9. ද්විතීය සූචිවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං යනුවෙන් ආරම්භ වන දෙවැනි සුචි විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයේ වැඩවසන සේක. ඒ සමයෙහි දී රජගහ නුවර වැසි එක් රෙදි වියනක් විහාරය අසල ජීවත් වූයේ දිනක් විහාරයට පැමිණියේය. එහිදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඉඳිකටුවකින් සිවුරු ගෙත්තම් කරනු දැක, ඉඳිකටු ගුලාවක් ද සහිතව ඉඳිකටු පූජා කළේය. ඉතිරි සියල්ල පෙර කියන ලද අයුරිනි.
හාත්පසින් උස්ව නැංගා වූ මිණිමය ටැම් හා කුළුගෙවල් සහිත ස්වර්ණමය විමානයකි. හාත්පස දොළොස් යොදුනක් ඒ විමානය පැතිර සිටී. ඔබගේ ඡවි වර්ණය ද සියලු දිසාවන් බබුළුවයි. ආදි වශයෙන් මුගලන් තෙරුන් විමසීය.
ඒ දේවපුත්රයා මුගලන් මහ තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්රශ්නයට පිළිතුරු දෙමින් තමන් විසින් යම් කර්මයක් කරන ලද එහි කර්ම විපාකය පවසන්නේ,
මෙයින් පෙර ආත්මභාවයේ මම මිනිස්ලොව මිනිසකු වී ඉපදුනෙමි. එහිදී
හද තුළ ප්රසාදය උපදවන්නා වූ රජස් දුරු කළා වූ එක් භික්ෂූන් වහන්සේ නමක් හමු වී උන්වහන්සේට ප්රසන්න වූ සිතින් මගේ දෑතින්ම ඉඳිකටුවක් පූජා කළෙමි.
ඒ ඉඳිකටු පූජාවේ ආනිසංසයෙන් සියළු දිසා බබළවන්නා වූ මෙවැනි ප්රභාවයක් ද, මෙබඳු ඡවි වර්ණයක් ද ලැබුවෙමි.
ඉතිරි සියල්ල පෙර කී පරිද්දෙන් දත යුතු.
දෙවැනි සුචි විමාන වර්ණනාව නිමියේ ය.
10. නාගවිමන වර්ණනා
සුසුක්ඛන්ධං අභිරුය්හ නාගං යනුවෙන් ආරම්භ වන්නේ නාග විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කවරේද? භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලොව චාරිකාවේ සැරිසරන්නේ මින් පෙර කියන ලද පරිද්දෙන්ම තව්තිසා දෙව්ලොවට වැඩි සේක. එහිදී සම්පූර්ණයෙන්ම ධවල වූ හොඳ උස මහත ඇති දිව්ය හස්තිරාජයකු පිට නැගී මහත් පිරිවර සමගින් මහත් දිව්යානුභාවයෙන් හිරු සඳු නැගුණා සේ සකල දිසාවන් බබළවමින් යන්නා වූ එක්තරා දිව්ය පුත්රයකු දැක්කේය. ඔහු දැක ඒ දේවපුත්රයා වෙත වැඩමවීය. ඉක්බිති දිව්යපුත්රයා උන්වහන්සේ දැක ඇත්කඳින් බැස ආයුෂ්මත් මුගලන් තෙරුන් නැමද ඇඳිලි බැඳගෙන සිටියේය. ඉක්බිති තෙරුන් වහන්සේ -
සර්වාංගයම ධවල වූ මනාව වැඩුණු දළ ඇති මහත් ජව සම්පන්න වූ මනා සිරුරින් යුත්, උතුම් වූ ගජයානයට නැගි අහස් කුස පුරා ආලෝකය පතුරුවමින් කොහි යන්නෙහිද?
ඇතාගේ දළ දෙක අග පිරිසිදු සිහිල් දිය සපිරි මනාව පිපී ගියා වූ නෙළුම් මානෙල් ආදී මල්වලින් ගැවසී ගත් පොකුණු ඇත්තේය. ඒ පොකුණුවල පිපුණු මල් පෙති සිට තූර්ය නාදයන්ට අනුව මනහර නර්තනයන් දක්වන දිව්යාංගනාවෝ රඟ දෙන්නාහ.
මහානුභාව සම්පන්න දේව පුත්රයාණනි, මෙවැනි දිලිසෙන්නා වූ සිරුරක් ලබා, සියලු දිසා බබුළුවන ප්රභාවයක් සහිත මේ මහා සම්පත් ලබන්නට ඔබ මිනිසෙකු වී කිනම් පුණ්ය කර්මයක් කළේද?
එහි සුසුක්ඛන්ධං යනු මනාව ධවල වූ ශරීරය ඒ ඇතුගේ පා සතර වස්ති කෝෂය මුහුණු පෙදෙස, කන් දෙක වලිගය ඇතුළත් මෙපමණක් හැර මුළු සිරුරම ධවලය. කඳ පෙදෙස අතිශයින්ම ධවල වේ යයි කියන ලදී. ඒ නිසා සුසුක්ඛන්ධං යනු කීහ. නාගං දිව්යමය වූ හස්ති නාගයා අකාවිනං දොස් රහිතය. කබර ලකුණු තිත් පැල්ලම් කැළැල් ආදි කිසිවක් නැති යන අර්ථයි. ‘ආජානීයං’ පෙළ ආජානීය ලක්ෂණ දක්වන්නේ යයි කියන ලද දන්තීනං දත් මනාව වැඩුණු සිත්කළු දළ ඇත්තේය. බලිං මහා බලවත්ය. මහාජවං ශීඝ්ර වූ ගමන් වේග ජව ඇත්තාය. අභිරුය්හා යනු මෙහි අනුනාසිකය ලොප් වූ බව දතයුතුයි. ආරෝහ පරිණාහයෙන් යුත් දේහයකින් යුක්තය. සෙසු විස්තර සඳහන් පරිදිය.