11. ද්විතීය නාගවිමාන වර්ණනා
මහන්තං නාගං අභිරුය්හ මේ දෙවැනි නාග විමාන වස්තුවයි. එහි උත්පත්තිය කවරේද? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයෙහි වසන සමයෙහි රජගහ නුවර ශ්රද්ධාවන්ත උපාසකයෙක් වූයේය. ඔහු පන්සිල්හි පිහිටියේ පොහෝ දවස්හි උපෝසථ සීලය සමාදන්ව පෙර බත් කාලයේ තම සම්පත් අනුව භික්ෂූන්ට දන් දී තමන් ද අහර ගෙන සවස් කාලයේ පිරිසිදු වස්ත්රයක් ඇඳ පිරිසිදු වස්ත්රයක් උතුරු සළුව වශයෙන් පැළඳ බොහෝ වූ අට්ඨ පාන වර්ග ගෙන විහාරයට ගොස් භික්ෂු සංඝයාට පරිත්යාගකොට භාග්යවතුන් වහන්සේ වෙත එළඹ බණ අසයි. මෙසේ හෙතෙම සකස්කොට දන් දී සිල් රැක බොහෝ සුචරිත කුශල කර්මයන් කොට මිනිස්ලොව ආයු ගෙවා මනුලොවින් චුතව තව්තිසා දෙව්ලොව උපන්නේය. ඔහුගේ පුණ්ය මහිමයෙන් සම්පූර්ණයෙන් ධවල වූ දිව්ය හස්තියෙක් පහළ විය. හෙතෙම ඒ ඇතුපිට නැගී මහත් වූ පිරිවරින් මහත් වූ දිව්යනුභාවයෙන් කලින් කලට උයන්කෙළි පිණිස යයි.
ඉක්බිති එක් දවසක් කළගුණ සළකන්නෙමියි යන පිරිසිදු අදහසින් අර්ධ රාත්රී කාලයේ ඒ ඇතු පිට නැගී මහත් පිරිවර සහිතව භාග්යවතුන් නමදින්නෙමියි යන සැදැහැ සිතින් දෙව්ලොවින් ඇවිත් වේළුවනය හාත්පස බබුළුවමින් ඇතුපිටින් බැස භාග්යවතුන් වහන්සේ වෙත සපිරිවරින් පැමිණ තථාගතයන් වැඳ ඇඳිලි බැඳ ගත්වනම එකත්පස්ව සිටියේය. භාග්යවතුන් වහන්සේ සමීපයේ සිටි වංගීස තෙරණුවෝ භාග්යවතුන්ගේ අනුදැනීමෙන් මෙම ගාථා මගින් මෙසේ කරුණු විචාළහ.
සකල ශරීරයම ධවල වූ, උතුම් වූ දිව්යමය හස්ති රාජයකු පිට නැගී පිරිවර වශයෙන් දෙවි දේවතාවියන් පෙරටු කරගෙන සමස්ත වේළුවනයම බබළවමින් ඕසධී තාරකාව මෙන් දීප්තිමත්ව බැබළෙමින් මෙහි පැමිණියා වූ ඔබ
මෙවැනි ඡවි වර්ණයක්, ප්රිය උපදවන්නා වූ පැහැපත් සිරුරක් සියළු දිසා බබළවන්නා වූ ප්රභාවක් මේ අන්දමේ පිරිවරක් ලබන්නට ඔබ මිනිස්ලොව මිනිසකු වී කිනම් පුණ්යකර්මයක් කළේද කවර කුසලයකින් මේ සම්පත් ලද්දේ ද?
වංගීස තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්රශ්නවලට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද කර්මයන් විස්තර කරමින් පිළිතුරු දෙමින් මෙසේ කීය.
‘මම මිනිස් ලොව මිනිසකු වී නුවණැති උපාසකයකු වීමි. ප්රාණඝාතයෙන් වැළකුණෙමි. නුදුන් දේ තමන්ට අයත් නැති දේ ගැනීමෛන් දුරු වූයෙමි.
මන්ද්රව්ය පානය නො කෙළෙමි. මුසාවාදාදිය නොකීවෙමි. ස්වකීය භාර්යාවන්ගෙන් සතුටට පත් වී පරදාර කර්මයෙහි නො ඇලුනෙමි. ප්රසන්න වූ සැදැහැ සිතින් ආහාරපාන ආදිය සකසා මනාකොට මහත් සේ දන් දුන්නෙමි.
කුසල කර්මයන්ගේ විපාක වශයෙන් සියලු දිසා බබුළුවන ප්රභාවය ද මෙවැනි ඡවි වර්ණයක් ද ලද්දෙමි.
එහි පෙර නොකී අලුත් යමක් නැත. ඉතිරි සියල්ල කලින් කී ක්රමයෙන් ම දතයුතුය.
දෙවෙනි නාග විමාන වර්ණනාව නිමියේ ය.
12. තෘතීය නාගවිමාන වර්ණනා
කොනු දිබ්බෙන යානෙන යනුවෙන් ඇරඹෙන තුන්වන නාගවිමාන වත්ථුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයෙහි හෙවත් ලෙහෙණ අභය භූමියෙහි වාසය කරන සේක. එසමයෙහි රහතන් වහන්සේලා තෙනමක් ගැමි ආවාසයක වස් එළඹියහ. වැස නිමවන ලද වස් ඇති උන්වහන්සේලා පවාරණය කොට භාග්යවතුන් වහන්සේ වඳින්නෙමුයි රජගහ නුවර වෙතට යන්නාහ. අතරමග සවස් වේලෙහි එක්තරා ගමක මිසදිටු බමුණකුගේ උක් කෙතක් ළඟට ගොස් මිත්රය, අපට අද රජගහ නුවරට යාමට හැකිවේදැයි උක් කෙතෙහි පාලකයාගෙන් විමසූහ. නොහැක ස්වාමීනි, රජගහ නුවර මෙයින් අඩ යොදුනක් දුරින් පිහිටියේය. මෙහිම නැවතී හෙට යනු මැනවැයි කීය. වාසයට සුදුසු කිසියම් ආවාසයක් මෙහි තිබේද? නැත ස්වාමීනි, ඔබ වහන්සේලාට වාසයට සුදුසු ස්ථානයක් මම දනිමි. තෙරුන් වහන්සේලා එයට එකඟ වූහ.
හෙතෙමේ උක්ගස් එසේ තිබියදීම උක්දඬු එකට බැඳ උක් පත්රවලින් මතුපිට වසා යටට පිදුරු අතුරා එක් තෙර කෙනකුන් හට දුන්නේය. දෙවන තෙරුන් හට උක්ගස් තුනක් සුළුවෙන් බැඳ තණපතින් වසා යටට ද තණපත් ඇතිරිල්ලක් එළා, සකස්කොට දුන්නේ ය. අනෙක් තෙරුන් හට, තමාගේ කුටියෙහි උක්දඬු ශාඛා දෙක තුනක් ඉවත්කොට සිවුරෙන් ආවරණය කරමින් සිදුරු කුටියක් තනා දුන්නේය. උන්වහන්සේලා ඒ ඒ තන්හි වාසය කළහ. ඉක්බිති රැය පහන් වූ කල්හි කල් ඇතිවම බත් පිස දැහැටි ද මුව දෝනා පැන් ද දී උක්පැණි සමග බත් දුන්නේය. ආහාර වළඳා අනුමෝදනාකොට පිටත්ව යන්නා වූ උන්වහන්සේලා හට මෙය මාගේ කොටස වන්නේ යයි සිතා එක් උක්ගස බැගින් දුන්නේය. ටික දුරක් උන්වහන්සේලාට පසුගමන් කළා වූ හෙතෙමේ, තමාගේ වතාවත ද දානය ද අරභයා උදාර වූ සතුටක් සොම්නසක් විඳිමින් නැවතුනේය.