳහන් විස්තර අනුව දත යුත්තේය.
උපස්සදායක විමාන වර්ණනාව නිමියේ ය.
5. දුතිය උපස්සයදාකවිමාන වර්ණනා
සුරියො යථා විගතවලාහකෙ නහෙති යනුවෙන් ආරම්භ වන්නේ දෙවැනි උපස්සදායක විමාන වස්තුවයි. එහි උපත කෙසේ වීද කවුරු වෙනුවෙන් උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා වේළුවන විහාරයේ වැඩවසන සමයේ බොහෝ භික්ෂු පිරිසක් ග්‍රාමීය ආවාසයක වස් වැස භාග්‍යවතුන් වහන්සේ දකිනු සඳහා රජගහ නුවර වෙත යන්නේ සවස් කාලයේ ගමකට පිවිසියහ. ඉතිරි විස්තරය අනන්තර විමාන වස්තුව ඉහත කියන ලද විමාන වස්තුව සමානය.
වළාකුලින් ආවරණය නොවූ සූර්යයා අහසේ යම් සේ බබළාද ...
යම්සේ යට සඳහන් කළ විමාන විස්තරය මෙන්ම විස්තරය දත යුතුය.
ශරීර වර්ණයෙන් සියලු දිසාවන් බබළවති.
මේ ගාථාවල අපූර්වත්වයක් හෝ නොවැටහෙන යමක් නැත.
දෙවැනි උපස්සදායක විමාන වර්ණනාවයි.
6. භික්ඛාදායක විමානයි වර්ණනා
උච්චමිදං මණිථූණං විමානං යනු භික්ඛදායක විමානය පිළිබඳ කථාවයි. එය කවුරුන් නිසා කෙසේ උපන්නේද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඇසුරු කරමින් වෙළුවන විහාරයේ වැඩ වසති. ඒ දවස්වල එක්තරා භික්ෂුවක් මහමගට පිළිපන්නේ එක්තරා ගමකට පිඬු පිණිස වැඩමවා එක් ගෙදරක දොරකඩ සිටියේය. ඒ ගෙදර එක් පුරුෂයෙක් ආහාර ගන්නට සූදානම්ව මුහුණ කට සෝදා ආහාර ගනු පිණිස ඉඳගෙන ආහාරපාන ගෙනා කල්හි ඒ භික්ෂුව දැක බෙදාගත් බත් ඒ භික්ෂුවගේ පාත්‍රයෙහි බහාලූයේ කොටසක් ප්‍රමාණවත් යයි කියද්දිත් සියල්ලම පිරිනැමුවේය. ඒ භික්ෂුව අනුමෙවෙනි බණ වදාරා නික්ම ගියේය. පුරුෂයා බඩගින්නේම සිටිමින් මා අනුභව නොකරම භික්ෂුව සියල්ල පූජා කළෙමියි ප්‍රීතිය හා සතුට වින්දේය. හෙතෙම මෑත භාගයෙහි කළුරිය කොට තව්තිසා දෙව්ලොව ඉපදුනේය. ඔහුට දොළොස් යොදුනක රන් විමනක් පහළ විය. ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලෝ චාරිකාවේ සැරිසරන්නේ මහත් වූ දේව ඍද්ධියෙන් බබළන ඒ දෙවියා දැක ඔහුගෙන් කරුණු විමසීය.
වෛධූර්ය මැණික්වලින් තැනූ කුළුණු ඇති, දොළොස් යොදුනක් (හතළිස් අටගව්වක්) විශාල වූ සත්සියයක් පමණ කුළුගෙවල් ඇති රන්රුවන් වලින් තැනූ බිත්ති දොර කවුළු ඇති මේ උදාර වූ විමානය ශෝභාමත්ව බැබළෙයි.