2. රේවතී විමාන වර්ණනා
උට්ඨාහි සුපාප ධම්මෙ යනුවෙන් රේවතී විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයෙහි මිගදායෙහි වාසය කරන සේක. එකල්හි බරණැස් නුවර ශ්‍රද්ධා සම්පන්න වූ දන් දෙන්නා වූ දෙන දෙය ද මනාව සකස්කොට දෙන්නා වූ, සංඝයාට උවටැන් කරන්නා වූ කුලගෙයක ‘නන්දිය’ නම් වූ උපාසකයෙක් වාසය කළේය. එකල්හි ඔහුගේ මව්පියෝ ඉදිරිපස පිහිටි නිවසකින් මාමා කෙනෙකුගේ දියණියක වූ රේවතී නම් කාන්තාවක කැඳවාගෙන ඒමට කැමති වූවාහුය. ඇය වනාහී ශ්‍රද්ධා නැත්තීය. දන් නොදෙන සුළුය. ඒ නිසා නන්දිය තෙමේ ඇයට කැමති නුවූයේය. ඔහුගේ මව රේවතියට, දුවනියනි, ඔබ මේ නිවසට පැමිණ භික්‍ෂු සංඝයාට හිඳිනා තැන් ද, පලාවන් ගොමවලින් පොළව පිරිබඩගා පිරිසිදු කොට එහි අසුන් පනවන්න. ආධාරක ස්ථාන පිළියෙල කරන්න. භික්‍ෂූන් පැමිණිකල වැඳ පාත්‍රා ගෙන වඩා හිඳුවා පෙරහන්කඩයෙන් පැන් පෙරා ආහාර පූජාකොට ආහාර වැළඳූ කල්හි පාත්‍රා සෝදන්න. මෙසේ කිරීමෙන් මගේ පුත්‍රයාගේ සිත් ගැනීමට කටයුතු කරන්න යැයි කීවාය. ඉක්බිති ඇය අවවාද ඉවසන තැනැත්තියක් වීම නිසා ඇය එසේ කළාය. ටික දවසක් මෙසේ කරද්දී මව නැවත පුතා හට කියා ඔහු විසින් යහපතැයි පිළිගනු ලැබූ කල්හි දින නියමකොට ආවාහය සිදු කළේය.
ඉන්පසු නන්දිය තෙමේ ඇයට ‘ඉදින් භික්‍ෂු සංඝයාට ද මගේ මව්පියන්ට ද උවටැන් කරන්නෙහි නම් මේ නිවසෙහි විසීමට අවසර ලබන්නෙහිය’ යයි කීය. ඕ තොමෝ යහපතැයි පිළිගෙන යම්කිසි කලක් ශ්‍රද්ධාවන්තියක ලෙස වාසය කරමින් ස්වාමියාගේ සිත් ගෙන පුතුන් දෙදෙනෙකු ද ලැබුවාය. නන්දියගේ දෙමව්පියෝ කළුරිය කළහ. නිවසෙහි සියලුම සම්පත්වල භාරකාරිය ඇයම වූවාය. නන්දිය තෙමේද මහා දානපතියකු වී භික්‍ෂු සංඝයාට දානය පැවැත්වීමද, දුගී මගී යාචකාදීන්ට ගෙදර දොරටුවෙහි දන්සල් පැවැත්වීමද කරවීය. ඉසිපතන විහාරයේ කුටි හතරකින් යුත් සාලුවක් හතරක් කරවා ඇඳ පුටු ආදියට රෙදි අතුරුවා, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙත දන් පුදා ශාස්තෲන් වහන්සේගේ අතෙහි පූජාව පිණිස වූ අත පැන් වත්කොට ඒ පැන් බිඳුවලින් බිම ස්පර්ශ කරවා ශාලාව සංඝයාට පවරා දුන්නේය. එසේ අත පැන් වත්කිරිමක් සමගම තව්තිසා භවනයෙහි දිගින් හා පුළුලින් අවටින් යන වශයෙන් දොළොස් යොදුන් වූ, යොදුන් සියයක් උස් වූ සත්රුවන්මය වූ දහසක් අප්සරාවන් සහිත වූ දිව්‍ය ප්‍රාසාදයක් ඔහු වෙනුවෙන් පහළ වූයේය.
ඉක්බිති දිව්‍යලෝකයේ චාරිකාවේ යෙදුනු මහ මුගලන් තෙරණුවෝ ඒ ප්‍රාසාදය දැක තමන්ට වැඳීම පිණිස ආ දෙවිවරුන්ගෙන් ‘මේ ප්‍රාසාදය කාගේදැ’යි විමසූහ. ස්වාමීනි, මේ ප්‍රාසාදයේ හිමිකරුවා බරණැස් නුවර නන්දිය නම් කෙළෙඹි පුත්‍රයාය. ඉසිපතන විහාරයේ ශාලාවන් සතරක් කරවා මහා සංඝයාට පූජා කිරීම නිසා ඔහු වෙනුවෙන් පහළ වූ ප්‍රාසාද යයි කීහු. ප්‍රාසාදයෙහි සිටි අප්සරාවෝ ද පැමිණ තෙරුන් වහන්සේ වැඳ ‘ස්වාමීනි, අපි බරණැස් නුවර නන්දිය නම් උපාසකයාගේ පරිචාරිකාවන් වීමට මෙහි පහළ වූයෙමු’ කීවාහුය. ඔබවහන්සේ වැඩමවා ඔහුට මෙසේ කියන්න. ‘ඔබේ පරිචාරිකාවන් වීමට පහළ වූ දේවතාවියෝ ඔබ මෙහි පැමිණීම) පමාවන කල්හි උකටලීව වෙසෙත්. දෙව්ලොව සැපත යනු මැටි බඳුනක් බිඳ දමා රන්බඳුනක් ගැනීමෙන් ඉතා මනාප වූවකැයි කියා මෙහි පැමිණෙන ලෙස ඔහුට කියන්නැ’යි කීහ. තෙරුන් වහන්සේ යහපතැයි එකඟ වී, වහා දෙව්ලොවින් පැමිණ සිව්පිරිස් මැද ‘ස්වාමීනි! මිනිස්ලොව සිටිමින් පින් කරන්නවුන්ට, ඔවුන් මිනිස්ලොව සිටියදීම දෙව්ලොව දිව්‍ය සම්පත්ති පහළ වන්න’දැයි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළහ. ඔබම දක්නා ලද්දේ නොවේද? කුමක් නිසා මගෙන් ප්‍රශ්න කරන්නේදැයි විමසීය. එසේය ස්වාමීනි, එසේ සම්පත් උපදින්නේ වෙයි. ඉක්බිති මුගලන් තෙරුන් වහන්සේ යම් සේ කාලයක් ඈත පෙදෙසක වාසයකොට පැමිණි අයෙකුට ඤාතිමිත්‍රයෝ අභිනන්දනය කෙරෙත් ද, මහ ඉහලින් පිළිගන්නේ ද එසෙයින් මෙලොවින් පරලොවට ගිය පින්කළ පුද්ගලයා තමන්ගේ පුණ්‍යසම්පත්ති නමැති අත්වලින් භාර ගනිමින් පිළිගනිති යයි දක්වමින් මෙසේ වදාළහ.