7. ද්විතීය කරණීය විමාන වර්ණනා
සත්වැනි විමාන වතුවයි. සයවැන්න හා සමානයි. එක්තරා උපාසකයකු විසින් භාග්යවතුන් වහන්සේට ආහාර පූජාව පවත්වන්නේය. දිනක් මේ උපාසක තෙමේ එක්තරා තෙරණුන් වහන්සේ නමක් හමු වී උන්වහන්සේ ගෙදරට වැඩමවාගෙන ඇවිත් සකසා දන් දුන්නේය. සෙස්ස පෙර කථාවල සඳහන් අයුරින් දතයුතුය.
දොළොස් යොදුනක් හාත්පස පැතිරුණා වූ ඉතා උස් වූ මැණික්වලින් කරන ලද මේ විමානයේ සත්සියයක් කුළුගෙවල් වෙති. වෛධූර්ය මැණික්වලින් උසට තනන ලද ස්තම්භ ඇත්තාහ.
තමන් යමක් කැමති වේද ඒ කැමති වන්නා වූ කෑ යුතු දේ ද, දිය යුතු දේ ද ඇත. දිව්ය වීණාවන්ගෙන් සංගීත රාවය උපදවයි. දිව්යමය වූ පංචක ගුණ සම්පත් වෙති. රන්වන් වූ දෙවඟනෝ රන්වන් වස්ත්ර හැඳ නටත්.
සියලු දිසාවන් බබුළුවන්නා වූ මේ අන්දමේ වර්ණයක් හා මේ අන්දමේ මහා සම්පත් කවර කුසලයකින් ලැබුයේද?
ඒ දේවපුත්රයා මහ මුගලන් තෙරුන් විසින් තමන්ගෙන් අසන ලද ප්රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද කර්මයන් පිළිබඳ විස්තරය ප්රකාශ කරන ලදී.
බුද්ධිමත් නුවණැත්තන් විසින් පින්කම් කළ යුතුය. තුන් සිත පහදවාගෙන බුදුවරුන් කෙරෙහි දෙන දානය මහත්ඵල මහානිසංස වේ.
ආරණ්යයේ සිට ගමට වඩින්නා වූ එක් භික්ෂුනමක් මට හමුවිය. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙදරට වඩමවා මගේ අර්ථය සඳහා උන්වහන්සේට සමකොට දන් පිරිනැමීමි. ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි.
සියලු දිසාවන් බබළන වර්ණයක් හා මේ සියලු සම්පත් ඒ දන්දීමේ පිනෙන් මම ලදිමි.
දෙවැනි කරණීය විමාන වර්ණනාව නිමියේ ය.
8. සුචිවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං යනු සුචි විමාන වස්තුවයි. එහි උපත කෙසේ වීද යත්? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ඇසුරුකොට වෙළුවනයෙහි වැඩ වසති. එ සමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ සිවුරු මැසීම් කළයුතු වූයේය. ඒ සඳහා ඉඳිකටුවල අවශ්යතාවයක් විය. සැරියුත් හිමියෝ රජගහ නුවර පිඬු සිඟා හැසිරෙමින් කර්මාන්තකරුගේ ගෙදරට වැඩ ගේ දොරකඩ වැඩ සිටියේය. කර්මාන්තකරු උන්වහන්සේ දැක පැමිණ ස්වාමීනි, කුමක් අවශ්යදැයි ඇසීය. සිවුරක් මසා ගැනීමට තිබේ. ඉඳිකටුවල අවශ්යතාවයක් ඇත. කර්මාන්තකරු ප්රසන්න වූ සිතින් ආරක්ෂා කරන ලද ඉඳිකටු දෙකක් ගෙනැවිත් පූජාකොට, ස්වාමීනි, නැවතත් ඉඳිකටුවල අවශ්යතාවයක් ඇතොත් මා වෙත දන්වන්නැයි කියා පසඟ පිහිටුවා වැන්දේය. ස්ථවිරයන් වහන්සේ ඔහුට අනුමෙවැනි බණ වදාරා වැඩියහ. හෙතෙම පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව උපණි. ඉක්බිති මහා මුගලන් ස්ථවිරයන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ හැසිරෙන්නේ ඒ දේවපුත්රයා වෙතින් මේ ගාථාවන්ගෙන් කරුණු විචාළේය.
දොළොස් යොදුනක් හාත්පස පැතිරුණා වූ ඉතා උස් වූ මැණික්වලින් කරන ලද මේ විමානයේ සත්සියයක් කුළුගෙවල් වෙති. වෛධූර්ය මැණික්වලින් උසට තනන ලද ස්තම්භ ඇත්තාහ.
තමන් යමක් කැමති වේද, ඒ කැමති වන්නා වූ කෑ යුතු දේ ද, පිය යුතු දේ ද ඇත. දිව්ය වීණාවන්ගෙන් සංගීත රාවය උපදවයි. දිව්යමය වූ පංචක ගුණ සම්පත් වෙති. රන්වන් වූ දෙවඟනෝ රන්වන් වස්ත්ර හැඳ නටත්.
කුමන කුසල කර්මයක් හේතුවෙන් මේ අන්දමේ රූප සම්පත්තියක් මෙවැනි භවභෝග සම්පත් ලැබුවේද? සිතේ සතුටින් කරන ලද කුසලය කවරේද?
මහානුභාව සම්පන්න දෙවිය, සියලු දිසාවන් බබුළුවන්නා වූ ප්රභාවයක්, වර්ණයක් කෙසේ ලැබුවේදැයි විමසමි.
ඒ දේවපුත්රයා මහා මුගලන් හිමි තමන්ගෙන් අසන ලද ප්රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කරන ලද කුසල කර්මය ප්රකාශ කරමින් ප්රශ්නයට පිළිතුරු සැපයීය.
යමක් දෙයිද, එයම නො ලැබේ. යමක් පිරිසිදු සිතින් දෙන්නේ ද ඒ දීමම ශ්රේෂ්ඨය. ඉඳිකටු දානය ඉඳිකටු තුඩ මෙන්ම ශ්රේෂ්ඨය.
ඉඳිකටු දානමය කුසල කර්මයෙන් මේ සමාන වර්ණයක් සකල දිසා බබුළුවන රූ සපුවක් ලදිමි.
එහි යං දදාති යම් බඳු වූ දාන වස්තුවක් දෙය්ය ධර්මයක් න තං හොති යනු ඒ දෙන දෙයක්ම විපාකය වශයෙන් නොලැබේ. ඉක්බිති ක්ෂේත්ර සම්පත්තිය ද චිත්ත සම්පත්තිය ද මහත් වූ ද විපුලතර වූ ද විපාක ලබා දෙයි. එහෙයින් යඤ්වෙව දජ්ජා තඤ්චෙව සෙය්යො පෙනෙන්නා වූ යම්කිසි දෙයක් දෙන්නේ නම් එයම දීම ශ්රේෂ්ටය. නිවැරදි අන්දමින් දෙන්නා වූ දෙය්ය ධර්මයමැ දාන වස්තුවම ශ්රේෂ්ටය කවර හෙයින්ද, මා විසින් සුචිදින්නා සුචි මෙව සෙය්යො දෙන ලද ඉඳිකටු දානය ශ්රේෂ්ඨය. මෙවැනි සම්පත් ලැබුයේ ඒ කුශලයෙනි.
සුචී විමාන වර්ණනාව නිමියේ ය.
9. ද්විතීය සූචිවිමාන වර්ණනා
උච්චමිදං මණිථූනං යනුවෙන් ආරම්භ වන දෙවැනි සුචි විමාන වස්තුවයි. එහි උපත කවරේද? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන විහාරයේ වැඩවසන සේක. ඒ සමයෙහි දී රජගහ නුවර වැසි එක් රෙදි වියනක් විහාරය අසල ජීවත් වූයේ දිනක් විහාරයට පැමිණියේය. එහිදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඉඳිකටුවකින් සිවුරු ගෙත්තම් කරනු දැක, ඉඳිකටු ගුලාවක් ද සහිතව ඉඳිකටු පූජා කළේය. ඉතිරි සියල්ල පෙර කියන ලද අයුරිනි.