13. චූළරථ විමාන වර්ණනා
දළ්හ ධම්මා නිසාරස්ස යනුවෙන් චූළරථ විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්, භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ධාතු නිධන්කොට ස්තූප පිහිටුවන අවධියෙහි, මහා කසුප් මහතෙරුන් ප්රමුඛ ධර්ම සංගායනාව කිරීම සඳහා තෝරාගන්නා ලද ශ්රාවකයන් වස් එළඹීම දක්වා විනයනය ලැබීමේ අපේක්ෂාව ඇති තමාගේ පිරිස සමග ඒ ඒ තන්හි වසන කල්හි ආයුෂ්මත් මහා කච්චායන තෙරණුවෝ පසල් දනවෙක එක්තරා ආරණ්ය ආයතනයක වාසය කරති. ඒ සමයෙහි අස්සක නම් රටෙහි මහාකලී නම් නගරයෙහි අස්සක නම් රජතෙමේ රාජ්යය කරයි. ඔහුගේ අග මෙහෙසියගේ පුත් සොළොස් හැවිරිදි පමණ වූ සුජාත නම් කුමාරයා රජුන්ගේ කණිටු බිසවගේ මෙහෙයවීමෙන් පියාගේ රටින් නෙරපනු ලැබූයේ වනයට පිවිස වනවාසීන් ඇසුරුකොට වනයෙහි වාසය කරයි. හේ තෙමේ වූ කලී කාශ්යප බුදුරජාණන් වහන්සේ ශාසනයේ පැවිදි වී යම්කිසි සීලයක පිහිටියේ පුහුදුන් අයකු ලෙස කළුරියකොට තව්තිසාවෙහි ඉපිද එහි ආයු ඇති තෙක් වැස මතු මතු ද සුගතියෙහිම හැසිර මෙම ගෞතම බුදුන් දවස භාග්යවතුන් වහන්සේගේ තිස්වන වස අස්සක රටෙහි අස්සක රජුගේ අග මෙහෙසියගේ කුසෙහි උපන්නේය. ඔහුගේ නම සුජාත නම් විය. හේ මහත් පිරිවරින් යුතුව වැඩෙයි.
ඔහුගේ මව කළුරිය කළ කල්හි රජු වෙනත් රජ දියණියක අග මෙහෙසුන් තනතුරේ තැබීය. පසුකලෙක ඇය පුතකු වැදුවාය. රජතෙමේ ඇයගේ පුතු දැක පහන් සිත් ඇත්තේ සොඳුර, ඔබ කැමති වරයක් ගනු යයි වරයක් දුන්නේය. ඇය ඒ වරය ගන්නා ලද්දක් සේ තිරකොට තබා සුජාත කුමාරයා සොළොස් හැවිරිදි පමණ වයස් ඇත්තේ වීද, එකල්හි රජුට මෙසේ කීවාය. දේවයිනි, මගේ පුතු දැක සතුටු සිතින් ඔබ විසින් මට වරයක් දෙන ලදී. එය දැන් දෙන්න. දේවිය එය ගන්න. මගේ පුතුට රජකම දෙන්න. එසේ විය නොහැක. වසලිය, මගේ දෙටු පුත් වූ දෙව්කුමරු වැනි සුජාත පුතු සිටින කල්හි කුමක් නිසා මෙසේ කියන්නෙහිදැ’යි කියා එය ප්රතික්ෂේප කළේය. දේවිය නැවත නැවත ද පෙළඹවීම් කරන්නී වුවද කැමැත්ත නො ලබා සිට එක් දවසක් මෙසේ කීවාය. දේවයන් වහන්ස, ඉදින් ඔබ සත්යයෙහි පිහිටන්නෙහි නම් මට මේ දුන් වරය දෙන්නෙහිමය. රජතෙමේ මා විසින් කල්පනා නොකොට මැයට මේ වරය දෙන ලදී. මැය ද මෙසේ කියන්න යයි පසුතැවිල්ලට පත්වී සුජාත කුමරුන් කැඳවා මේ කරුණ කියා කඳුළු සැලුවේය. කුමාරයා සෝක කරමින් වැළපෙන්නා වූ පියාණන් දැක සොම්නස් වූයේ කඳුළු සලා පියාණන් වහන්ස, මම අන් තැනකට යන්නෙමි. එයට අවසර දෙනු මැනවයි කීය. එය අසා රජු විසින් ‘ඔබට වෙනත් නගරයක් තනවන්නෙමි’ එහි වාසය කරන්නැ’යි කියන ලද කල්හි කුමාරයා එය නො ඉවසීය. මගේ සහායක රජදරුවන් වෙතට ඔබ යවන්නෙමි’යි කී කල එය නො පිළිගත්තේය. දේවයන් වහන්ස, මම ආරණ්යයටම යන්නෙමියි කීය. රජ තෙමේ පුතු වැළඳගෙන හිස සිඹ සනසා ‘මගේ ඇවෑමෙන් පසු මෙහි පැමිණ මගේ රාජ්යයෙහි පිහිටන්නැ’යි කියා පිටත් කළේය.
ඒ කුමාරයා වනයට පිවිස වනයෙහි වෙසෙන්නේ එක් දිනක් මුව දඩයමේ ගියේය. ඔහු මහණ වී සිටි සමයේ සහායව සිටි එක් දිව්ය පුත්රයෙක් මිතුරු බව නිසා මුවකුගේ රූපයෙන් ඔහු ආශාවට පත්කරවමින් දුවගොස් මහා කච්චාන තෙරුන් වසන තැන අසලට පැමිණ අතුරුදහන් වූයේය. ඒ කුමාර තෙමේ මේ මුවා දැන් අල්වා ගනිමියි සිත සිතා පසුපසින් දුවන්නේ තෙරුන් වහන්සේ ළඟට පැමිණ ඌ නොදක්නේ පන්සලෙහි පිටුපස උන් තෙරුන් දැක උන්වහන්සේ ඉදිරියේ දුනු කෙළවරට බර දී සිටගත්තේය. තෙරණුවන් ඔහු දැක ඔහුගේ සියලු පුවත් දැන අනුග්රහ කරමින් නො දන්නහු මෙන් සංග්රහ කරන්නාහු,
දළ්හ ධම්මා නිසාරස්ස - ධනුං ඕලුබ්භ තිට්ඨසී
ඛත්තියොනුසි රාජඤ්ඤො - ආදු ලුද්දො මනෙ චරො
ඛත්තියොනුසි රාජඤ්ඤො - ආදු ලුද්දො මනෙ චරො
රුකක තද අරටුවෙන් තැනූ ශක්තිමත් දුන්නට බර දී සිටින ඔබ ක්ෂත්රියයෙක් ද, රාජ කුමාරයෙක් ද, නැතිනම් වගේ හැසිරෙන වැදි පුත්රයෙක්ද?
එහි දළ්හ ධම්මා දළ්හ ධනු හෙවත් ශක්තිමත් දුන්න දළ්හ ධනු යනුවෙන් ද්විසහස්සත්ථාව හෙවත් දෙදහසක් වන වීර්යයන් ගැන ද කියනු ලැබේ. ද්විසහස්සත්ථාව යනුවෙන් යමකට සම්බන්ධ කරන ලද දුනු දිය හෙවත් ලණුවට බැඳුනු ලෝහ ඊයම් ආදී බර ද්රව්යයක් ලීයක් ගෙන පොළවෙන් ඊ තලයක් පමණ උසක් ඉහළට ඔසවා මුදාහැරීමයි. නිසාරස්ස අතිශයින් හරවත්, උසස් අරටුවක් ඇති වෘක්ෂයේ ධනුං දුන්න අදහස් වේ. තද අරටුවක් ඇති වෘක්ෂයකින් කරන ලද දුන්න යන අර්ථයයි. ඔලුබ්භ බරකින් තදකරගෙන රාජඤ්ඤො රාජ කුමාරයෙක් වනචරො වනයෙහි හැසිරෙන්නා.