3. ඡත්ත මාණවක විමාන වර්ණනා
යො වදතං පවරො මනුජෙසු යනුවෙන් ඡත්ත මානවක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වාසය කරන සේක. එ සමයෙහි සේතව්ය නගරයේ එක්තරා බ්රාහ්මණයකු හට අපහසුවෙන් ලැබුණු ඡත්ත නම් වූ තරුණ බ්රාහ්මණ කුමරෙක් වූයේය. හෙතෙම පියා විසින් මෙහෙයවනු ලැබූයේ උක්කට්ඨ නම් වූ නුවරට ගොස් පොක්ඛරසාතී නම් බ්රාහ්මණයාගේ සමීපයේ, තමන් නුවණැති බැවින් ද අනලස් බැවින් ද, සුලු කලකදීම මන්ත්රයෙන් ද දතයුතු දේ ද ඉගෙන බ්රාහ්මණ ශිල්පයේ නිමාවට පැමිණියේය. හෙතෙම ආචාර්යවරයා වැඳ මා විසින් ඔබගේ සමීපයේ ශිල්ප ඉගෙන ගන්නා ලදී. ඔබට කවර නම් ගුරු පූජාවක් දෙමිදැයි විමසීය. ඇදුරුතම ගුරු පූජා නම් ශිෂ්යයාගේ සම්පත් අනුව සිදුවිය යුතුය. කහවණු දෙදහසක් ගෙන එන්න යයි කීය. ඡත්ත මානවක තෙමේ ඇදුරුතුමන් වැඳ සේතව්ය නුවරට ගොස් මවුපියන් වැඳ ඔවුන් අධික සන්තෝෂයට පත්කරනු ලැබූයේ, කරන ලද පිළිසඳර කථා ඇත්තේ, එම ගුරු පඬුරු පූජාව පිළිබඳ කථාව පියාට දන්වා දිය යුතු දෙය මා හට දෙන්න. අදම දී එන්නෙමියි කීය. මව්පියෝ ඔහුට දරුව, අද සුදුසු කාලය නොවේ. හෙට යන්නැයි කීය. මව්පියෝ ඔහුට දරුව, අද සුදුසු කාලය නොවේ. හෙට යන්නැයි කියා කහවණු පිටතට ගෙන මිටියක් සේ බැඳ තැබූහ. මේ පුවත දැනගත් සොර මුලක් ඡත්ත මානවකයා යන ගමන්මගෙහි එක්තරා වන ලැහැබෙක මාණවකයා මරා කහවණු ගන්නෙමැයි සැඟවී සිටියහ.
උදෑසන කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී ලොව බලා වදාරණ භාග්යවතුන් වහන්සේ ඡත්ත මාණවකයාගේ සරණ සිල්හි පිහිටීම ද, සොරුන් විසින් මරණ ලද කල්හි ඔහුගේ දෙව්ලොව ඉපදීම ද, ඉන්පසු විමානය සමග පැමිණෙන ඔහු නිසා පැමිණ සිටින පිරිසට පැමිණෙන ධර්මාවබෝධය ද දැක මාණවකයාට පළමුව ගොස් මාණවකයා යන මගෙහි එක්තරා රුක්මුලෙක වැඩහුන් සේක. මාණවකයා ආචාර්යවරයා සඳහා වූ ධනය රැගෙන සේතව්ය නගරයෙන් නික්ම උක්කට්ඨා නුවරට යන්නේ අතරමගදී වැඩහුන් භාග්යවතුන් වහන්සේ දැක උන්වහන්සේ සමීපයට පැමිණියේය. මාණවකය! ඔබ කොහි යන්නෙහිදැයි භාග්යවතුන් වහන්සේ විසින් ප්රශ්න කරන ලදුව, හෙතෙමේ ගෞතමයන් වහන්ස, මාගේ පොක්ඛරසාතී නම් ආචාර්යයන් වහන්සේට ගුරු දක්ෂිණා දීම සඳහා ‘උක්කට්ඨා නුවරට යමි’යි කීය. එවිට භාග්යවතුන් වහන්සේ මාණවකය, ඔබ තුන්සරණය හා පන්සිල් දන්නෙහිදැයි ඇසීය. අසා ඔහු විසින් මම නො දනිමි. මම නො දනිමි. ඒවායින් කවර ප්රයෝජනයක්ද, ඒවා කෙබඳු දැයි විමසූ කල්හි මේ මේ යයි සරණාගමනයේ ද, සීල සමාදානයේ ද පිළිවෙළ ප්රතිඵල හා ආනිසංස පැහැදිලිකොට මාණවකය, සරණ යන මේ ආකාරය ඉගෙන ගන්නැයි වදාළහ. ඒ මාණවකයා විසින් ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ යහපති. එය උගනිමි කියා මැනවැයි ඉල්ලා සිටි කල්හි භාග්යවතුන් වහන්සේ ඔහුගේ රුචියට අනුව සමණයා පිළිබඳ ගාථා බන්ධන වශයෙන් දක්වමින් ගාථාවන් තුනකින් මෙසේ දෙසූ සේක.
යො වදතං පවරො මනුජෙසු
සක්යමුනී භගවා කතකිච්චො
පාරගතො බල විරිය සමංගී
තං සුගතං සරණත්ථ මුපෙ හි
සක්යමුනී භගවා කතකිච්චො
පාරගතො බල විරිය සමංගී
තං සුගතං සරණත්ථ මුපෙ හි
රාග විරාග මනෙජ මසොකං
ධම්ම මසංඛ ත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං
ධම්ම මිමං සරණත්ථ මුපෙහි
ධම්ම මසංඛ ත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං
ධම්ම මිමං සරණත්ථ මුපෙහි
යත්ථච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසු පුරිස යුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසා තෙ
සංඝං මිමං සරණත්ථ මුපෙහි
චතුසු සුචීසු පුරිස යුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසා තෙ
සංඝං මිමං සරණත්ථ මුපෙහි
මිනිසුන් අතර ඉතාම උතුම් වූ කෙලෙස් නැසීම සඳහා නිමකරන ලද කටයුතු ඇත්තා වූ, ආත්ම දෘෂ්ටියෙන් එතෙර යයි අදහස් වන, පරතෙරට ගියා වූ කය නුවණ යන දෙ ආකාරයෙන්ම බලවත්, සම්යක් ප්රධාන වීර්යය යන මේවායින් ද යුක්ත වූ ශාක්ය මුනීන්ද්ර වූ භාග්යවතුන් වහන්සේ කෙනෙක් වෙත්ද, ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.
ආර්ය මාර්ගය වූ ආර්ය ඵලය වූ, පරමාර්ථ ධර්මය වූ, හේතුවකින් හට නොගන්නා වූ, අප්රිය නොවන්නා වූ, මධුර වූ සර්වඥතා ඥානය ඇසුරුකොට පවතින්නා වූ, මෙම ධර්මය සරණ යන්න.
යම්බඳු වූ ආර්ය සංඝ රත්නය වෙත දෙන ලද දෙය මහත්ඵල වන්නේ යයි කියන ලද්දේ ද, නිකෙලෙස් බැවින් පිරිසිදු වූ යුගල වශයෙන් සතරක් ලෙස දක්වන පුද්ගලයන් වශයෙන් අටක් වූ මෙම සංඝයා සරණ යන්න.
යන මේ ගාථා තුන වදාළහ.
එහි යො යනු නියමිත නොවන වචනයි. එහි සිව්වන පාදයේ මුල ඇති, තං යන්නෙන් මෙහි යො යන්නෙහි ස්ථිර අර්ථය ලැබේ. වදතං යනු (පුද්ගලයන් වශයෙන්) කියනු ලබන්නවුන් අතර පවරො ශ්රේෂ්ඨයා කියනු ලබන්නවුන් අතර උතුම් වූ බුදුන් වහන්සේ යන අර්ථයි. මනුජෙසු ‘සත්ථා දෙව මනුස්සානං’ දෙව් මිනිසුන්ට ශාස්තෲ වූ යනුවෙන් යම්සේ ඉතා උසස් යයි දක්වන ලද්දේ යන අදහසයි. භාග්යවතුන් වහන්සේ වනාහී දෙව් මිනිසුන් හට ද, බ්රහ්මයන් හට ද, සියලු සත්ත්වයන් හට ද, උතුම් වන්නේය. භාග්යවතුන් වහන්සේ අවසාන භවයෙහි මිනිස්ලොව උපන් බැවින් මනුජෙසු යයි කියන ලදී. එහෙයින්ම සක්යමුනී යයි කියන ලදී. සක්ය ශාක්ය රාජකුලයෙහි උපන් බැවින් සක්ය යයි ද, කායිකව උසස් ලෙස හික්මීම් ආදියෙන් යුක්ත වූ බැවින් හා දතයුතු සියල්ල දැනගත් බැවින් මුනි යයි ද යන වචනය යොදා ‘සක්යමුනී’ නම කියනු ලැබේ. භාග්යවන්ත ආදී කරුණු සතරකින් භගවා නම් වේ. සෝවාන් ආදී මාර්ග සතරෙන් සිදුකළ යුතු ගැඹුරු අවබෝධය ආදී ප්රභේද ඇති සොළොස් වැදෑරුම් කාර්යයන් කරන ලද හා නිමකරන ලද බැවින් ‘කතකිච්ච’ නම් වේ. සක්කාය දිට්ඨියෙන් එතෙර පරතෙර වූ නිවනට ගියහ. තමාගේ නුවණින්ම අවබෝධ කළෙහිය යන අදහසින් පාරගතො නම් වේ. අසමාන කාය බලයෙන් ද අන් අයට සමාන නොවන ඤාණ බලයෙන් ද, සිව් වැදෑරුම් සම්යක් ප්රධන් වීර්යයෙන් ද, යුක්ත වූ බැවින් බල විරිය සමංගී යයි යෙදේ. ශෝභන වූ ගමන් ඇති බැවින් ද, නිවන නම් වූ සුන්දර තැනට පැමිණි බැවින් ද, මනා ලෙස ගිය බැවින් ද, සුගත නම් වේ. තං සුගත නම් වේ. තං සුගතං සම්මා සම්බුද්ධයන් වහන්සේගේ සරණත්ථං සරණ පිණිස පිහිට පිණිස සසර දුකෙන් අපාය දුකෙන් ආරක්ෂා වීම පිණිස, උපෙහි පැමිණෙන්න. අද පටන් අහිතකර දෙය නැවැත්වීමෙන් ද, හිතකර දෙය වර්ධනය කර ගැනීමෙන් ද, මේ භාග්යවතුන් වහන්සේ මා හට පිහිටය. ආරක්ෂා වන ස්ථානයය. ගමනට පිළිසරණය යනුවෙන් ඇසුරු කරන්න. සේවනය කරන්න. මෙසේ දැන ගන්න. අවබෝධ කරගන්න යන අර්ථයි.