3. ඵලදායකවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං යනුවෙන් ඵලදායක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයේ වාසය කරන සේක. එකල්හි බිම්බිසාර රජුට නො කල්හි අඹ කෑමට කැමැත්තක් උපන්නේය. රජ තෙමේ උයන්පල්ලා අමතා කොලනි! මට අඹ කෑමෙහි කැමැත්තක් ඇතිවිය. එහෙයින් මට අඹ ගෙනැත් දෙවයි කීය. දේවයිනි, දැනට අඹ ගස්වල අඹ ගෙඩි නැත. එහෙත් දේවයන් වහන්ස, සුලුකලක් ඉවසන්නේ නම් යම්සේ ඉක්මණින් අඹගස් ඵල දරණ යම් ක්රියාවක් වේද මම එබන්දක් කරමියි උයන්පල්ලා කීය. යහපති, කොලනි, එසේ කරවයි රජු කීය. යම්සේ සුළු කලකදී අඹ ගස්වල කොල හැලෙන්නේ ද, එසේ වනු පිණිස උයන්පල්ලා උයනට ගොස් අඹරුක් මුල්හි වූ පස් ඉවත්කොට, ඒවාට සමානව පෙනෙන පස් ගෙන්වා විසිරවීය. එබඳු ජලයද දැමීය. ඉක්බිති ඒ පස් ඉවත්කොට බොරලු දමන නම් ගස්වල කසට මිශ්ර කළ ස්වාභාවික පස් විසුරුවා මනා ලෙස ජලය දැමීය. එවිට අඹගස් සුලු කලකදී කුඩා මල් කැකුළු, දලු හා මල් කැකුළු මතුකොට දරා සිටියේය. අනතුරුව ගැට හැදී ගෙඩි හටගත්තේය. එහි එක් අඹ රුකෙක මුලින්ම හටගත් ගෙඩි සතර මනෝසීල පැහැයට හුරුව රතු පැහැයෙන් යුතුව සුවඳින් හා රසයෙන් පිරුණේය.
ඒ උයන්පලු තෙමේ ඒවා රැගෙන රජුට දෙන්නෙමියි සිතා යන්නේ අතරමගදී පිඬුසිඟා වඩින ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ දැක අග්රඵලය වූ මේ අඹ ආර්යයන් වහන්සේට පුදන්නෙමි. රජතුමා මා රටින් නෙරපන්නේ හෝ නසන්නේ හෝ වේවා, රජුට දුන් කල්හි අල්ප වූ ඵලයක් ලැබෙන්නේය. ආර්යයන් වහන්සේට දුන්කල්හි මෙලොව වශයෙන් ද පරලොව වශයෙන් ද අප්රමාණ වූ ඵලයන් ලබන්නේ යයි සිතුවේය. මෙසේ සිතා ඒ අඹ තෙරුන් වහන්සේට පුදා රජු වෙත පැමිණ ඒ බව දන්වා සිටියේය. ඒ අසා රජ තෙමේ මොහු කියන දෙය එසේ සිදුවී දැයි පිරික්සා බලන්නැයි රාජපුරුෂයන්ට කීවේය. තෙරණුවෝ වනාහි ඒ ඵලයන් භාග්යවතුන් වහන්සේට පිදුවේය. භාග්යවතුන් වහන්සේ ඉන් එකක් සැරියුත් තෙරුන්ට ද, එකක් මුගලන් තෙරුන්ට ද, එකත් මහා කාශ්යප හිමියන්ට ද දී එකක් තමන් වහන්සේ වැළඳූහ. රාජපුරුෂයෝ මේ පුවත රජුට දැන්වූහ.
රජ තෙමේ ඒ අසා තමාගේ ජීවිතය ද පරිත්යාගකොට පුණ්යකර්මයක් කළා වූ මේ පුද්ගලයා සත්ය වශයෙන්ම ධීරයෙකි. තමාගේ පරිශ්රමය නියම තැනට යෙදවීයයි සතුටු සිත් ඇත්තේ ඔහුට එක් ගම් වරයක් ද අලංකාර වස්ත්ර ද දී, කොලනි, ඔබ විසින් අඹඵල පිදුමෙන් යම් පිනක් අත්කර ගත්තේ ද ඒ පින් මට ද අනුමෝදන් කරවන්නැයි කීය. හෙතෙමේ දේවයන් වහන්ස, අනුමෝදන් කරවමි. රිසිසේ පින් ලබාගන්නැයි කීය. උයන්පලු තෙමේ පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි උපන්නේය. කුටාගාර සත්සියයකින් යුත් රන් විමනක් පහළ විය. එය දුටු ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ගාථාවන් මගින් මෙසේ විචාළහ.
මාණික්යමය වූ මැද කණුවකින් යුක්ත හාත්පසින් සොළොස් යොදුන් වූ උත්තම තත්ත්වයේ කූටාගාර සත්සියයක් ඇත්තා වූ වෛරෝඩි මැණික්වලින් සැදුණු රුචිය උපදවන්නා වූ සුන්දර වූ මෙය උතුම් විමානයකි.
ඔබ එහි වෙසෙන්නෙහිය. දිව්යමය ආහාරපාන ගන්නෙහිය. දිව්යමය වූ වීණාවන් ඔබ වෙනුවෙන් වාදනය කරත්. මනා රූප ඇත්තා වූ ද, තිදස පුරයෙහි උදාර ගති ඇත්තා වූ අටදෙනා බැගින් වූ දිව්ය කන්යාවෝ එහි කුටාගාරවල වෙසෙත්. නටති. ගයති. ප්රමෝදයෙන් ජීවත් වෙති.
දිව්ය ඍද්ධියට පත් වූ මහානුභාව ඇති දිව්යපුත්රයා සියලු දිසාවන් බබළවති.
උජුපටිපන්න ගුණ යුත් උතුමන්ට ඍජු වූ ද ප්රසන්න වූ ද සිතින් යුතුව අඹඵල පිදීමේ විපාකය මහත් සේ ලබයි. තිදසාවෙහි සිටිමින් හෙතෙමේ සතුටු වෙයි. වඩාත් සතුටු වෙයි. මහත් වූ උදාර වූ පුණ්යඵල විපාකයන් විඳියි. මම එසේ වීමි. මහා මුනිවරයාණනි, මම ඵල හතරක් පිදුවෙමි.
එහෙයින් සුවය පතන මිනිසුන් විසින් ද, දිව්යමය සැප පතන්නවුන් විසින් ද, මිනිසුන් අතර වෙසෙමින්ම, සෞභාග්යය කැමති වන්නවුන් විසින් ද නිතර දන් දිය යුතුය. එය ඵලදායී වේ.
ඒ කුසලයෙන් මෙවැනි වර්ණයක් ද සියළු දිසාවන් බබුළුවන පැහැයක් ද ලදිමි.
අට්ඨට්ඨකා එක් එක් කුටාගාරයෙහි අටදෙනා බැගින් හැටහතරක ප්රමාණයක් වූ, සාධුරූපා රූප සම්පත්තියෙන් ද, ශීලචාර සම්පත්තියෙන් ද, ශික්ෂා සම්පත්තියෙන් ද, යහපත් ස්වභාවයන් ඇති බැවින්, දිබ්බාච කඤ්ඤා දිව්ය අප්සරාවෝ. තිදසචරා තිදස පුරයෙහි හැසිරෙන්නා වූ, සුවසේ වාසය කරන්නා වූ, උළාරා මහත් සම්පත් ඇති,
ඵලදායී තමන් විසින් අඹ ඵලයක් දෙන ලද බැවින් තමන් සඳහා කියයි. ඵලං පිනෙහි විපාකය, විපුලං මහත් වූ, ලභති මිනිස්ලොව සිටියදීම ලැබේ යන අදහසයි. දදං දෙන්නා වූ දීමට හේතුවන්නා වූ, උජ්ජුගතෙසු ඍජු ප්රතිපත්ති ඇත්තවුන් කෙරෙහි, සග්ගගතො ඉපදීම් වශයෙන් ස්වර්ගයට ගියා වූ, තිදිවෙ තතිසා දෙව්ලොව, අනුභොතිච පුඤ්ඤඵලං විපුලං යම්සේ මම සියල්ල ලැබුවෙම් ද, එසේම අන් අය ද ලබති. යන අර්ථයයි.
කස්මා කවර හෙයින්, අඹ ඵල සතරක් දීමෙන් මෙවන් සම්පත්තියට පැමිණියේ ද, එහෙයින්, අලමෙව පින්කම් කළයුතු වන්නේමය. නිච්චං හැමකල්හි දිබ්බාහි දෙව්ලොව, ඇතුළත් වන සේ මනුස්ස සොභග්ගතං මිනිසුන් කෙරෙහි න භාග්යවන්ත බව සෙස්ස පෙර කියන ලද සේමැයි.
ඵලදායක විමාන වර්ණනාව නිමියේ ය.
4. පඨම උපස්සයදායකවිමාන වර්ණනා
චන්දො යථා විගත වලාහකෙ නභෙ යනු උපස්සදායක විමාන වස්තුවයි. එහි උත්පත්තිය කෙසේ වීද? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වසති. ඒ සමයෙහි එක්තරා භික්ෂුවක් ග්රාමීය ආවාසයක වස් වසා වස් පවාරණයෙන් පසුව භාග්යවතුන් වැඳීමට රජගහ නුවරට එන අතරමගදී සවස් භාගයේ එක්තරා ගමකට පිවිස වසන තැනක් සොයා යද්දී එක්තරා උපාසක කෙනෙක් දැක විචාළේය. උපාසකය, පැවිද්දකුට උපාසක කෙනෙක් දැක විචාළේය. උපාසකය, පැවිද්දකුට වසන්නට තරම් යෝග්ය තැනක් මේ ගම තිබේද? උපාසකයා පැහැදුනු සිතින් සිය ගෙදරට ගොස් බිරිඳ සමග සාකච්ඡා කර තෙරුන්ට විසීමට සුදුසු ගෝචර තැනක් පිරිසිඳ දැන එය පිරිසිදු කොට එහි අසුන් පනවා පා දෝනාදිය ද පා පුටු ආදි ද තබා තෙරුන් වඩමවා උන්වහන්සේගේ පා සෝදා පහනක් දල්වා ඇඳෙහි ඇතිරිලි අතුරා දුන්නේය. තමාගේ කැමැත්තෙන්ම ආරාධනා කොට දෙවැනි දවසේ තෙරුන්ට වළඳවා ගිලන්පස පිණිස උක්සකුරු බුලත් ද දී තෙරුන් වඩිද්දී පසුගමන් ගොස් නැවතුණේය. කලකට පසුව ඔහුද බිරිඳ ද කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්හ. ඔවුන්ට දොළොස් ගව්වක් විශාල රත්රන් විමානයක් පහළ විය. ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙද්දී මේ විමානය සහ දෙවිවරුන් දැක ගාථා දෙකකින් කරුණු විචාළහ.