8. සුචිවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං යනු සුචි විමාන වස්තුවයි. එහි උපත කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඇසුරුකොට වෙළුවනයෙහි වැඩ වසති. එ සමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ සිවුරු මැසීම් කළයුතු වූයේය. ඒ සඳහා ඉඳිකටුවල අවශ්‍යතාවයක් විය. සැරියුත් හිමියෝ රජගහ නුවර පිඬු සිඟා හැසිරෙමින් කර්මාන්තකරුගේ ගෙදරට වැඩ ගේ දොරකඩ වැඩ සිටියේය. කර්මාන්තකරු උන්වහන්සේ දැක පැමිණ ස්වාමීනි, කුමක් අවශ්‍යදැයි ඇසීය. සිවුරක් මසා ගැනීමට තිබේ. ඉඳිකටුවල අවශ්‍යතාවයක් ඇත. කර්මාන්තකරු ප්‍රසන්න වූ සිතින් ආරක්ෂා කරන ලද ඉඳිකටු දෙකක් ගෙනැවිත් පූජාකොට, ස්වාමීනි, නැවතත් ඉඳිකටුවල අවශ්‍යතාවයක් ඇතොත් මා වෙත දන්වන්නැයි කියා පසඟ පිහිටුවා වැන්දේය. ස්ථවිරයන් වහන්සේ ඔහුට අනුමෙවැනි බණ වදාරා වැඩියහ. හෙතෙම පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව උපණි. ඉක්බිති මහා මුගලන් ස්ථවිරයන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ හැසිරෙන්නේ ඒ දේවපුත්‍රයා වෙතින් මේ ගාථාවන්ගෙන් කරුණු විචාළේය.
දොළොස් යොදුනක් හාත්පස පැතිරුණා වූ ඉතා උස් වූ මැණික්වලින් කරන ලද මේ විමානයේ සත්සියයක් කුළුගෙවල් වෙති. වෛධූර්ය මැණික්වලින් උසට තනන ලද ස්තම්භ ඇත්තාහ.
තමන් යමක් කැමති වේද, ඒ කැමති වන්නා වූ කෑ යුතු දේ ද, පිය යුතු දේ ද ඇත. දිව්‍ය වීණාවන්ගෙන් සංගීත රාවය උපදවයි. දිව්‍යමය වූ පංචක ගුණ සම්පත් වෙති. රන්වන් වූ දෙවඟනෝ රන්වන් වස්ත්‍ර හැඳ නටත්.
කුමන කුසල කර්මයක් හේතුවෙන් මේ අන්දමේ රූප සම්පත්තියක් මෙවැනි භවභෝග සම්පත් ලැබුවේද? සිතේ සතුටින් කරන ලද කුසලය කවරේද?
මහානුභාව සම්පන්න දෙවිය, සියලු දිසාවන් බබුළුවන්නා වූ ප්‍රභාවයක්, වර්ණයක් කෙසේ ලැබුවේදැයි විමසමි.
ඒ දේවපුත්‍රයා මහා මුගලන් හිමි තමන්ගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද කුසල කර්මය ප්‍රකාශ කරමින් ප්‍රශ්නයට පිළිතුරු සැපයීය.
යමක් දෙයිද, එයම නො ලැබේ. යමක් පිරිසිදු සිතින් දෙන්නේ ද ඒ දීමම ශ්‍රේෂ්ඨය. ඉඳිකටු දානය ඉඳිකටු තුඩ මෙන්ම ශ්‍රේෂ්ඨය.
ඉඳිකටු දානමය කුසල කර්මයෙන් මේ සමාන වර්ණයක් සකල දිසා බබුළුවන රූ සපුවක් ලදිමි.
එහි යං දදාති යම් බඳු වූ දාන වස්තුවක් දෙය්‍ය ධර්මයක් න තං හොති යනු ඒ දෙන දෙයක්ම විපාකය වශයෙන් නොලැබේ. ඉක්බිති ක්‍ෂේත්‍ර සම්පත්තිය ද චිත්ත සම්පත්තිය ද මහත් වූ ද විපුලතර වූ ද විපාක ලබා දෙයි. එහෙයින් යඤ්වෙව දජ්ජා තඤ්චෙව සෙය්‍යො පෙනෙන්නා වූ යම්කිසි දෙයක් දෙන්නේ නම් එයම දීම ශ්‍රේෂ්ටය. නිවැරදි අන්දමින් දෙන්නා වූ දෙය්‍ය ධර්මයමැ දාන වස්තුවම ශ්‍රේෂ්ටය කවර හෙයින්ද, මා විසින් සුචිදින්නා සුචි මෙව සෙය්‍යො දෙන ලද ඉඳිකටු දානය ශ්‍රේෂ්ඨය. මෙවැනි සම්පත් ලැබුයේ ඒ කුශලයෙනි.
සුචී විමාන වර්ණනාව නිමියේ ය.
9. ද්විතීය සූචිවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං යනුවෙන් ආරම්භ වන දෙවැනි සුචි විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයේ වැඩවසන සේක. ඒ සමයෙහි දී රජගහ නුවර වැසි එක් රෙදි වියනක් විහාරය අසල ජීවත් වූයේ දිනක් විහාරයට පැමිණියේය. එහිදී එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ඉඳිකටුවකින් සිවුරු ගෙත්තම් කරනු දැක, ඉඳිකටු ගුලාවක් ද සහිතව ඉඳිකටු පූජා කළේය. ඉතිරි සියල්ල පෙර කියන ලද අයුරිනි.
හාත්පසින් උස්ව නැංගා වූ මිණිමය ටැම් හා කුළුගෙවල් සහිත ස්වර්ණමය විමානයකි. හාත්පස දොළොස් යොදුනක් ඒ විමානය පැතිර සිටී. ඔබගේ ඡවි වර්ණය ද සියලු දිසාවන් බබුළුවයි. ආදි වශයෙන් මුගලන් තෙරුන් විමසීය.
ඒ දේවපුත්‍රයා මුගලන් මහ තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තමන් විසින් යම් කර්මයක් කරන ලද එහි කර්ම විපාකය පවසන්නේ,
මෙයින් පෙර ආත්මභාවයේ මම මිනිස්ලොව මිනිසකු වී ඉපදුනෙමි. එහිදී
හද තුළ ප්‍රසාදය උපදවන්නා වූ රජස් දුරු කළා වූ එක් භික්‍ෂූන් වහන්සේ නමක් හමු වී උන්වහන්සේට ප්‍රසන්න වූ සිතින් මගේ දෑතින්ම ඉඳිකටුවක් පූජා කළෙමි.
ඒ ඉඳිකටු පූජාවේ ආනිසංසයෙන් සියළු දිසා බබළවන්නා වූ මෙවැනි ප්‍රභාවයක් ද, මෙබඳු ඡවි වර්ණයක් ද ලැබුවෙමි.
ඉතිරි සියල්ල පෙර කී පරිද්දෙන් දත යුතු.
දෙවැනි සුචි විමාන වර්ණනාව නිමියේ ය.
10. නාගවිමන වර්ණනා
සුසුක්‍ඛන්‍ධං අභිරුය්හ නාගං යනුවෙන් ආරම්භ වන්නේ නාග විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ දෙව්ලොව චාරිකාවේ සැරිසරන්නේ මින් පෙර කියන ලද පරිද්දෙන්ම තව්තිසා දෙව්ලොවට වැඩි සේක. එහිදී සම්පූර්ණයෙන්ම ධවල වූ හොඳ උස මහත ඇති දිව්‍ය හස්තිරාජයකු පිට නැගී මහත් පිරිවර සමගින් මහත් දිව්‍යානුභාවයෙන් හිරු සඳු නැගුණා සේ සකල දිසාවන් බබළවමින් යන්නා වූ එක්තරා දිව්‍ය පුත්‍රයකු දැක්කේය. ඔහු දැක ඒ දේවපුත්‍රයා වෙත වැඩමවීය. ඉක්බිති දිව්‍යපුත්‍රයා උන්වහන්සේ දැක ඇත්කඳින් බැස ආයුෂ්මත් මුගලන් තෙරුන් නැමද ඇඳිලි බැඳගෙන සිටියේය. ඉක්බිති තෙරුන් වහන්සේ -
සර්වාංගයම ධවල වූ මනාව වැඩුණු දළ ඇති මහත් ජව සම්පන්න වූ මනා සිරුරින් යුත්, උතුම් වූ ගජයානයට නැගි අහස් කුස පුරා ආලෝකය පතුරුවමින් කොහි යන්නෙහිද?
ඇතාගේ දළ දෙක අග පිරිසිදු සිහිල් දිය සපිරි මනාව පිපී ගියා වූ නෙළුම් මානෙල් ආදී මල්වලින් ගැවසී ගත් පොකුණු ඇත්තේය. ඒ පොකුණුවල පිපුණු මල් පෙති සිට තූර්ය නාදයන්ට අනුව මනහර නර්තනයන් දක්වන දිව්‍යාංගනාවෝ රඟ දෙන්නාහ.
මහානුභාව සම්පන්න දේව පුත්‍රයාණනි, මෙවැනි දිලිසෙන්නා වූ සිරුරක් ලබා, සියලු දිසා බබුළුවන ප්‍රභාවයක් සහිත මේ මහා සම්පත් ලබන්නට ඔබ මිනිසෙකු වී කිනම් පුණ්‍ය කර්මයක් කළේද?
එහි සුසුක්‍ඛන්‍ධං යනු මනාව ධවල වූ ශරීරය ඒ ඇතුගේ පා සතර වස්ති කෝෂය මුහුණු පෙදෙස, කන් දෙක වලිගය ඇතුළත් මෙපමණක් හැර මුළු සිරුරම ධවලය. කඳ පෙදෙස අතිශයින්ම ධවල වේ යයි කියන ලදී. ඒ නිසා සුසුක්‍ඛන්‍ධං යනු කීහ. නාගං දිව්‍යමය වූ හස්ති නාගයා අකාවිනං දොස් රහිතය. කබර ලකුණු තිත් පැල්ලම් කැළැල් ආදි කිසිවක් නැති යන අර්ථයි. ‘ආජානීයං’ පෙළ ආජානීය ලක්‍ෂණ දක්වන්නේ යයි කියන ලද දන්තීනං දත් මනාව වැඩුණු සිත්කළු දළ ඇත්තේය. බලිං මහා බලවත්ය. මහාජවං ශීඝ්‍ර වූ ගමන් වේග ජව ඇත්තාය. අභිරුය්හා යනු මෙහි අනුනාසිකය ලොප් වූ බව දතයුතුයි. ආරෝහ පරිණාහයෙන් යුත් දේහයකින් යුක්තය. සෙසු විස්තර සඳහන් පරිදිය.