10. නාගවිමන වර්ණනා
සුසුක්‍ඛන්‍ධං අභිරුය්හ නාගං යනුවෙන් ආරම්භ වන්නේ නාග විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලොව චාරිකාවේ සැරිසරන්නේ මින් පෙර කියන ලද පරිද්දෙන්ම තව්තිසා දෙව්ලොවට වැඩි සේක. එහිදී සම්පූර්ණයෙන්ම ධවල වූ හොඳ උස මහත ඇති දිව්‍ය හස්තිරාජයකු පිට නැගී මහත් පිරිවර සමගින් මහත් දිව්‍යානුභාවයෙන් හිරු සඳු නැගුණා සේ සකල දිසාවන් බබළවමින් යන්නා වූ එක්තරා දිව්‍ය පුත්‍රයකු දැක්කේය. ඔහු දැක ඒ දේවපුත්‍රයා වෙත වැඩමවීය. ඉක්බිති දිව්‍යපුත්‍රයා උන්වහන්සේ දැක ඇත්කඳින් බැස ආයුෂ්මත් මුගලන් තෙරුන් නැමද ඇඳිලි බැඳගෙන සිටියේය. ඉක්බිති තෙරුන් වහන්සේ -
සර්වාංගයම ධවල වූ මනාව වැඩුණු දළ ඇති මහත් ජව සම්පන්න වූ මනා සිරුරින් යුත්, උතුම් වූ ගජයානයට නැගි අහස් කුස පුරා ආලෝකය පතුරුවමින් කොහි යන්නෙහිද?
ඇතාගේ දළ දෙක අග පිරිසිදු සිහිල් දිය සපිරි මනාව පිපී ගියා වූ නෙළුම් මානෙල් ආදී මල්වලින් ගැවසී ගත් පොකුණු ඇත්තේය. ඒ පොකුණුවල පිපුණු මල් පෙති සිට තූර්ය නාදයන්ට අනුව මනහර නර්තනයන් දක්වන දිව්‍යාංගනාවෝ රඟ දෙන්නාහ.
මහානුභාව සම්පන්න දේව පුත්‍රයාණනි, මෙවැනි දිලිසෙන්නා වූ සිරුරක් ලබා, සියලු දිසා බබුළුවන ප්‍රභාවයක් සහිත මේ මහා සම්පත් ලබන්නට ඔබ මිනිසෙකු වී කිනම් පුණ්‍ය කර්මයක් කළේද?
එහි සුසුක්‍ඛන්‍ධං යනු මනාව ධවල වූ ශරීරය ඒ ඇතුගේ පා සතර වස්ති කෝෂය මුහුණු පෙදෙස, කන් දෙක වලිගය ඇතුළත් මෙපමණක් හැර මුළු සිරුරම ධවලය. කඳ පෙදෙස අතිශයින්ම ධවල වේ යයි කියන ලදී. ඒ නිසා සුසුක්‍ඛන්‍ධං යනු කීහ. නාගං දිව්‍යමය වූ හස්ති නාගයා අකාවිනං දොස් රහිතය. කබර ලකුණු තිත් පැල්ලම් කැළැල් ආදි කිසිවක් නැති යන අර්ථයි. ‘ආජානීයං’ පෙළ ආජානීය ලක්ෂණ දක්වන්නේ යයි කියන ලද දන්තීනං දත් මනාව වැඩුණු සිත්කළු දළ ඇත්තේය. බලිං මහා බලවත්ය. මහාජවං ශීඝ්‍ර වූ ගමන් වේග ජව ඇත්තාය. අභිරුය්හා යනු මෙහි අනුනාසිකය ලොප් වූ බව දතයුතුයි. ආරෝහ පරිණාහයෙන් යුත් දේහයකින් යුක්තය. සෙසු විස්තර සඳහන් පරිදිය.
මෙසේ තෙරුන් වහන්සේ විසින් විචාරන ලදුව ඒ දේවපුත්‍ර තෙමේ තමන් විසින් කරන ලද පුණ්‍යකර්මය විස්තර කරමින්
මහර්ෂි වූ කාශ්‍යප බුදුන් වහන්සේගේ ධාතු නිදන් කළ ස්ථූපය වෙත ප්‍රසන්න වූ සිතින් මගේ දෑතින්ම මල් අටක් පූජා කළෙමි.
ඒ කුසල කර්මය හේතුවෙන් සියලු දිසා බබුළුවන සුළු මෙවැනි වර්ණයක් ද ඡවි වර්ණයක් ද මේ සම්පත්තීන් ද ලදිමියි මේ ගාථාවලින් හෙළි කළේය.
එහි අර්ථය - [missing trans]
අතීතයේ යටගිය දවස කස්සප සම්මා සම්බුදු රජුන් උදෙසා තනවන ලද යොදුනක් පමණ වූ රන්වන් ස්ථූපය අබියස කසී රජ වූ කිකී රජු පිරිවර සහිතවද නාගරිකයෝ ද ගම්වැසියෝ ද ජනපද වැසියෝ ද දිනපතා මල් පූජා කරති. මේ නිසා මල් ඉතා මිල වැඩි වූද අනර්ඝ වූද දුර්ලභ වූද වස්තුවක් විය. ඉක්බිති එක් උපාසකයෙක් මල් කඩ ඇති වීදියේ ඇවිද එක කහවණුවකට එක මලක්වත් මිලදී ගත නොහැකි වූයේ මල් නොලැබ කහවණු අට ගෙන උයන් ගොව්වා වෙත ගොස් මේ කහවණු අට ගෙන මල් අටක් දෙන්නැයි ඉල්ලීය. යහළුව, එකම මලක්වත් උයනේ නැත. සියළුම මල් කඩා දී ඇත. මිත්‍රය, මම එසේ නම් මල් උයනට ගොස් මල් තිබේ නම් කඩා ගන්නැයි කීය. උපාසකයා මල් උයනට ගොස් විමසන්නේ සොයා බලන්නේ එක් මල් ගහක් යට නටුවෙන් ගිලිහී බිම වැටුණු මල් අටක් දැක එය ගෙන මල්කරු වෙත ගොස් යහළුව, මම මල් අටක් ලදිමි. ඒ වෙනුවෙන් මේ කහවනු අට ගන්නැයි උපාසකයා පැවසීය. එවිට මල්කරු යහළුව, මේ මල් අට ඔබගේ පිනින් ලද දෙයකි. ඒ සඳහා මම මුදල් නොගනිමියි පැවසීය. උපාසක තෙමේ මේ මල් භාග්‍යවතුන් වහන්සේ වෙත මම පූජා කරමියි මල්කරු ඉදිරියේ කහවණු තබා මල් ගෙන සෑ මළුව වෙත ගොස් පැහැදුණු ශ්‍රද්ධා සිතින් සෑයට මල් පූජා කළේය. හෙතෙම සන්ධ්‍යා සමයේ කළුරියකොට තතිසා දෙව්ලොව ඉපිද ඒ පින් බලෙන් නැවත නැවත දිව්‍යලෝක උත්පත්තිය ලබා මිනිස්ලොව හා දෙව්ලොව සැරිසරන්නේ අපගේ බුදුරදුන්ගේ කාලයේ තව්තිසා දෙව්ලොව උපත ලැබීය. මේ කාරණය පැහැදිලි කිරීම සඳහා ඉහත සඳහන් පුවත කියන ලදී. තත්ථ අද්දස අඤ්ඤතරං දෙවපුත්තං ආදි විස්තරය සඳහන්ය.
මේ ප්‍රවෘත්තිය ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ මිනිස්ලොවට පැමිණ තථාගතයන් සමග පැවසීය. භාග්‍යවතුන් වහන්සේ එම පුවත අර්ථෝත්පත්ති කොටගෙන සහභාගිව සිටි පිරිසට විස්තර වශයෙන් ධර්මය දෙසූ සේක. ඒ දේශනාව මහජනයාට සාර්ථක විය.
නාග විමාන වර්ණනාව නිමියේ ය.
11. ද්විතීය නාගවිමාන වර්ණනා
මහන්තං නාගං අභිරුය්හ මේ දෙවැනි නාග විමාන වස්තුවයි. එහි උත්පත්තිය කවරේද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයෙහි වසන සමයෙහි රජගහ නුවර ශ්රද්ධාවන්ත උපාසකයෙක් වූයේය. ඔහු පන්සිල්හි පිහිටියේ පොහෝ දවස්හි උපෝසථ සීලය සමාදන්ව පෙර බත් කාලයේ තම සම්පත් අනුව භික්ෂූන්ට දන් දී තමන් ද අහර ගෙන සවස් කාලයේ පිරිසිදු වස්ත්‍රයක් ඇඳ පිරිසිදු වස්ත්‍රයක් උතුරු සළුව වශයෙන් පැළඳ බොහෝ වූ අට්ඨ පාන වර්ග ගෙන විහාරයට ගොස් භික්ෂු සංඝයාට පරිත්‍යාගකොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ බණ අසයි. මෙසේ හෙතෙම සකස්කොට දන් දී සිල් රැක බොහෝ සුචරිත කුශල කර්මයන් කොට මිනිස්ලොව ආයු ගෙවා මනුලොවින් චුතව තව්තිසා දෙව්ලොව උපන්නේය. ඔහුගේ පුණ්‍ය මහිමයෙන් සම්පූර්ණයෙන් ධවල වූ දිව්‍ය හස්තියෙක් පහළ විය. හෙතෙම ඒ ඇතුපිට නැගී මහත් වූ පිරිවරින් මහත් වූ දිව්යනුභාවයෙන් කලින් කලට උයන්කෙළි පිණිස යයි.