5. දුතිය උපස්සයදාකවිමාන වර්ණනා
සුරියො යථා විගතවලාහකෙ නහෙති යනුවෙන් ආරම්භ වන්නේ දෙවැනි උපස්සදායක විමාන වස්තුවයි. එහි උපත කෙසේ වීද කවුරු වෙනුවෙන් උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා වේළුවන විහාරයේ වැඩවසන සමයේ බොහෝ භික්‍ෂු පිරිසක් ග්‍රාමීය ආවාසයක වස් වැස භාග්‍යවතුන් වහන්සේ දකිනු සඳහා රජගහ නුවර වෙත යන්නේ සවස් කාලයේ ගමකට පිවිසියහ. ඉතිරි විස්තරය අනන්තර විමාන වස්තුව ඉහත කියන ලද විමාන වස්තුව සමානය.
වළාකුලින් ආවරණය නොවූ සූර්යයා අහසේ යම් සේ බබළාද ...
යම්සේ යට සඳහන් කළ විමාන විස්තරය මෙන්ම විස්තරය දත යුතුය.
ශරීර වර්ණයෙන් සියලු දිසාවන් බබළවති.
මේ ගාථාවල අපූර්වත්වයක් හෝ නොවැටහෙන යමක් නැත.
දෙවැනි උපස්සදායක විමාන වර්ණනාවයි.
6. භික්ඛාදායක විමානයි වර්ණනා
උච්චමිදං මණිථූණං විමානං යනු භික්‍ඛදායක විමානය පිළිබඳ කථාවයි. එය කවුරුන් නිසා කෙසේ උපන්නේද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඇසුරු කරමින් වෙළුවන විහාරයේ වැඩ වසති. ඒ දවස්වල එක්තරා භික්‍ෂුවක් මහමගට පිළිපන්නේ එක්තරා ගමකට පිඬු පිණිස වැඩමවා එක් ගෙදරක දොරකඩ සිටියේය. ඒ ගෙදර එක් පුරුෂයෙක් ආහාර ගන්නට සූදානම්ව මුහුණ කට සෝදා ආහාර ගනු පිණිස ඉඳගෙන ආහාරපාන ගෙනා කල්හි ඒ භික්‍ෂුව දැක බෙදාගත් බත් ඒ භික්‍ෂුවගේ පාත්‍රයෙහි බහාලූයේ කොටසක් ප්‍රමාණවත් යයි කියද්දිත් සියල්ලම පිරිනැමුවේය. ඒ භික්‍ෂුව අනුමෙවෙනි බණ වදාරා නික්ම ගියේය. පුරුෂයා බඩගින්නේම සිටිමින් මා අනුභව නොකරම භික්‍ෂුව සියල්ල පූජා කළෙමියි ප්‍රීතිය හා සතුට වින්දේය. හෙතෙම මෑත භාගයෙහි කළුරිය කොට තව්තිසා දෙව්ලොව ඉපදුනේය. ඔහුට දොළොස් යොදුනක රන් විමනක් පහළ විය. ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලෝ චාරිකාවේ සැරිසරන්නේ මහත් වූ දේව ඍද්ධියෙන් බබළන ඒ දෙවියා දැක ඔහුගෙන් කරුණු විමසීය.
වෛධූර්ය මැණික්වලින් තැනූ කුළුණු ඇති, දොළොස් යොදුනක් (හතළිස් අටගව්වක්) විශාල වූ සත්සියයක් පමණ කුළුගෙවල් ඇති රන්රුවන් වලින් තැනූ බිත්ති දොර කවුළු ඇති මේ උදාර වූ විමානය ශෝභාමත්ව බැබළෙයි.
ඔබගේ ශරීර වර්ණය ද සකල දිශාවන්හි ප්‍රභාවය විහිදුවයි. මෙබඳු සම්පත් ලැබීමට ඔබ කවර නම් පුණ්‍යකර්මයක් කළෙහිද?
හෙතෙමේ ද මේ ගාථාවලින් කරුණු පැවසීය. ඒ දේවපුත්‍රයා තමාගේ පෙර කර්මයෙන් විග්‍රහ කරමින්
මම මිනිස්ලොව මිනිසකු වශයෙන් උත්පත්තිය ලබා සිටිද්දී එක් දවසක් ආහාරයෙන් ක්ලාන්ත වූ එක් භික්‍ෂුවක් පිඬු පිණිස ගේ දොරකඩ සිටිනු දැක මා පරිභෝජනයට ගත් ආහාර සතුටු සිතින් උන්වහන්සේට පූජා කළෙමි.
ඒ කුසල කර්මය හේතුවෙන් මේ අන්දමේ සියලු දිසාවන් බබුළුවන ප්‍රභාසම්පන්න ශරීර වර්ණයක් ද මෙම දිව්‍ය සම්පත්තීන් ද ලද්දේ වෙමි.
එහි එකාහං භික්‍ඛං යනු එක් බතකින් යැපෙන්නා වූ එක් භික්‍ෂුවක් යන අර්ථයි. පටිපදායිස්සං පිළියෙළ කළ ආහාරය පිරිනැමුවෙමි. සමංග භත්තෙන ලැබුවා වූ භික්‍ෂාව යන අර්ථයි. මෙසේ ඒ දේව පුත්‍රයා විසින් තමන්ගේ සුචරිත කර්මය මහතෙරුන් සමග පැවසීමෙන් පසුව පිරිවර සහිත ඔහුට දහම් දෙසා මිනිස්ලොවට පැමිණ ඒ පුවත සම්මා සම්බුදුන් වහන්සේට පැවසීය. ශාස්තෲන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන රැස්ව සිටි පිරිසට ධර්මය දෙසූ සේක. ඒ දේශනාව මහජනයාට සාර්ථක දේශනාවක් වූයේය.
භික්‍ඛදායක විමාන වර්ණනාව නිමියේ ය.
7. යවපාලකවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං යනු යව පාලක විමාන වස්තුවයි. එය පහළ වූයේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරුකොට වෙළුවන විහාරයේ වාසය කරති. ඒ සමයෙහි රජගහ නුවර එක්තරා දුගී දරුවෙක් යව කුඹුරක් රකී. හෙතෙම එක් දවසක් උදේ ආහාර වේල සඳහා කොමුපිඬු ලැබ කෙතට ගොස් කන්නෙමියි ඒ කොමුපිඬු ද ගෙන කුඹුරට ගියේය. ගොස් ගසක් මුල වාඩි විය. ඒ වෙලාවේ එක්තරා ක්‍ෂීණාශ්‍රව තෙරනමක් මගට පිළිපන්නේය. ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ මධ්‍යාහ්නයේ එතැනට පිවිස යහ පාලකයා සිටි රුක්මුල වෙත වැඩමවිය. යව පාලකයා වේලාව බලා මෙසේද ස්වාමීනි, ආහාර ලැබුනේදැයි ඇසීය. ස්ථවිරයෝ නිශබ්ද වූහ. හෙතෙම ආහාර නොගත් බව දැන ස්වාමීනි, දැන් මධ්‍යාහ්න වේලේ පිඬු පිණිස හැසිරී දන් වැළඳීමට කල්වේලා නැත. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ කොමු පිඬු ආහාර වශයෙන් පිළිගෙන වළඳවනු මැනවි යනුවෙන් පවසා තෙරුන් වහන්සේට කොමුපිඬු පිළිගැන්වීය. ස්ථවිර තෙමේද ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන ඔහු ඉදිරියේදීම වළඳා අනුමෝදන්කොට නික්ම ගියහ. ඒ දුගී දරුවාද මා විසින් මෙබඳු වූ කොමුපිඬු දානයක් පූජා කළෙමියි සිත පහදවාගෙන සවස් කාලයේ කළුරියකොට තව්තිසා දෙව්ලොව ඉහත කථාවලදී කියන ලද පරිදි මහා සම්පත් ඇතිව සුවිසල් විමානයක උපත ලැබුවේය. ආයුෂ්මත් මුගලන් තෙරුන් වහන්සේ දෙව්ලොවදී මේ දිව්‍ය පුත්‍රයා මුණගැසී ගාථා කිහිපයකින් තොරතුරු විචාළේය.
හාත්පසින් උස්ව නැගුණා වූ මැණික්මය ටැම් ඇත්තා වූ රන්මිණිවලින් කරන ලද මේ විමානයේ සිටිමින් සියළු දිසාවන් බබුලුවන ශරීර වර්ණයකින් ද යුක්ත වූ මහා සම්පත් ඇති දේවපුත්‍රය ඔබ කිනම් පුණ්‍ය කර්මයක් නිසා මේ සා සම්පත් ලැබීද?