5. ද්වාරපාලක විමාන වර්ණනා
උච්ඡමිදං මණිථූනං යනු ද්වාර පාලක විමානයයි. එහි උත්පත්ති කථාව කෙසේද? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර නිසා වෙළුවන විහාරයේ වැඩවාසය කරන සමයෙහි රජගහනුවර එක්තරා උපාසකයෙක් මහා සංඝයා වෙත නිති බත් සතරක් පූජා කරයි. ඔහුගේ ගෙදර පිට පැත්තේ මහදොරින් සොරු ඇතුළට එන නිසා බොහෝසෙයින් දොර වසා තිබේ. ඔහුගේ දානය පිණිස වැඩමවන භික්ෂූන් වහන්සේලා සමහර දවස්වල දොර සමීපයට වැඩ දොර වසා ඇති බැවින් දානය නොලැබ ආපසු යන්නාහු වෙති. උපාසකයා තම බිරිඳගෙන් දිනක් මෙසේ ඇසීය. කෙසේද, ඔබ ආර්යයන් වහන්සේලාට සමකොට දානය පිරිනැමුයේද? ඕ තොමෝ සමහර දවස්වල භික්ෂූන් වහන්සේලා නොවඩින බව කීවාය. කවර හේතුවක් නිසාද? සමහරවිට ගෙයි දොර වසා ඇති බැවින් වන්ට පුළුවන. ඒ අසා උපාසකයා සංවේගයට පැමිණ එක් පුරුෂයෙක් දොරටුපාලයා ලෙස පත් කළේය. ඔබ අද පටන් මේ දොරටුව ආරක්ෂා කරව. යම්කිසි විටක ආර්යයන් වහන්සේලා වැඩම කළවිට ඒ බව අපට දන්වා පිවිස උන්වහන්සේලාගේ පාත්රා ගෙන ආසන පැනවීම් ආදී සියලු ඇවැත් කාර්යයන් සම්පූර්ණ කරව. හෙතෙම මැනවැයි පිළිගෙන භික්ෂූන් සමීපයෙන් බණ අසා උපන් ශ්රද්ධාව ඇතිව කර්මඵල අදහා තිසරණ සරණයෙහි ද, ශීලයෙහි ද පිහිටා, සකසා භික්ෂූන්ට උවටැන් කළේය.
පසුකලෙක නිති බත් දුන් උපාසකයා කළුරියකොට යාම දිව්ය ලෝකයේ උපන්හ. දොරටුපාලයා වනාහි සකස්කොට භික්ෂූන් වඩා හිඳුවා අනුන්ගේ දේ පරිත්යාග කොට වතාවත් කිරිමෙන්ද, අනුමෝදනා ඇසීමෙන්ද තව්තිසා දෙව්ලොව උපන්හ. ඔහුට දොළොස් යොදුනක රන් විමනක් ද ආදී කර්කට විමාන වස්තුවෙහි දැක්වූ පරිදි සියල්ල පහළ වූ බව දතයුතුයි. ප්රශ්න විචාරණ ගාථාව මෙසේ ආවේය.
දොළොස් යොදුනක් හාත්පස පැතිරුණා වූ ඉතා උස් වූ මැණික්වලින් කරන ලද මේ විමානයේ සත්සියයක් කුළුගෙවල් වෙති. වෛධූර්ය මැණික්වලින් උසට තනන ලද ස්ථම්භ ඇත්තාහ. තමන් යමක් කැමති වේද ඒ කැමති වන්නා වූ කෑ යුතු දේ ද පිය යුතු දේ ද ඇත. දිව්ය වීණාවන්ගෙන් සංගීත රාවය උපදවයි. දිව්යමය වූ පංචකාම ගුණ සම්පත් වෙති. රන්වන් වූ දෙවඟනෝ රන්වන් වස්ත්ර හැඳ නටත්.
සියලු දිසාවන් බබුළුවන්නා වූ මේ අන්දමේ වර්ණයක් හා මේ අන්දමේ මාහ සම්පත් කවර කුසලයකින් ලැබුයේද?
ඒ දේවපුත්රයා තමන් විසින් කරන ලද කර්ම හා එයින් ලත් විපාක විස්තර කරමින් මෙසේ කීය.
මම මිනිස්ලොව ඉපිද එක් දොරටු පාලකයෙක් වීමි. එහිදී ආර්ය භික්ෂු සංඝයාට මෙහෙන් වඩින්න, මෙහෙන් වැඩ ඉන්න ආදි වශයෙන් ගෞරවයෙන් අසුන් පැනවීමි. මේ ආර්යයන් වහන්සේලා ධර්මචාරී බ්රහ්මචාරී සුපේශල භික්ෂූන් යයි සිත පහදවා ගතිමි. දානය පිරිනැමුවෙමි. මේ පින්කම් නිසා දිව්යමය වූ පංචකාමයන්ගෙන් පරිසේවිත වූ මෙබඳු සම්පත් හා විමාන ද ලදිමි. මම දිව්යමය වර්ෂ අවුරුදු දාහක් ආයුෂ ඇත්තේ වෙමි.
එහි දිබ්බං මමං වස්ස සහස්සමායු යනු යම් දේව නිකායෙක්හි තෙමේ උපන්නේ ඒ තාවතිංස දෙවියන්ගේ ආයු ප්රමාණයම කියයි. මිනිසුන්ගේ ගණනින් වර්ෂ සියයක් එක් දවසකි. (දිවා රැයකි) එබඳු වූ රාත්රී තිහක් මාසයක් වේ. එවැනි මාස දොළසක් එක් වසරක් වේ. එවැනි අවුරුදු දහසක් ආයු කාලය වේ. එය මිනිස් ලොව ගණනින් වර්ෂ කෝටි තුනක් වර්ෂ හැටලක්ෂයක් වේ. වාචාහිගීතං යනු වචනයෙන් අභිගීත ගැයීමයි. මෙහෙන් වැඩමවන්න. මෙහි වාඩිවන්න. ආර්යයන් වහන්සේලාගේ සුවදුක් වසයෙන් කිම් පමණකි. මානස පවත්තිකං මේ ආර්යයන් වහන්සේලා සුපේශල ශික්ෂාකාමිය බ්රහ්මචරියාවේ හැසිරෙන්නෝය. ධර්මයෙහි හැසිරෙන්නෝය. ආදී සිතෙන් ප්රසාදයට පත්වූයේ පමණයි. මා සතුව පරිත්යාග කිරිමට වස්තුවක් තිබුනේ නැත. එත්තාවතා මෙතෙකින් කිම් පමණක් හා ප්රසාද සිත් ඇතිවීම පමණකි. ඨස්සති පුඤ්ඤ කම්මො මේ කරන ලද පින්කම්වලින් දෙව්ලොව සිටිමි. බොහෝ කලක් සැප විඳිමි. සිටින්නේ ද දිබ්බෙහි දිව්ය පංචකාම සම්පත්තියෙන් යුක්ත වූයේ වෙමි. එම දේව නිකායෙහි දෙවියන් සැප වළඳින ලෙසින්ම සුව විඳිමි. දිබ්බෙහි පඤ්චහි කාම ගුණෙහි සමංගිභූතො දිව්යමය වූ පංචකාම ගුණයන්ගෙන් සමන්විතව ඉන්ද්රියන් පිරිවරා වසන්නේ යන අර්ථයි.