4. කක්කටකරස දායක විමාන වර්ණනා
උච්චමිදං මණිථූනං විමානං යනුවෙන් කක්කටක රසදායක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි වාසය කරන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් කණේ රුජාවකින් පෙළුනේ, සෞඛ්‍යයේ හීනතාවය නිසා විදර්ශනාව දියුණු කරගැනීමට නොහැකි වූයේය. වෛද්‍යවරුන් විසින් කියන ලද ආකාරයෙන් පිළියම් කළේ නමුදු රෝගය සන්සිඳුනේ නැත. හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ බව දැන්වීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවට කකුළු රසය සහිත මාළුවක්, (කකුළු වෑංජනයක්) සුදුසු යයි දැන ‘භික්ෂුව, ඔබ යන්න. මගධ ක්ෂේත්රයේ පිඬු පිණිස හැසිරෙන්නැ’යි කීය.
ඒ භික්ෂුව දුර දක්වා වූ භාග්‍යවතුන් වහන්සේගේ නුවණින් යමක් දකින්නට ඇතැයි සිතීමෙන් එසේය ස්වාමීනියි පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේට වැඳ පාසිවුරු ගෙන මගධ දේශයට ගොස් එක් ක්ෂේත්රයක, ක්ෂේත්‍ර පාලකයකුගේ ගෙදොර ඉදිරිපිට පිඬු පිණිස සිටියේය. එදින කකුළු වෑංජනයක් සකස්කොට බත් පිස මදක් විඩා හරිමියි සිතා පාලකයා නිවිහැනේ සිටියහ. එසේ සිටිද්දී ඔහු තෙරුන් වහන්සේ දැක පාත්‍රය ගෙන සිය කුටියේ වඩා හිඳුවා කකුළු වෑංජනය සහිත බත් පිළිගැන්වීය. ඒ බත් මදක් වැළඳූ සැනින්ම තෙරුන්ගේ කණේ වේදනාව සංසිඳුනේය. වතුර කළගෙඩි සියයකින් නහන්නකු මෙන් විය. යෝග්‍ය වූ ආහාර ගැනීම් වශයෙන් සිතට පහසුවක් ලැබී විදර්ශනාව වෙත නැමී ගිය සිත් ඇති ඒ තෙරණුවෝ විදර්ශනා වඩා කෙලෙස් අවසන්කොට රහත් බැව්හි පිහිටා ක්ෂේත්‍ර පාලකයාට ‘උපාසකය, ඔබේ පිණ්ඩපාතය වැළඳීමෙන් මගේ රෝගය සන්සිඳී කය ද සිත ද සුවපත් විය. ඔබ ද මේ පින් බලෙන් කය ද සිත ද දුකින් වෙන්වූවෙක් වන්නෙහි යයි කියා අනුමෝදන් කොට පිටත් වී ගියහ.
ඒ ක්ෂේතු පාලක තෙමේ පසුකලෙක කලුරියකොට තව්තිසා භවනයේ දොළොස් යොදුන් වූ මැණික්මය කුළුණින් යුතු රන් විමනෙක්හි සත්සියයක් කූටාගාර සහිත වෛධූර්ය මැණික්මය කාමරයක උපන්නේය. ඔහුගේ දොරෙහි ද රැස්කරන ලද පුණ්‍යකර්මය දක්වමින් කත් ලී කොණකින් එල්ලෙන්නාක් වැනි රන්මය කකුළුවෙක් එල්ලී සිටියේය. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් පෙර කියන ලද පරිදිම දිව්‍ය ලෝක චාරිකාව සඳහා තව්තිසා භවයට ගොස් මහත් වූ දිව්‍යමය සෘද්ධියෙන් බබළමින් දහසක් අප්සරාවන් පිරිවරකොට සැට ගැල් පමණ දිව අබරණවලින් බබළන සිරුරු ඇතිව, හාත්පස සඳු මෙන් ද, හිරු මෙන් ද බබළන ඒ දිව්‍යපුත්‍රයා දැක මේ ගාථාවන් මගින් ප්‍රශ්න කළහ.
උස් වූ මැණික්මය කුළුණු ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුන් වේ. උස් වූ කූටාගාර සත්සියයක් වේ. වෛධූර්මය කුළුණු ද ඒ මහල්හි අතුරන ලද ස්වර්ණමය මනෝඥ වූ ඵලකයන් ද වේ.
ඔබ එහි වෙසෙන්නෙහිය. දිව්‍යමය ආහාරපාන ගන්නෙහිය. මිහිරිමය වූ දිව්‍යමය වූ වීණාවන් ඔබ වෙනුවෙන් වාදනය කෙරෙත්. මෙහි දිව්‍යමය වූ පංචකාම ගුණ ඇතුළත් රසයන් පවතී. රන් අබරණින් සිරුර වසා ගත් දිව්‍ය ස්ත්‍රීහු නැටීමෙහි යෙදෙති.
මනසට ප්‍රිය වූ යමක් වේද, ඒ සම්පත් ඔබට ලැබෙන්නේය. ඔබට බබළන වර්ණයක් කුමක් නිසා ලැබුනේද, ඔබට එබඳු සමෘද්ධියක් කුමක් නිසා ලැබුනේද,
මහත් වූ ආනුභාව ඇති දිව්‍ය පුත්‍රයාණනි, ඔබේ වර්ණය සියලු දිශාවන්ම බබළුවන මෙවැනි දීප්තිමත් ආත්මභාවයක් කුමක් නිසා ලැබුනේද, මනුෂ්‍යයකුව සිටිමින් කවරනම් පිනක් කළහිදැයි ඔබෙන් අසන්නෙමි.
ඒ දිව්‍යපුත්‍රයා තෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්නේය.
මුගලන් මහතෙරුන් විසින් ප්‍රශ්න කරන ලදින් සතුටට පත් සිත් ඇති ඒ දිව්‍යපුත්‍ර තෙමේ මේ ඵලය කවරනම් පුණ්යකර්මයක්හුගේ දැයි යනුවෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පහත දැක්වෙන අයුරින් ප්‍රකාශ කළේය.
සිහිය ඇති කරවන්නා වූ මතක් කරවන්නා වූ රිදීයෙන් තනන ලද පාද දහයක් ඇති කකුළුවෙක් දොරටුවෙහි සිටියේය.
මා පෙර කළ ඒ ක්‍රියාවන්ගේ හේතුවෙන් මට මෙබඳු වර්ණයක් ඇතිවිය. එම හේතුවෙන්ම මට මේ සමෘද්ධිය ඇතිවිය. මනසට යමක් ප්‍රිය වෙයි ද ඒ සම්පත් ද මට ලැබෙන්නේ ය.
ඒ පින්කමේ හේතුවෙන් මෙසේ දීප්තිම මෙසේ දීප්තිමත් ආනුභාවයක් ඇත්තෙක් වෙමි. මාගේ වර්ණය ද සියලු දිසාවන්ම ආලෝකමත් කරයි.
එහි ගාථා පද විස්තර උච්චං ඉතා උසස්. මණිථූණං පද්මරාග මැණික් ආදියෙන් තැනූ කුළුණු. සමන්තතො සතර දිසාවන්හි. රුචකත්ථතා ඒ ඒ භූමියෙහි, මහළෙහි, රන්මුවා ලෑලි අතුරා ඇති,
පිචසි බාදසි ච කලින් කල ප්‍රයෝජනයට ගන්නා වූ සුවඳ පානයක් ද දිව්‍ය භෝජන ද සඳහා මෙසේ කියයි. පවදන්ති වාදනය කරත්. දිබ්බාරසා කාම ගුණෙත්ථ පංචා දිව්‍යමය වින්දනයෙන් යුත් බොහෝ වූ පංචකාම ගුණයන් එත්ථ ඔබගේ මෙම විමානයෙහි පවතින්නේය යන අර්ථයි. සුවණ්ණ ඡන්නා රන් අබරණින් අලංකාරවත් වූ,
සතිං සමුප්පාදකරො සිහිය හෙවත් මන කය උපදවා ගැනීම කරන්නා වූ, යම් පිනකින් මේ දිව්‍යමය සම්පත්තිය මා විසින් ලබන ලද්දේ ද, යන බව සිහියට නගා ගැනීම කරවන්නා වූ කක්කටක රස (කකුළු රසයක්) දීමෙන් මා විසින් මේ සැපත ලබන ලද්දේ යයි යනුවෙන් මෙසේ මගේ සිහියට ලබාගැනීම කරවන්නා වූ යන අර්ථයි. නිට්ඨිතො ජාත රූපස්ස රිදීවලින් නිමවන ලද රිදීයෙන්ම කළ එක් එක් පැත්තෙහි පහත් පහත් බැගින් තැනුන පාද දහයක් මෙහි ඇත යන අදහසින් දස පාදකො යයි යෙදේ. දස පාදකො ද්වාරෙ කක්කටකො ඨිතො සොභති එම කකුළු නිර්මාණයට මගේ පුණ්‍ය කර්මය එබඳු මහෝත්තමයන් හට පැහැදිලිව දක්වයි. මෙහි මා විසින් කිවයුතු යමක් නැත්තේය යන අදහසයි. එහෙයින් කෙන මෙ තාදිසො වණ්ණො යන ආදිය කියන ලදී. සෙස්ස කිය ලද පරිදිම වේ.
කක්කටක රස දායක විමාන වර්ණනාව නිමියේය.
5. ද්වාරපාලක විමාන වර්ණනා
උච්ඡමිදං මණිථූනං යනු ද්වාර පාලක විමානයයි. එහි උත්පත්ති කථාව කෙසේද? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා වෙළුවන විහාරයේ වැඩවාසය කරන සමයෙහි රජගහනුවර එක්තරා උපාසකයෙක් මහා සංඝයා වෙත නිති බත් සතරක් පූජා කරයි. ඔහුගේ ගෙදර පිට පැත්තේ මහදොරින් සොරු ඇතුළට එන නිසා බොහෝසෙයින් දොර වසා තිබේ. ඔහුගේ දානය පිණිස වැඩමවන භික්ෂූන් වහන්සේලා සමහර දවස්වල දොර සමීපයට වැඩ දොර වසා ඇති බැවින් දානය නොලැබ ආපසු යන්නාහු වෙති. උපාසකයා තම බිරිඳගෙන් දිනක් මෙසේ ඇසීය. කෙසේද, ඔබ ආර්යයන් වහන්සේලාට සමකොට දානය පිරිනැමුයේද? ඕ තොමෝ සමහර දවස්වල භික්ෂූන් වහන්සේලා නොවඩින බව කීවාය. කවර හේතුවක් නිසාද? සමහරවිට ගෙයි දොර වසා ඇති බැවින් වන්ට පුළුවන. ඒ අසා උපාසකයා සංවේගයට පැමිණ එක් පුරුෂයෙක් දොරටුපාලයා ලෙස පත් කළේය. ඔබ අද පටන් මේ දොරටුව ආරක්ෂා කරව. යම්කිසි විටක ආර්යයන් වහන්සේලා වැඩම කළවිට ඒ බව අපට දන්වා පිවිස උන්වහන්සේලාගේ පාත්‍රා ගෙන ආසන පැනවීම් ආදී සියලු ඇවැත් කාර්යයන් සම්පූර්ණ කරව. හෙතෙම මැනවැයි පිළිගෙන භික්ෂූන් සමීපයෙන් බණ අසා උපන් ශ්‍රද්ධාව ඇතිව කර්මඵල අදහා තිසරණ සරණයෙහි ද, ශීලයෙහි ද පිහිටා, සකසා භික්ෂූන්ට උවටැන් කළේය.