14. මහාරථවිමාන වර්ණනා
සහස්ස සුත්තං භයවාහනං සුභං යනුවෙන් මහා රථ විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන සේක. එසමයෙහි පෙර කථාවෙහි කියන ලද පරිදිම දිව්‍යලෝක චාරිකාවේ යෙදුනු ආයුෂ්මත් මහ මුගලන් මහ රහතන් වහන්සේ, තව්තිසා භවනයේ තමන්ගේ විමානයෙන් නික්ම, දහසක් අසුන් යෙදූ මහත් වූ දිව්‍යරථයට නැග මහත් පිරිවරක් සමග මහත් වූ දිව්‍යමය සෘද්ධියෙන් යුතුව උයන්කෙළි සඳහා යන්නා වූ ගෝපාල නම් දිව්‍යපුත්‍රයාගේ නුදුරෙහි පහළ වූ සේක. දිව්‍ය පුත්‍ර තෙමේ උන්වහන්සේ දැක හටගත් ගරු බුහුමන් ඇත්තේ වහාම රථයෙන් බැස තෙරණුවන් සමීපයට පැමිණ පසඟ පිහිටුවා වැඳ හිසෙහි ඇඳිලි බැඳ සිටියේය.
ඔහුගේ පූර්ව කර්මය මෙසේ විය. ඈත අතීතයේ එක් කාන්තාවක් විපස්සී නම් බුදුන් හට රන් මලින් පුදා මේ පිනේ ආනුභාවයෙන් මට භවයක් පාසා ස්වර්ණමය වූ ළය වසන ළය ආවරණ මාල ලැබේවායි ප්‍රාර්ථනා කළාය. ඒ පිනෙන් බොහෝ වූ කල්ප ගණනක් සුගතීන්හි සැරිසරමින් කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි ‘කිකී’ නම් වූ කාසි රජුගේ අග මෙහෙසියගේ කුසෙහි උපන්හ. ඇගේ ප්‍රාර්ථනාව අනුව ළය පෙදෙස සැරසීම සඳහා ලැබීමෙන් ‘උරච්ඡද මාලා’ යන නම් ඇතිව දේව කන්‍යාවකට සමාන වූ රජදුවක්ව උපනි. ඇගේ ආචාර්ය වූ ගෝපාල නම් වූ බ්‍රාහ්මණයා, ශ්‍රාවක සංඝයා සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අසදස මහා දානය ආදී මහදන් පවත්වා ඉන්‍ද්‍රියයන් මුහුකුරා නො ගිය බැවින් තමාද රජ දුවද උදෙසා ශාස්තෲන් වහන්සේ ධර්මය දේශනා කළද සෝවාන් ආදී විශේෂත්වයක් උපදවාගත නොහැකි වූයේ පුහුදුන් ලෙසටම කළුරියකොට රැස් කරගෙන තිබූ පින් බලයෙන් තව්තිසාවේ යොදුන් සියයක් වූ රන් විමනෙක උපන්නේය. කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් අප්සරාවෝ පිරිවරා සිටියහ. ඔහුට සත්රුවනින් හෙබි දහසක් අසුන් යෙදුවා වූද මනරම් ලෙස විසිතුරු කරන ලද බිත්ති ඇත්තා වූ සිනිඳු මිහිරි නාද ඇත්තා වූද, තමන්ගේ ප්‍රභා රශ්මීන්ගෙන් සූර්ය මණ්ඩලයට අපහාස කරන්නාක් වැනි වූ දිව්‍යමය වූ ආජානීය අශ්වරථයක් පහළ විය.
ඒ දිව්‍යපුත්‍ර තෙමේ එහි දිවි ඇති තාක් දිව සැපත් අනුභවකොට නැවත නැවත දෙව්ලොවම සැරිසරමින් මෙම ගෞතම බුද්ධෝත්පාද සමයෙහි ඒ පෙර කර්මයේම විපාක ඉතිරිව තිබූ බැවින් කියන ලද ආකාර සම්පත් ඇතිව, ගෝපාල යන නමින්ම තව්තිසාවේම උපනි. ඒ සඳහා ‘තෙන ච සමයෙන ආයස්මා මහා මොග්ගල්ලානො පෙ- අඤ්ජලිං සිර පග්ගය්හ අට්ඨාසි’ යයි කියන ලද්දේය.
මෙසේ තමා වෙතට එළඹ සිටි ඒ දිව්‍ය පුත්‍රයාගෙන් ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ ගාථා මගින් මෙසේ ප්‍රශ්න කළහ. (ගාථාවන්හි අදහස්)
දහසක් අසුන් යෙදූ යහපත් වූ අනේක ලෙස විචිත්‍ර වූ අශ්ව වාහනයට නැග උයන් බිම සමීපයට යන්නා වූ ඔබ, දෙවියන්ගේ නායකයා වන ශක්‍ර දේවේන්ද්‍රයා ලෙස බබළන්නේය.
උසස් ලෙස ශිල්ප දන්නා වූ පුරුෂයන් විසින් තනන ලද ඔබගේ රථයෙහි දෙපස බිත්තිවලින් ද කුළුණු වලින් ද යුක්තය. සියල්ල රත්තරනින් නිමවන ලද්දේය. ඔබගේ රථයෙහි ඉදිරිපස කිඹුල් මුව දෙක පසළොස්වක පුන්සඳ මෙන් බබළයි.
රන් දැලකින් වසා ඇති මේ රථය බොහෝ වූ රත්න වර්ගයන්ගෙන් විසිතුරු කර ඇත. එය මනා වූ හඬකින් යුක්තය. ශෝභමානය. චාමර ගත් අත් ඇති අප්සරාවෝ සමූහයක් එහි වසති. ඔව්හුද බබළති.
මේ රථ රෝදයන්හි බොස්ගෙඩි විචිත්‍ර ලෙස නිමාකොට ඇත. රථයේ චක්‍ර හා නිම්වළලු චක්‍රාකාරයෙන් විදුලිය මැද දිළිසෙන්නා සේය. සිය දහස් ගණන් රේඛා සමූහය ගන රනින් නිමියේ ය.
අනේකවිධ රත්නයන්ගෙන් නිමියා වූ, නිම් වළලු සහිත රිය සක් පෙල ශෝභාමත් වෙයි. ඒවායේ හඬ පංචාගික තූර්ය නාදය මෙන් ගීතවත්ව ඇසේ.
රථ ශීර්ෂයෙහි යොදා ඇති රන්වන් රේඛාවන් නිසා මනෝඥ වූ ප්‍රභවයක් ඇති වන්නේය. වෛධූර්ය මැණික්වල රශ්මිය චන්ද්‍ර මණ්ඩලයේ සඳරැස් මෙන් බබළන්නේය.
රථයෙහි යොදා ඇති අශ්වයෝ නියම උසින් ද, ඊට අනුරූප වූ මහතින් ද යුක්තය. මනා ලෙස ජව සම්පන්නය. හැම අතින්ම වැඩිදියුණු වී ඇති ඔහු බලසම්පන්නය. මේ අශ්වයන් ඔබගේ සිත අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්නෝය.
ජවය ආදී ගුණයන් දරන්නා වූ, මෘදු ස්වභාව ඇත්තා වූ, සන්සුන් ගති ඇත්තා වූ, ප්‍රමෝදයට පත් කරන්නා වූ, මේ සියලුම සත්ත්වයෝ ඔබගේ සිතැඟි අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙති.
මනාව පිළියෙල කළ ඇඳුම් පැළඳුම් සහිතව අහසෙහි සිටින අය විවිධ කෘත්‍යයන් දක්වති. සමහරු සාමාන්‍ය ලෙස පවතී. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් චලනය වීමේ දී පසඟතුරු නද ඇසේ. වාදනය කරනු ලබන සංගීත භාණ්ඩයන්ගේ හඬද මිහිරි ලෙසින් ඇසේ.
රථයේ හඬ ද, පළඳනාවන්ගේ හඬද, අස්කුර නාදයද අශ්වයන්ගේ වේගවත් ගමන් හඬද, යන මේ සියලු ශබ්ද චිත්‍රලතා වනයේ ගාන්ධර්ව තූර්ය නාද මෙන් ඇසේ.
රථයෙහි සිටින අප්සරාවන්ගේ ඇස් ළදරු මුව පොව්වන්ගේ ඇස් වැනිය. ඈලා වසු පැටවුන්ගේ මෙන් ඇසිපිය ඇත්තාහ. සිනහ සහිත මුව ඇත්තාහ. පියකරු තෙපුල් ඇත්තාහ. වෛරෝඩි මාණික්‍ය වැනි දැලින් වැසුණු ශරීර ඇත්තාහ. හැම කල්හිම ගාන්ධර්වයන්ගේ හා සුරයන්ගේ ගෞරවයට පාත්‍ර වන්නාහ.
සිත්කලු රූපයන් ද රතු සහ කහ පැහැති වස්ත්‍ර ද රතු රේඛාවන්ගෙන් අලංකාර වූ ඇස් ද සොඳුරු සිරුරු ද ඇති ඒ අප්සරාවෝ සින්ධව කුලයේ උපන්නාහු වෙති. ඈලා ඇඳිලි බැඳගෙනම රථයට පැමිණ සිටිති.
රනින් කළ බාහු වළලු පැළඳ, මනා වූ සුවඳ සුණු ගා පිරිමැදි අඟපසඟ ඇති, සොඳුරු ඉඟටියක් ඇති, මනා වූ කලවා හා පියයුරුවලින් යුත්, රවුම් ඇඟිලිවලින් හා සොඳුරු මුහුණකින් සෝභමාන වූ අප්සරාවෝ ඇඳිලි බැඳ රථයේම උන්නේ දැකීමට ප්‍රිය උපදවයි.