12. තෘතීය නාගවිමාන වර්ණනා
කොනු දිබ්බෙන යානෙන යනුවෙන් ඇරඹෙන තුන්වන නාගවිමාන වත්‍ථුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයෙහි හෙවත් ලෙහෙණ අභය භූමියෙහි වාසය කරන සේක. එසමයෙහි රහතන් වහන්සේලා තෙනමක් ගැමි ආවාසයක වස් එළඹියහ. වැස නිමවන ලද වස් ඇති උන්වහන්සේලා පවාරණය කොට භාග්‍යවතුන් වහන්සේ වඳින්නෙමුයි රජගහ නුවර වෙතට යන්නාහ. අතරමග සවස් වේලෙහි එක්තරා ගමක මිසදිටු බමුණකුගේ උක් කෙතක් ළඟට ගොස් මිත්‍රය, අපට අද රජගහ නුවරට යාමට හැකිවේදැයි උක් කෙතෙහි පාලකයාගෙන් විමසූහ. නොහැක ස්වාමීනි, රජගහ නුවර මෙයින් අඩ යොදුනක් දුරින් පිහිටියේය. මෙහිම නැවතී හෙට යනු මැනවැයි කීය. වාසයට සුදුසු කිසියම් ආවාසයක් මෙහි තිබේද? නැත ස්වාමීනි, ඔබ වහන්සේලාට වාසයට සුදුසු ස්ථානයක් මම දනිමි. තෙරුන් වහන්සේලා එයට එකඟ වූහ.
හෙතෙමේ උක්ගස් එසේ තිබියදීම උක්දඬු එකට බැඳ උක් පත්‍රවලින් මතුපිට වසා යටට පිදුරු අතුරා එක් තෙර කෙනකුන් හට දුන්නේය. දෙවන තෙරුන් හට උක්ගස් තුනක් සුළුවෙන් බැඳ තණපතින් වසා යටට ද තණපත් ඇතිරිල්ලක් එළා, සකස්කොට දුන්නේ ය. අනෙක් තෙරුන් හට, තමාගේ කුටියෙහි උක්දඬු ශාඛා දෙක තුනක් ඉවත්කොට සිවුරෙන් ආවරණය කරමින් සිදුරු කුටියක් තනා දුන්නේය. උන්වහන්සේලා ඒ ඒ තන්හි වාසය කළහ. ඉක්බිති රැය පහන් වූ කල්හි කල් ඇතිවම බත් පිස දැහැටි ද මුව දෝනා පැන් ද දී උක්පැණි සමග බත් දුන්නේය. ආහාර වළඳා අනුමෝදනාකොට පිටත්ව යන්නා වූ උන්වහන්සේලා හට මෙය මාගේ කොටස වන්නේ යයි සිතා එක් උක්ගස බැගින් දුන්නේය. ටික දුරක් උන්වහන්සේලාට පසුගමන් කළා වූ හෙතෙමේ, තමාගේ වතාවත ද දානය ද අරභයා උදාර වූ සතුටක් සොම්නසක් විඳිමින් නැවතුනේය.
යන්නා වූ භික්‍ෂූන්ගේ ඉදිරිපිට එන්නා වූ කෙත්හිමියා මුණගැසී, ඔබ කොතැනින් උක්ගස් ලැබුවාවුදැයි ඇසීය. උක් කෙතෙහි පාලකයා විසින් දෙන ලදැයි භික්‍ෂූහු කීහ. එය අසා කෝපයෙන් නො සතුටු සිත් ඇතිව තම කට හඬින් දත් සපමින් ක්‍රෝධයෙන් මඩනා ලද බ්‍රාහ්මණයා ඒ උක්කෙත පාලකයාගේ පිටුපසින් දුවගෙන ගොස් මුගුරකින් ඔහුට පහර දී එක පහරින්ම ඔහුගේ දිවි තොර කළේය. ඒ උක් කෙත පාලකයා තමන් විසින් කරන ලද පුණ්‍යකර්මයම සිහිකරමින් කළුරිය කොට සුධර්මා නම් දේව සභාවෙහි උපන්නේ ය. ඔහුගේ පින් මහිමයෙන් සම්පූර්ණයෙන්ම සුදු පැහැති වූ මහත් වූ දිව්‍යමය වූ උතුම් හස්තියෙකු ද උපන්නේය.
උක් කෙත පාලකයාගේ මරණය අසා ඔහුගේ මවුපියෝ ද, ඥාති මිත්‍රයෝ ද කඳුළු වගුරුවමින් හඬමින් එතැනට ආහ. සියලු ගම්වැසියෝ ද රැස්වූහ. එහිදී ඔහුගේ මවුපියෝ ඔහුගේ මළසිරුර සඳහා කළයුතු අවසන් කටයුතු ආරම්භ කළහ. එකෙණෙහිම ඒ දෙව්පුත් තෙමේ ද තම දිව්‍යමය හස්තියා පිට නැගී සියලු තූර්ය වාදනයන් සහිතව මහත් වූ පිරිවරින් යුතුව, මහත් වූ දිව්‍යමය ඍද්ධියෙන් යුතුව එම පිරිස අතරට පැමිණ, එම පිරිසට පෙනෙන අයුරින් අහසෙහි සිටියේය. එකල්හි එහි සිටි එක්තරා නුවණැති පුද්ගලයෙක් ඔහු විසින් කරන ලද පුණ්‍යකර්මය මේ අන්දමින් විමසීය.
සම්පූර්ණයෙන්ම සුදු පැහැති වූ ඇතෙකු දිව්‍යමය වූ යානාව වශයෙන් යොදාගෙන, තූර්යවාදන ඝෝෂා සහිතව අහස් ගැබෙහි බුහුමන් ලබමින් සිටින ඔබ කවරනම් අයෙක්ද?
ඔබ දේවතාවෙක් ද, ගාන්ධර්වයෙක් ද, නොහොත් පුරින්දද නම් වූ ශක්‍රයාද, ඒ බව නොදන්නා වූ අපි ඔබගෙන් විමසමු. ඔබ කවරෙකුදැයි අපි හඳුනා ගන්නෙමුද?
ඒ දිව්‍යපුත්‍ර තෙමේ ද ඔවුන් විසින් අසන ලද ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.
මම දෙවි කෙනෙක් නො වෙමි. ගාන්ධර්වයෙක් නො වෙමි. පුරින්දද නම් ශක්‍රයා ද නොවෙමි. සුධර්මා නම් යම් දේව කොට්ඨාශයක් වෙයිද මම ඔවුන් අතුරෙන් එක් අයෙක් වෙමි.
ඒ නුවණැති පුරුෂයා යළි මෙසේ විචාළේය - සුධර්මා නම් වූ දේව නිකායෙහි වූ ඔබ වෙතට ඇඳිලි බැඳේ. මිනිස් ලොවදී කිනම් පුණ්‍යකර්මයක් කොට ඔබ සුධර්මා නම් දේව නිකායෙහි උපන්නේ දැයි විමසන්නෙමු යයි නැවත ප්‍රශ්න කළේය.
නැවත මෙසේ ඔහු පිළිතුරු දුන්නේය - යමෙක් උක්දඬුවලින් තැනූ ගෙයක්, තණපතින් තැනූ ගෙයක් රෙදිවලින් වැසූ ගෙයක් දෙන්නේද, නැතහොත් ඒ නිවෙස් තුනෙන් එකක් දී හෝ සුධර්මා නම් දිව්‍ය නිකායේ උපදිත් යනුවෙන් පිළිතුරු දුන්නේ ය.
ගාථාවන්හි විස්තර - තුරියතාළිත නිග්ඝොසො වාදනය කරනු ලබන දිව්‍යමය පංචාංගික තුර්ය වාදනයෙහි හඬ, තමා උදෙසා වාදනය කරනු ලබන දිව්‍යමය තූර්ය නාදයේ ශබ්ද, අන්තලික්‍ඛ මහීයති අහසෙහි සිට අහසෙහි සිටින්නා වූම මහත් පිරිවර විසින් පුදනු ලැබේ. ගරු කරනු ලැබේ.
දෙවතානුසි දෙවතා නු අසි - යන පද තුනෙහි එකතුවයි. කිම ඔබ දේවතාවෙක් වන්නෙහි ද යන අර්ථයි. ගන්‍ධබ්බො ගාන්ධර්ව නිකායික දේවතාවෙක් වන්නෙහි ද යන අර්ථයි. ආදු සක්කො පුරින්‍දෙදො එසේ නැතහොත් පෙර නගරයන්හි දන් දෙන තැනැත්තා විය යන අදහසින් පුරින්දද යන නමින් ප්‍රසිද්ධ වූ ශක්‍රය වන්නෙහි ද යන අර්ථයි. තවද ශක්‍ර නම් නම් වූ දිව්‍ය රාජයා වන්නෙහි ද, මෙහිදී ශක්‍ර ගාන්ධර්ව ආදී දිව්‍ය ස්වභාව ඇත්තවුන් ඇති කල්හි ද ඔවුන් වෙන්කොට ගන්නා ලද බැවින් ‘ගෝබලිවද්ද’ න්‍යායයෙන් ඔවුන්ගෙන් වෙනස් වූ දිව්‍ය කොට්ඨාශයක් හැඳින්වෙන දේව ශබ්දයන් හෙවත් නාම ප්‍රකෘතියක් ලෙස දැක්විය යුතු වේ.