2. දුතිය අගාරියවිමාන වර්ණනා
යථාවනං චිත්තලතං ආදි වශයෙන් දැක්වෙන දෙවැනි අගාරිය විමාන වර්ණනාවයි. මෙහි ද අර්ථෝත්පත්තිය අගාරිය විමාන කථාවස්තුව හා සමාන වන්නේය.
එම්බා දේවතාව, ඉතා දීප්තිමත්ව බබළන්නා වූ චිත්‍රලතා වනය යම්සේද එපරිද්දෙන් තව්තිසා දෙවියන් අතරින් ශ්‍රේෂ්ට වූ උයනකින්ද නොයෙක් දිව්‍ය අලංකාරයෙන් යුක්ත වූ අහස්කුස බබළන්නා වූ විමානයක් තොපට පහළ වී ඇත.
මහත් වූ ඍද්ධි සම්පන්න වූ දේවතාව, තොප විසින් මේසා විශාල සම්පත් ලබන්නට මනුෂ්‍යයකු වශයෙන් කිනම් කුසල කර්මයක් කරන ලද ද, වස්ත්රාභරණ ආදියෙන් ද ශරීර වර්ණයෙන් ද දසදිග් බබුළුවාද ඒ සම්පත් ලද්දේ කවර පිනකින් ද?
ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දේවතාවා මෙසේ පැවසීය.
මා ද බිරිඳ ද මිනිස්ලොව ඉපිද ගිහිගෙයි වසන්නේ ප්‍රසන්න වූ සිතින් ආහාරපාන සකස්කොට ප්‍රසාද වූ සිතින් ශ්‍රමණ බමුණන්ට දන් දුනිමි. රත්නත්‍රය කෙරෙහි පැහැදීමෙන් යුතුව මෙම පින්කම් කළෙමි.
ඒ පින්කම්වල බලයෙන් මේ අන්දමේ වර්ණයක් සකල දිශා බබුළුවන ප්‍රභාවයක් ලදුයෙමි’යි
තමන්ගේ සම්පත්තීන් විස්තර කළේය. ගාථාවන්හි නො ඇසූ විරූ දෙයක් නැත.
දෙවැනි අගාරිය විමාන වර්ණනාව නිමියේ ය.
3. ඵලදායකවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං යනුවෙන් ඵලදායක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයේ වාසය කරන සේක. එකල්හි බිම්බිසාර රජුට නො කල්හි අඹ කෑමට කැමැත්තක් උපන්නේය. රජ තෙමේ උයන්පල්ලා අමතා කොලනි! මට අඹ කෑමෙහි කැමැත්තක් ඇතිවිය. එහෙයින් මට අඹ ගෙනැත් දෙවයි කීය. දේවයිනි, දැනට අඹ ගස්වල අඹ ගෙඩි නැත. එහෙත් දේවයන් වහන්ස, සුලුකලක් ඉවසන්නේ නම් යම්සේ ඉක්මණින් අඹගස් ඵල දරණ යම් ක්‍රියාවක් වේද මම එබන්දක් කරමියි උයන්පල්ලා කීය. යහපති, කොලනි, එසේ කරවයි රජු කීය. යම්සේ සුළු කලකදී අඹ ගස්වල කොල හැලෙන්නේ ද, එසේ වනු පිණිස උයන්පල්ලා උයනට ගොස් අඹරුක් මුල්හි වූ පස් ඉවත්කොට, ඒවාට සමානව පෙනෙන පස් ගෙන්වා විසිරවීය. එබඳු ජලයද දැමීය. ඉක්බිති ඒ පස් ඉවත්කොට බොරලු දමන නම් ගස්වල කසට මිශ්‍ර කළ ස්වාභාවික පස් විසුරුවා මනා ලෙස ජලය දැමීය. එවිට අඹගස් සුලු කලකදී කුඩා මල් කැකුළු, දලු හා මල් කැකුළු මතුකොට දරා සිටියේය. අනතුරුව ගැට හැදී ගෙඩි හටගත්තේය. එහි එක් අඹ රුකෙක මුලින්ම හටගත් ගෙඩි සතර මනෝසීල පැහැයට හුරුව රතු පැහැයෙන් යුතුව සුවඳින් හා රසයෙන් පිරුණේය.
ඒ උයන්පලු තෙමේ ඒවා රැගෙන රජුට දෙන්නෙමියි සිතා යන්නේ අතරමගදී පිඬුසිඟා වඩින ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ දැක අග්‍රඵලය වූ මේ අඹ ආර්යයන් වහන්සේට පුදන්නෙමි. රජතුමා මා රටින් නෙරපන්නේ හෝ නසන්නේ හෝ වේවා, රජුට දුන් කල්හි අල්ප වූ ඵලයක් ලැබෙන්නේය. ආර්යයන් වහන්සේට දුන්කල්හි මෙලොව වශයෙන් ද පරලොව වශයෙන් ද අප්‍රමාණ වූ ඵලයන් ලබන්නේ යයි සිතුවේය. මෙසේ සිතා ඒ අඹ තෙරුන් වහන්සේට පුදා රජු වෙත පැමිණ ඒ බව දන්වා සිටියේය. ඒ අසා රජ තෙමේ මොහු කියන දෙය එසේ සිදුවී දැයි පිරික්සා බලන්නැයි රාජපුරුෂයන්ට කීවේය. තෙරණුවෝ වනාහි ඒ ඵලයන් භාග්‍යවතුන් වහන්සේට පිදුවේය. භාග්‍යවතුන් වහන්සේ ඉන් එකක් සැරියුත් තෙරුන්ට ද, එකක් මුගලන් තෙරුන්ට ද, එකත් මහා කාශ්‍යප හිමියන්ට ද දී එකක් තමන් වහන්සේ වැළඳූහ. රාජපුරුෂයෝ මේ පුවත රජුට දැන්වූහ.
රජ තෙමේ ඒ අසා තමාගේ ජීවිතය ද පරිත්‍යාගකොට පුණ්‍යකර්මයක් කළා වූ මේ පුද්ගලයා සත්‍ය වශයෙන්ම ධීරයෙකි. තමාගේ පරිශ්රමය නියම තැනට යෙදවීයයි සතුටු සිත් ඇත්තේ ඔහුට එක් ගම් වරයක් ද අලංකාර වස්ත්‍ර ද දී, කොලනි, ඔබ විසින් අඹඵල පිදුමෙන් යම් පිනක් අත්කර ගත්තේ ද ඒ පින් මට ද අනුමෝදන් කරවන්නැයි කීය. හෙතෙමේ දේවයන් වහන්ස, අනුමෝදන් කරවමි. රිසිසේ පින් ලබාගන්නැයි කීය. උයන්පලු තෙමේ පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි උපන්නේය. කුටාගාර සත්සියයකින් යුත් රන් විමනක් පහළ විය. එය දුටු ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ගාථාවන් මගින් මෙසේ විචාළහ.